අප්පච්චි පදවියට සූදානම් වන අකිලට හදසර අපෙන් සුබ පැතුම්..?
බොහොම ස්තූතියි. ඇත්තටම අප්පච්චි කියන වචනය ඇහෙන්න ඇහෙන්න ඇතිවෙන්නෙ ආඩම්බරයක්. ඒ හැඟීම දැනෙන්න දැනෙන්න හරි ආසයි. ඒ ආසාවට හේතු කිහිපයක්ම තියෙනවා. මගේ අප්පච්චිගේ ආසාව හරි අපූරුයි. දැන් එයා සීයා තාත්තා කෙනෙක් වෙන්න ළඟයි. අම්මා ආච්චිඅම්මා කෙනෙක් වෙන්න ළඟයි. ඒ විතරක් නෙමෙයි.. මම නිසා නැන්දලා මාමලා වෙන්න තියෙන ආසාව නිසාම අපේ ගෙදර හැමෝම අද ඉන්නෙ හරි සතුටින්. ඒ වගේම මගේ පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාවක් තමයි මේක. මම පුංචි කාලේ ඉඳන් අපේ අප්පච්චි දිහා බලාගෙන ඒ වගේ අප්පච්චි කෙනෙක් වෙන්න ආස කළා. ඒ දේවල් කවදා හරි වෙනවා දකින්න මම ආස කළා. අපේ අප්පචිචියි අම්මයි අපිව හැදුවා. එහෙම නැතිව අපිට හැදෙන්න ඇරියේ නැහැ. ඒකෙ ප්‍රතිඵලයෙන් අපි තුන්දෙනා හොඳට හැදුණා. අපි තුන්දෙනාගේ ගමන හැදුවෙ අප්පච්චියි අම්මයි. ඒවා බලාගෙන හිටපු මම, අක්කා, චූටි මල්ලි කවදා හරි දවසක ඒ දේවල් කරන්න ආස කළා. ඒ නිසා මේ කාරණාව ගැන අපි බලාගෙන හිටියා. ඒ නිසා හරි සන්තෝසයක් දැනුණා. දැන් හැම වැඩක්ම සීරැවෙන් තමයි කරන්නෙ.
ඒ අපූරු ආරංචිය අකිල දැනගත්තෙ කොහොමද..? ඒ කාලයේ අකිල හිටියෙ රූගත කිරීම් අතරතුර නේද..?
ඇත්තම කතන්දරය කියන්නද? විවාහපත් වෙන්න කලින් ඉඳන්ම මම කියපු දෙයක් තමයි අහවල් දවසේ මම කසාද බඳිනවා, අහවල් කාලවලදී මම පිය පදවියක් ලබනවා කියලා. කොහොම හරි ඒ හැමදෙයක්ම හරිම සැලසුම් සහගතයි. විවාහ වුණාට පස්සෙ මට පිය පදවිය හිතපු කාලයේදී නොලැබෙයි කියලා චූටි බයක් ඇතිවුණු දවසක මමයි එමීයි එක පල්ලියකට ගිහින් බාරයක් වුණා. පස්සෙ සක්කාරං ෂූටින් ඉන්න අතරතුරේදී එකපාරටම පාස්කු ඉරිදාවේ අපි බාරවුණු කොච්චිකඩේ පල්ලියේ බෝම්බයක් පිපිරිලා කියලා මට ආරංචි වුණා. ඒ වෙලාවේ මට මගේ බාරය ගැන බයක් ඇති වුණා. හැබැයි එදා ඉඳන් වැඩි දවසක් යන්න කලින්ම මට මොකක්දෝ වෙනසක් දැනුණා. ඒවා මම එමීට කිව්වෙ නැහැ. වෙසක් දවසට කලින් දවසේ සක්කාරං ෂූටින් කරද්දීත් මොකක්දෝ වෙනසක් මගේ හිතට දැනුණා. ඒ හිතට දැනුණු හැම වෙනසක්ම හරිම සුබවාදීයි. මම හිටියෙත් මහනුවරයි. සක්කාරං ෂූටින් කරපු ඒ කාලය පුරාවටම මම හිටියෙ හරිම සතුටින්. ඒ දවස්වල මට රඟපාන්න තිබුණෙත් දරු උත්පත්තියක් ගැනයි. ඒ නිසා පුදුම සතුටින් ඒ නිර්මාණයටත් දායකවෙලා මම ගෙදර ආවා.
එමී සුබ ආරංචිය කිව්වෙත් සුබ දවසකයි.. එහෙම නේද..?
ඔව්.. වෙසක් දවසේ උදේ මම නිදාගෙන ඉඳිද්දී එමී මට හරිම සතුටුදායක උත්තරයක් අරගෙන ආවා. ඒ මොහොතේ මම පුදුම වුණා. සතුටු වුණා. ඊට පස්සෙ අම්මට කියද්දී අම්මගේ සතුටත් අප්පච්චිට කියද්දී අප්පච්චිගෙ සතුටත් වචනයෙන් විස්තර කරන්න තේරෙන්නෙ නැහැ. එතන ඉඳන් අපේ ගෙදර මංගල්‍යයක් වගෙයි. පුදුම විදිහට ආයෙත් ගෙදර කලඑළි වුණා. ඒකෙ සතුට විස්තර කරන්න පුළුවන්නම් මම මාර පොරක්.
ඇත්තම කියන්න.. එමීයි අකිලයි ආසාවෙන් හිටියෙ දුවෙක්ටද? පුතෙක්ටද?
මම කලින් ඉඳන්ම කියපු දෙයක් තමයි මට මුලින්ම ඕනෙ දුවෙක් කියලා. ඒකට හේතුවක් තියෙනවා. අපිට ගොඩක් කටයුතු කරන්න වෙන්නෙ ගැහැනු ළමයි සමඟයි. එහෙම අයට ගැහැනු ළමයින්ගෙ වටිනාකම හොඳටම දැනෙන්න, එයාලට ගරු කරන්න මුලින්ම හම්බවෙන්න ඕනෙ දුවෙක් කියන කතාව මම අහලා තිබුණා. ඒ නිසා මමත් මට මුලින්ම දුවෙක් ලැබෙන්නෙ කියලා කිව්වා. මම අපේ පවුලේ පොඩි ළමයින්ට හරි ආදරෙයි. ඒ අයව ඇවිද්දලත් තියෙන්නෙ මමයි. මම පුංචි කාලේ ළමයි එක්ක වැඩිපුර සෙල්ලම් කරලා තියෙනවා. අපේ අප්පච්චිටත් මුලින්ම ලැබුණෙ දුවෙක්. ඉතින් මමත් දුවෙක්ට ආස කළා. එමීත් දුවෙක්ට ආස කළා.
ඒත්.. සමහරුනම් කිව්වෙ ලැබෙන්න ඉන්නෙ පුතෙක් කියලා නේද..?
ඔව්.. එමීගේ අංග ලක්ෂණත් එක්ක බොහෝ දෙනා එමීට ලැබෙන්නෙ පුතෙක් කියලා තවත් අනාවැකියක් කිව්වා. ඒ නිසා පුතෙක්ද? දුවෙක්ද? කියන වචන දෙක අතරේ අපි කාලයක් අතරමංවෙලා හිටියා. ඔහොම ඉඳිද්දී ඒ කවුද කියලා මුලින්ම දැනගත්තෙ අක්කා. හැබැයි එයා ඒක රහසක් කර ගත්තා. ඒ රහස එළි කරන එක මමයි කරන්නෙ කියලා එයා පුදුම දුකක් විඳලා අපිව සප්‍රයිස් කළා. එමී සැලෝන් කටයුතු, ඇඳුම් පැළඳුම් ගැන එච්චර දන්නෙ නැහැනෙ. අපේ අක්කා ඒවා ගැන හොඳටම දන්නවා. ඒ නිසා අක්කා එමීව එක්කගෙන ගිහින් අපිට ලොකු සප්‍රයිස් එකක් ලෑස්ති කළා. අක්කා වගේම මිලාන් අයියත් ඒකට එකතු වුණා. ඒ සප්‍රයිස් කරපු දවසේ ඇත්තටම අපි පුදුම වුණා. අක්කත් මුලදී නිල් පාට ගැනමයි කතා කළේ. එයා වැඩිපුරම නිල් පාට ගැන කතා කරද්දී මට සැකයකුත් ආවා. අන්තිමට අක්කා ඒ රහස එළි කළා. එයා ඒ වගකීම් කරට අරගෙන ඒ හැමදේම සූදානම් කළා. අන්තිමට ඒ රහස පුංචි දෝණියක් බව එළි වුණා.
දැන් එමී වැඩිපුරම ආස මොනවගේ දේවල්වලටද..?
එයාට දොලදුකක් ඇතිවෙන්න අපි ඉඩ දුන්නෙ නැහැ. අපි ඔක්කොම එයා ආස කරන්නෙ මොනවටද කියලා බලාගෙන හිටියා. මුලින්ම එමීට කෙහෙල් මුවක් කන්න ඕන වුණා. අපේ අක්කට මාර විදිහට රසට උයන්න පුළුවන්. අක්කට මේ ලෝකෙ හදන්න බැරි කෑමක් නැහැ. ඒ නිසා එයා එමීට ඕනෙ මොනවද කියලා හරිම සීරුවෙන් හිටියෙ. ඉතින් අක්කා රස කෙහෙල් මුවක් හදාගෙන ආවා. ඒක කන්න එමීට හොඳ නැහැ කියලා එයාට ඒක කන්න දෙන එක වැළැක්වුවා. ඔහොම යනකොට දවසක් අක්කා රස චීස් සැන්ඩ්විච් එකක් හදලා ගෙනත් දුන්නා. එමී ඒක හරිම ආසාවෙන් කෑවා. ඊට පස්සෙ එයාට ආස විදිහට රසට කෑම හදලා දුන්නා. ලංකාවේ මිනිසුන් අපිට හරි ආදරෙයි. ඒ නිසා එමී ආස මොනවද? ඒවා ගෙනත් දෙන කට්ටියත් හිටියා. ඒක හරිම ලස්සන කාලයක්. ඒ නිසා මුල් කාලෙදී අපිත් හොඳට කෑවා. අන්තිමට එමීගේ පිහිටෙන් චූටි දූගේ අප්පච්චි කැමති කෑම තමයි ගේන්න කිව්වෙ. දැන් ඉතින් මේ අලුත් අප්පච්චි චූටි දූ එනකම් බලාගෙන ඉන්නවා. මේ කාලය හරි සුන්දරයි.
► Text - Dishani / Pic - FB