2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

බල්ලෙක් පිටේ බැඳන් පොරොන්දුවක් රකින තායි කෙල්ල

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

බල්ලෙකු පිටේ බැඳගෙන තායිලන්තයේ බැංකොක් නුවර පාර අතුගාන කෙල්ලකගේ පින්තූරයක් පහුගිය දවස් කිහිපයේ අන්තර්ජාලය පුරා පැතිරෙන්න ගත්තා. මීට දශක ගාණකට කලින් ජපන් ගෑනු තමන්ගේ ළමයි පිටේ බැඳගෙන වැඩ කරපු හැටි සිහිගන්වමින් මේ තායි තරුණිය තමන්ගේ බලු සුරතලාව පිටේ බැඳගෙන පාර අතුගාන හැටි ලෝකයේම අවධානය දිනාගත්තා කිව්වොත් හරි. ඉතින් රොයිටර් පුවත් සමාගම මේ අපූරු පාර අතුගාන්නිය වන තිටිරුට් මුණගැහිලා කතාබහ කරලා තිබුණා. 

“මම මගේ පෙම්වතාගෙන් බලු සුරතලෙක් අරන් දෙන්න කියලා ඇවිටිලා කළා. මට බලු පැටියෙක් දෙන්න අන්තිමේදී ඔහු කැමති වුණා. හැබැයි ඒ එක කොන්දේසියක් පිටයි” ඇය හිනාවෙවී කියනවා. 

ඇගේ පෙම්වතාගේ කොන්දේසිය හරිම වෙනස්. ඒ තමයි ඇය රැකියාවට යද්දී බලු පැටියාවත් අරගෙන යා යුතු කියන එක. කරන්න අමාරු වැඩක් වුණත්, බලු පැටියෙක් හදන්න තියෙන ආසාව හින්දා තිටිරුට් මේ කොන්දේසිය පිළිගත්තා. ටික දිනකින්ම ඇයට පූඩ්ල් වර්ගයේ බලු පැටියෙක් තෑගි ලැබුණා. 

ඇයට ඇතිවුණු සතුට කියලා නිම කරන්න බැහැ. ඉතින් මේ සතුටත් එක්ක අර අමාරු කොන්දේසියත් ඇය සැහැල්ලුවෙන් බාරගත්තා.
ඒ අනුව දැන් අවුරුද්දක කාලයක් තිස්සේ තිටිරුට්, මැස්ඩා කියලා නම්කරලා තියෙන තමන්ගේ බලු පැටියාව පිටේ බැඳගෙන රාජකාරියට පිටත්ව යනවා. ඇගේ රාජකාරිය තමා තායිලන්ත රටේ අගනුවර වන බැංකොක් නගරයේ තමන්ට වෙන්වුණු ප්‍රදේශයක පාර අතුගාන එක. ඉතින් උදේම මැස්ඩාවත් පිටේ බැඳගෙන වැඩට යන ඇය ආපහු හවසට මැස්ඩාත් එක්කම ගෙදර එනවා. 

මැස්ඩාටත් දැන් මේ හැමදාම පාර අතුගාන වැඩේට යන එක පුරුද්දකට ගිහින්. තමන්ගේ ස්වාමිදුවගේ පිටේ එල්ලීගෙන දවසේ වැඩි හරියක් ඉන්න මැස්ඩාට දැන් පාරේ යන එන මිනිස්සු වගේම වාහන වුණත් ගොඩක් හුරුපුරුදුයි. 
හැබැයි ඉතින් බල්ලෙක් පිටේ එල්ලන් පාර අතුගාන එක හරිම විනෝදජනක වැඩක් විදිහට පෙනුණට ඇත්තටම ඒක අමාරු වැඩක්. දැන් අවුරුද්දක් වයස මැස්ඩගේ බර කිලෝ දහයකටත් වැඩියි. ඉතින් කිලෝ දහයක් පිටේ එල්ලගෙන පාර අතුගානවා කියන්නේ තරුණ කෙල්ලකට ලේසි පහසු වැඩක් නෙමෙයි. 

කොහොම වුණත් බලු සුරතලෙක්ට කවදත් ආස කරපු තිටිරුට්ට නම් ඒ බර දැනෙන්නෙවත් නෑලු. 
තායිලන්තය කියන්නේ මේ වෙද්දී බලු සුරතලුන්ට ගොඩක් පහසුකම් හිමිකර දීපු රටක්. විශේෂයෙන්ම බලු සුරතලුන් සිටින හිමිකරුවන්ට තමන් රාජකාරි කරන ආයතනවලින් ගොඩක් පහසුකම් හිමිකරලා දීලා තියෙනවා. සුරතලාව රාජකාරි කරන ස්ථානයට එක්කගෙන එන්න ඉඩදීමත් ඒ වගේ පහසුකමක්. 

රොයිටර්ස් ඇසුරෙනි. 

► Text - Suranga   /   Pic -  Internet