2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

කුමා කියන්නේ මට දෙයියෝ දුන්න තෑග්ගක්

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 12:31 173

නිරෝෂා.. අවුරුදු විසිපහකට පස්සේ ආයෙත් කසාද බැඳලා. කවුද මේ අලුත් මනමාලයා?
මගේම සැමියාම තමයි ආයෙත් මගේ මනාමාලයා වුණේ. එයා කුමාර. අවුරුදු විසිපහකට පස්සේ අපි දෙන්නා ආයෙමත් මනාල යුවලක් වුණා. මේ අවුරුදු විසි ගාණ පුරාවටම හැම වසරකම අපි අපේ පවුලේ අය එක්ක එකතුවෙලා පොඩියට විවාහ සංවත්සරය සමරනවා. හැබැයි මේ පාර කුමා ගොඩාක් කාර්යබහුල වුණා. ඒ නිසා අපිට ලොකුවට උත්සවයක් ගන්න පුළුවන් වුණේ නැහැ. එදාට මනමාලයා නැත්නම් වැඩක් නැහැනේ. ඔය අතරේ නිම්මි පෙරේරා කියන මගේ යාළුවාට පොඩි අදහසක් ඇති වුණා. එයාට නුගේගොඩ සැලෝන් එකක් තියෙනවා. එයා දවසක් මට කෝල් කරලා අලුතින් බ්‍රයිඩල් ෆොටෝ ටිකක් ගමුද කියලා ඇහුවා. ඔහොම අපි දෙන්නා ඒ ගැන කතා කරද්දී අපේ විසිපස්වෙනි විවාහ සංවත්සරයත් මතක් වුණා. ඒ නිසා නිම්මි මගෙයි කුමාරගෙයි දෙන්නාගේම ෆොටෝ එකක් කරමු කියලා තවත් යෝජනාවක් ගෙනාවා.

ඒ යෝජනාවට කුමාර කැමති වුණාද?

නිම්මි කරපු යෝජනාවට මටත් ආස හිතුණා. කුමාරත් කැමති වුණා. හැබැයි වැඩත් එක්ක මුලදී එයාට ඒ වෙනුවෙන් දෙගිඩියාවක් තමයි තිබුණේ. අපි දෙන්නාගේ විවාහයට මාව හැඩගැන්වූයේ හැරිස් විජේසිංහ මහතායි. ඔහු මාව ඉන්දියන් විදිහට තමයි හැඩගැන්වූයේ. එදා අපේ ෆොටෝ ගත්තේ දයාන් විතාරණ මහතා. දයාන් අයියවයි, හැරිස් අයියවයි මම මේ මොහොතේත් හරිම ආදරෙන් මතක් කරනවා. එදා කුමා කෝට් කිට් එක තමයි ඇන්දේ. ඒ නිසාම මේ පාර නිම්මි මට උඩරට විදිහට හැඩගන්වන්න කැමති වුණා. මාත් ඒකට කැමති වුණා. ඉතින් හරිම ලස්සනට මේ පාර නිම්මි පෙරේරා මාව ඇන්දුවා ඇත්තටම මේක අපි දෙන්නාගේ ජීවිතයට අලුත් අත්දැකීමක්. ඒ නිසා කොහොම හරි කුමාවත් එකතුකරගෙන අපි ඒ වැඩේ කළා. හිතපු නැති විදිහට බොහෝ දෙනා අපිට කතා කළා. අපේ සැබෑ විවාහ උත්සවයටත් වඩා සුභ පැතුම් ගොඩාක් මේ පාර ලැබුණා. ඇත්තටම ඒ ගැන තියෙන්නේ පුදුම සතුටක්.

අපි අවුරුදු විසිපහකට එහා අතීතයකට පොඩ්ඩක් යමුද? කුමාරව මුණගැසුණේ කොහොමද? 
කුමාව මට මුණගැහුණේ ටෙලි නාට්‍යකින්. අපි දෙන්නම “සිහින කුමාරි ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඒ 1994 අවුරුද්දේ. අපි දින විස්සක් වගේ කෙටි කාලයයි ආශ්‍රය කළේ. වැඩකරන කාලේ අපි දෙන්නාගේ අදහස්, ගතිගුණ, හැසිරීම ඒ හැමදේම අපේ ජීවිත දෙක එකතු කරන්න හරියට උදව් කළා.

කුමාර අහද්දී නිරෝෂාගේ හිතෙත් ඔහුට ආදරයක් තිබුණා නේද?
ඔව්.. කුමා කියන විදිහට එයා මම ගාව තිබුණ ගැමි පෙනුමට ආදරය කළා. මම ආසාවෙන් බලාගෙන හිටපු “සිහින කුමාරයා මගේ කුමා වුණා. මගේ අම්මා තමයි මගේ ජීවිතේ හෙවනැල්ල වගේ මාත් එක්ක හිටියේ. අම්මා නැතිව මම කිසිම දවසක කිසිම තැනක ඒ කාලේ ගිහින් තිබුණේ නැහැ. විශ්වාස කරන්න අපේ ලොකු පුතා හම්බවෙලත් ෂූටිං කරන තැන්වලට අම්මා මාත් එක්ක ආවා. ඉතින් මම අපේ අම්මාට හරිම බයයි. ෆීල්ඩ් එකේ අයත් අම්මට හරි බයයි. අම්මා ඉදිද්දී මම දිහා බලන්න කොල්ලෝ බයයි. මගේ හිතින් කුමාට කැමති වුණාට අම්මා ඉන්න තැන මට කුමාගේ මූණ බලන්නත් බයයි. 

ඒ නිසා මම ගැන යෝජනාව කුමා ගෙනවාට පස්සේ මම ඒක අම්මට කිව්වා. ඒ මුල් දවසේ අම්මා “ඔයාව මම කොළඹට එක්කගෙන ආවේ මොකක් හරි අරමුණකට යන්නනේ. කියලා මට බැන්නා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු විසි එකක් විතර ඇති. ඊට පස්සේ ටික ටික කුමාගේ ගතිගුණ අම්මාගේ හදවතට සමීප වෙන්න පටන් ගත්තා. කුමා ගැන හොඳ පැහැදීමක් ඇති වුණාට පස්සේ අම්මා මේ සම්බන්ධයට කැමති වුණා. මට තාම මතකයි එදා කුමා ඔෆිස් එකේ ඉඳන් “මගේ ජීවිතේ මම ගොඩාක්ම සතුටු වුණේ ඔයාගේ අම්මගේ කැමැත්ත ලැබුණු අද දවසයි. කියලා ලියුමක් ලියලා මට දුන්නා. අපි 1994 සැප්තැම්බර් 15 විවාහ වුණා.

කුමාර දීපූ මුල්ම තෑග්ග නිරෝෂාට මතකද?
ඔව්.. එයා මගේ බර්ත්ඩේ එකට ලස්සන සාරියක් ගෙනත් දුන්නා. එදා මගේ ෆීල්ඩ් එකේ යාළුවෝ කීපදෙනෙකුත් ආවා. කුමා දීපු ලස්සන රතුපාට සාරියට මම ගොඩාක් ආස කළා. මම කුමාරට දීපු මුල්ම තෑග්ග වුණේ ෂර්ට් එකක්.

සැමියෙක් විදිහට කුමාර මොන වගේ කෙනෙක්ද?
කුමා කියන්නේ මට වචනවලින් ඇත්තටම විස්තර කරන්න බැරි මනුෂ්‍යත්වයේ සැබෑ මනුස්සයෙක්. ඕනෑවටත් වඩා අවංක, යහපත්, විශ්වාසවන්ත වචනවලට විතරක් සීමා නොවුණු සැබෑ මනුස්සයෙක්. මගේ ජීවිතේ අවුරුදු විසිපහට කවදාවත් අද වනතුරු වචනයකින්වත් වෙනසක් නැති කෙනෙක්. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මගේ ජීවිතයට මම වෙනුවෙන්ම දෙවියන්වහන්සේ විසින් එවපු මනුස්සයෙක්ද කියලා මට හිතෙනවා. ඇත්තටම කුමා කියන්නේ මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු අපූරු තෑග්ගක්.

විවාහ වුණ මුල් කාලයේදී ගෙදරදොරේ වැඩ, ඒ වගකීම් ගැන නිරෝෂා දැනගෙන හිටියද?
කුමා විවාහ වුණත් අපි මුලින්ම හිටියේ කුලියට ගෙයක් අරගෙනයි. ඒ කාලේදී අපේ අම්මත් අපිත් එක්ක හිටියා. අපිටම කියලා ගෙයක් හදාගන්නකන් අපි දරුවෝ ගැන හිතුවේ නැහැ. අපි කුලියට ඉන්න ගමන් රත්මලානේ අපි දෙන්නාගේම උත්සාහයෙන් ගෙයක් හදාගත්තේ. ඊට පස්සේ එහේ පදිංචියට ආවට පස්සේ තමයි අපිට පළවෙනි පුතා ඉපදුණේ. විවාහ වෙන්න ඉස්සෙල්ලා මම ගොඩාක් වෙලාවට ගෙදර දොරේ වැඩ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මට අක්කලා හතර දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා. ඒ නිසා මට ගෙදර වැඩ කරන්න කිසිම අවස්ථාවක් ලැබුණේම නැහැ. මගෙත් හැමදේම කරලා දුන්නේ මගේ අක්කලා. අම්මාගෙයි, අක්කලාගෙයි සහයෝගය නිසා ඒ දවස්වල හරිම නිස්කලංක සැහැල්ලු ජීවිතයක් තමයි මට තිබුණේ. 

හැබැයි විවාහ වුණාට පස්සේ එක්තරා වගකීමක් ජීවිතයට එකතු වෙනවනේ. මම හැමදේම චුට්ට චුට්ට අම්මාගෙන් අහලා ඉගෙන ගත්තා. කුමාගේ වැඩකටයුතු, ගෙදර වැඩකටයුතු, බබාලා ලැබුණට පස්සේ ඒ අයගේ වැඩකටයුතු හැමදේම මම ඉගෙන ගත්තා. මම ඇත්තටම නිළියකට වඩා පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් හැටියට තමයි පුංචි කාලේ ජීවත් වුණේ. ඒ නිසා මම ලොකු දේවල් ජීවිතේන් බලාපොරොත්තු වුණේ නැහැ. මම මුලින්ම හිතුවේ මගේ විවාහය, මගේ දරුවෝ මගේ සැමියා සහ මගේ ජීවිතය ගැනයි. මම මගේ සැමියාට, දරුවන්ට අගෞරවයක් නොවන විදිහට රටේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි මුලින්ම හිතුවේ. 

නිරෝෂාත්, කුමාරත් දෙන්නාගෙන් වැඩියෙන් කේන්ති යන්නේ කාටද?
කාර්යාලයේදී නම් කුමා සමහර වෙලාවල්වලදී ටිකක් සැරයි. ගෙදරදීත් දරුවන්ගේ පාසල් වැඩත් එක්ක ටිකක් සැර දානවා. හැබැයි තරහ යනවා කියලා ලොකු තරහවක් අරගෙන මටත්, දරුවන්ටත් කවදාවත් හයියෙන් කෑ ගහන්නේ නැහැ.

දෙන්නා ආයෙත් විවාහ වුණාට දැන් ලොකු ඉලන්දාරියෙක් ඉන්න අම්මා කෙනෙක්. එහෙම නේද?
ඔව්නේ.. දැන් අපේ ලොකු පුතාට අවුරුදු විස්සයි. එයාගේ නම කුමුතු. දෙවැනි පුතා රනුතු. එයාට දැන් වයස අවුරුදු දහතුනයි. තුන්වෙනියා දෙමුතු. බාල පුතාට අවුරුදු දොළහයි. අපි දෙන්නාට පිරිමි දරුවන් තුන්දෙනයි. ලොකු පුතා නම් පුංචි කාලේ වෙළඳ දැන්වීම්වලට, කැලැන්ඩර්වලට හිටියා. හැබැයි ටිකක් ලොකු වෙන්න ලොකු වෙන්න ඒවාට සම්බන්ධ වෙන්න ලොකු ඇල්මක් දැක්වූවේ නැහැ. අපිට වඩා ඒවාට ආරාධනා වැඩිපුර ලැබෙන්නේ එයාටයි. චිත්‍රපට, ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. හැබැයි තාම ඒවා බාර ගත්තේ නැහැ. 

දරුවන් තුන්දෙනයි අපි දෙන්නයි අතරේ ලොකු බැඳීමක් තියෙනවා. මම සමහර කාලවලදී මේ ෆීල්ඩ් එකේ ඇත්තේම නැහැනේ. ඒ නැතිවෙන්නත් හේතුව තමයි මගේ ජීවිතේ මම වැඩිහරියක් එක එක කාලවලදී මම මගේ දරුවන් වෙනුවෙන් ඒ කාලේදී මම සම්පූර්ණයෙන් කැප කළා. දරුවන්ගේ ඒ ඒ කාලවලදී ඒ තියෙන සුන්දරත්වය, ඒ හුරතලය අපිට ආයේ කවදාවත් විඳින්න බැහැනේ. ඒ නිසා ඒ දරුවන්ගේ වගකීම මට හරියට දැනෙනවා. කුමා කවදාවත් මේ අවුරුදු විසිපහ තිස්සේ “ඔයා රඟපාන්න එපා කියලා මට කියලා නැහැ. හැබැයි අපි දෙන්නා දරුවන් ගැන හිතලා හැමවෙලේම වැඩ කරනවා.  

කුමාර එක්ක දරුවන් එක්ක මේ ගෙවන ජීවිතේ ගැන නිරෝෂාට අද මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මම මගේ දෙවියන්වහන්සේට ස්තූති කරනවා. අපේ පවුල් ජීවිතයට උන්වහන්සේ දීලා තියෙන සාමදානය, සතුට අපිට කවදාවත් මුදලින් ලබාගන්න බැහැ. මට හොඳ සැමියෙක් සහ හොඳ ආශිර්වාද ලබපු දරුවන් තුන්දෙනෙක් ලැබිලා ඉන්නවා. ඒ නිසා ඇත්තටම මම හරි වාසනාවන්තයි. 

 

► Text - Dishani  /   Pic -Dayan witharana &  Internet