2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

විසිවසරක අකුරු වියමනට රමේෂ්ට සම්මානයක්

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:31 70

දැනුම, ශිල්පය යනු බෙදාදිය යුතු දෙයක් මිස බදාගත යුතු දෙයක් නොවේය යන කුහකත්වයෙන් තොර නිර්ලෝභී හැඟීමෙන් නවක මාධ්‍යකරුවන්ට කලාකරුවන්ට නිති අතහිත හදවතින්ම පිරිනමන ප්‍රවීණ මාධ්‍යවේදි රමේෂ් උවයිස් සිංහල සිනමාව උදෙසා කළ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් සම්මානනීය ඇගයීමකට ලක්විය. මාධ්‍යකරුවකු කලාකරුවකු මෙන්ම සංවේදී රසිකයකු ද වන රමේෂ් උවයිස්ට හදසර අවකාශ අප වෙන්කළේම එහෙයිනි.

මුලින්ම රමේෂ්ට ලැබුණු අලුත් සම්මානයට හදසර අපේ සුභ පැතුම්?
බොහෝම ස්තූතියි. මේ සම්මානය මට ලැබුණේ අපේ දේශීය සිනමාවට මාධ්‍ය තුළින් කළ මෙහෙවර උදෙසායි. යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යානංශයේ ඇජෙන්ඩා 14 සංවිධානය හා සිලෝන් තියටර්ස් සමාගම ඒකාබද්ධව පස්වන වරටත් සංවිධානය කළ “යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී තමයි මේ සම්මානය මට හිමිවුණේ. මීට පෙර සම්මාන හිමිව තිබුණත් ජාත්‍යන්තර සිනමා උළෙලකින් මට හිමිවුණු මුල්ම සම්මානය මෙයයි. මීට පෙර සිග්නීස් සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම මට හිමි වුණා.

ඔබ අපේ දේශීය කලාව, දේශීය සංගීතය හා දේශීය සිනමාව ගැන ඉංග්‍රීසි පුවත්පතක් හරහා අපූරු රස වින්දනයක් ලබාදෙන මාධ්‍යකරැවෙක්?
ඔව්.. මම දැන් මේ ක්ෂේත්‍රයේ අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ රැඳී ඉන්නෙත් විශේෂයෙන්ම ඉංග්‍රීසි පුවත්පත් හරහා දේශීය කලාව ගැන ලිපි ඉදිරිපත් කරමිනුයි. අපේ සිංහල සිනමාව, සිංහල සංගීතය, ඉංග්‍රීසි පත්තරෙක පළවුණොත් ප්‍රයෝජනයක් වෙනවාද කියලත් ඇතැමුන් මගෙන් අහලා තියෙනවා. නමුත් ඉන්දියාවේ හොඳ ඉංග්‍රීසි චිත්‍රපට හැදුණේ නැති වුණාට ඒ රටේ “Film Fare” වැනි ඉංග්‍රීසි සඟරාව ගොඩාක් ජනප්‍රියයි, කලාවට භාෂාවක් බලපාන්නේ නැති බවයි මගේ අදහස වෙන්නේ. කලාව කියන්නේත් විශ්ව භාෂාවක්. ඒ නිසා මම කරන දේට ලොකු ඇගයීමක් තියනවා. ඒ ගැන මම සතුටු වෙනවා. ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ලියන්න මම ආසයි. ඒ නිසාම මම සිංහල භාෂාවෙනුත් මගේ මාධ්‍ය මෙහෙවරේ නියැලෙනවා.

කලාවට ඇල්ම ඇති වුණේ පුංචි කාලේදීමද?
ඔව්.. මට පුංචි කාලේ ඉඳන් සිංහල චිත්‍රපට, සිංහල සංගීතය ගැන ලොකු පිස්සුවක් තිබුණා. ඒකට ප්‍රධානම හේතුව මගේ තාත්තා නාවික හමුදාවේ සංගීතඥයෙක්. ඒ ආභාෂය මට ලැබෙන්න ඇති. මම ශ්‍රී ලාංකිකයෙක්. ඒ ගැන ආඩම්බර වෙනවා. හැබැයි සිංහල නොවන මට සිංහල සින්දු අහන්න, සිංහල චිත්‍රපට බලන්න මුල්ම අඩිතාලම දැම්මේ මගේ තාත්තා. අර පුංචි කාලේ ඉඳන්ම ගෙදරදී සිංහල සින්දු ඇහුවා. සිංහල චිත්‍රපට බැලුවා. ඒ ආභාෂය තුළින් මමත් කලාවට ආස කළා. හැබැයි ඒ ඇල්ම පහුකාලීනව මගේ වෘත්තියේ කොටසක් වෙවි කියලා මම හිතුවේ නැහැ.

පුංචි කාලේ ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මගේ හීනය වෙලා තිබුණේ ලොකු වෙලා කවදාහරි පයිලට් කෙනෙක් වෙන්නයි. හැබැයි ඒ හීනය හැබෑ කරගන්න මට බැරි වුණා.

ගුවන් නියමුවෙක් නොවුණට අවසානයේදී තරුවලට ළංවෙන්න රමේෂ්ට අවස්ථාව ලැබුණනේ?
ඔව්.. ඒකත් අහම්බෙන් වෙච්චි දෙයක්. ගුවන් නියමුවෙක් වෙන්න ආස කළාට ලොකු වුණාම ඒක බාරදූර වැඩක් කියලා මට තේරුණා. හැබැයි අවසානයේ තරු එක්ක ගැවසෙන්න, තරුත් එක්ක කතා කරන්න මට අවස්ථාව ලැබුණා. මම ඉගෙන ගත්තේ කොළඹ සහිරා විද්‍යාලයේ. අපේ පන්තියේත් කලාවට ආසකරන මගේ යාළුවෝ පිරිසක් හිටියා. ඒකාලේ අපි හොරෙන් සින්දු පොත් ගෙනල්ලා ඉස්කෝලේ සින්දු කියලා ගුටි කාපු දවස් තිබුණා. ටිකින් ටික අපි ලොකු වෙලා පාසලේ තාප්පවලින් පනින්න පුළුවන් උසකට ආවම තාප්පෙන් පැනලා ගිහින් හොරෙන් ෆිල්ම් බලපු කාලයක් මට තිබුණා. පන්තිවලට නොගොස් ෆිල්ම් බැලුවා. පාසල් කාලේදී ඔය වගේ දේවල් නොකළොත් ඒක අවුල්නේ. ආපහු හැරිලා බලද්දී ඒ අතීතය ගැන ඇත්තටම සතුටුයි. මම මාධ්‍ය ජීවිතයට මුලින්ම එකතු වුණේ උප කර්තෘ කෙනෙක් විදිහටයි. පහුකාලයේදී මට කලා පිටු සංස්කරණය කරන්න අවස්ථාව ලැබුණා. මම මාධ්‍යකරුවෙක් වෙලා කලාවට සම්බන්ධ දෙයක් නොකළානම් අද සමහර විට මම ඒ රැකියාවෙන් අයින්වෙලා මම වෙනස් දෙයක් කරන කෙනෙක් වෙයි. තාමත් මාව ඉදිරියට යන්න දිරිමත් කරන්නේ මේ කලාවම තමයි.

අද වෙද්දී කලා ක්ෂේත්‍රයේ හැම කලාකරුවම කලාකාරියක්ම හඳුනන මාධ්‍යකරුවෙක් වන රමේෂ් කලාකරුවකු සමඟ මුලින් කළ සාකච්ඡාව මතකද?
ඔව්.. හොඳට මතකයි. මගේ ප්‍රියතම ගායකයෙක් තමයි හරූන් ලන්ත්‍රා. මගේ තාත්තාටත් හරෑන් ලන්ත්‍රා වගේ කටහඬක් තිබුණේ. පුංචි කාලේ ඉඳන්ම ඒ හඬ මට හරි සමීපයි. ඒනිසා මම මුලින්ම හරෑන් ලන්ත්‍රාගේත් සිසිර සේනාරත්නගේත් ආටිකල් කළා. මුල් කාලේදී මම මගේ ප්‍රියතම අයගේ ආටිකල් කළා. පහුකාලයේදී මම හැමෝම ගැන කතා කළා. තරුණ අයටත් මම ගොඩාක් අතහිත දෙන්න කැමති කෙනෙක්. ප්‍රවීණයෝ වගේම නවක අයත් මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ අලුත් අය තමයි මේ අපේ කලාවේ හෙට දවස. ඒ නිසා ඒ අලුතින් එන අයටත් පුළුවන් තරම් මම අතහිත දෙනවා. 

මාධ්‍යකරුවෙක් වුණු ඔබ විටෙක ගායකයෙක්. විටෙක රංගන ශිල්පියෙක්. මේ ඔස්සේ කලාවට තවත් ඔබට සමීප වෙන්න අවස්ථාව ලැබෙනවා නේද?
ඔව්.. ඒ ක්ෂේත්‍රයන් තුළින් ඒ අයගේ කලා ලෝකයේ ඇතුළට ගිහින් වෙන දේවල් දැන කියාගන්න මට පුළුවන් වුණා. අපි තිරයෙන් බලාගෙන ඉඳලා “ලස්සනයි කියලා කිව්වට ගායනා කරන එකවත්, රඟපෑමවත් ඒ තරම් ලේසි කටයුත්තක් නෙමේ. ඒ ක්ෂේත්‍රයන්වලට සම්බන්ධ වීමෙන්ම වෙනම අත්දැකීමක් ලබන්න පුළුවන් වුණා. පිටින් බලන කෙනෙක් කලාකරයෙක් දිහා බලන්නේ හරිම සුන්දර විදිහටනේ. ඒ වුණාට ඒ රැකියාවල් ඒ තරම් සුන්දර නැහැ. අපේ රුකියාව වගේම ඒ රුකියාවල්වලින්ද හරි කටුක අත්දැකීම් ලබන්න සිදුවෙනවා. මාධ්‍යකරුවෙක් වුණාම මිනිසුන් එක්ක හොඳ ගනුදෙනුවක් ඔවුන් හා ගැටෙන්න හොඳ දේවල් අපි ළඟ තියෙන්න ඕනේ. මම මුල් තැන දෙන්නේ මනුෂ්‍යත්වයටයි. එහෙම කරද්දී මිනිස්සු එක්ක වැඩ කරන්න හරි පහසුයි.

“ඔබේ දෙනුවන් මගේ අභිමන්* ඔබේ පළමු නිර්මාණය නව ගීතයක් කරන්න බලාපොරොත්තු නැද්ද?
බොහෝ දෙනා මට ගීතයක් කරන්න කතා කළා. මම කළ “ඔබේ දෙනුවන් මගේ අභිමන් ගීතය මේ වනවිට අහන්නට පුළුවන්. ඒ ගීතය නිර්මාණය කළේ ස්ටැන්ලි ඔමාර් කියන සංගීතඥයා. එච්.ආර්. ජෝතිපාල මහතාගේ මුල්ම ගීතය හැදුවෙත් ඔහුයි. මගේ හිතේ තියෙන අදහස කාට හරි කියලා ඒ විදිහට ගීත දෙකක් කියන්න මට ආසාවක් තියෙනවා. බොහෝ විට ඒක ලබන අවුරුද්දේ සිදුවේවි. ඒක තෘප්තියට කරන දෙයක් මිසක්. මුදල් හම්බකරන්නවත්, ජනප්‍රිය වෙන්නටවත් කරන දෙයක් නෙමේ. 

මුස්ලිම් ජාතිකයෙක් වුණ රමේෂ් අද වනවිට බොහෝ කලාකරුවන් කලාකාරියන්ගේ ජීවිතවල සමීපතමයෙක් මුස්ලිම් ජාතිකයින් කලාවට නියැලීම හරිම අඩුයි. ඒ සමීපකම ගොඩනැගුණේ කොහොමද? ඒ සමීපකමට ආගම ප්‍රශ්නයක් වුණේ නැහැ නේද?
නැහැ.. ඇත්ත.. ඒ කාලේනම් මොහිදින් බෙග් වගේ කලාකරුවන් හිටියට අද එහෙම අය හරිම අඩුයි. මගේ දැක්ම අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස්. මගේ ආගම මනුෂ්‍යත්වයයි. අපේ ආගම මනුෂ්‍යත්වය වුණාම ඔය කිසිම තැනකින් අපි බෙදෙන්නේ නැහැ. මට කිසිම කෙනෙක්ව “වෙනස් කියලා පේන්නේ නැහැ. මාව ඇසුරු කරන හැමෝම හිතන්නේ ඒ වගෙයි. මගේ රාමසාන් අවුරුද්දට බොහෝ අය මට සුභ පතන්නේ නැහැ. පහුවදාට මාව මුණගැහුණාම “අනේ.. ඊයේ උඹලගේ අවුරුද්ද.. උඹ මුස්ලිම් කියලා අපිට දැනෙන්නේ නැහැනේ. කියලා කියනවා. මම බෙදීමට කැමති නැති කෙනෙක්. අනෙක මම දැඩි ලෙස මේ ස්වභාව දහම විශ්වාස කරන කෙනෙක්. අපි හැමෝම මේ ස්වභාව දහමේ කොටස්කරුවන්. 

 

► Text -  Dishani  /  Pic - Internet