ගීතා කාන්ති ජයකොඩි
මම පොත් කියවන්න හරි කැමතියි. ඉස්සර මට තාම මතකයි තරැණ කාලෙදී ගෙදර ඉඳිද්දීත් මම හරියට පොත් කියෙව්වා. කුස්සියේ ළිපේ හොද්ද තියලා ඇවිත් ඒක ඉදෙන ටිකටත් පොතේ පිටු ටිකක් කියෙව්වා. ඒ තරමට පොත් කියවන්න මම හරිම කැමැත්තෙන් හිටියෙ. පරිවර්තන පොත්වලින් ඔළුවට බරක් දැනෙන ලොකු පොත් කියවන්නෙ හරිම අඩුවෙන්. මම සාමාන්‍යයෙන් සරල පරිවර්තන පොත් කියෙව්වා. ඉස්සරනම් ඔය බොළඳ නවකතා පවා කියෙව්වා. දැන්නම් තෝරාගත්ත පිරිසකගේ පොත් අනිවාර්යයෙන්ම කියවනවා. සාහිත්‍ය මාසයේ දී අලුතින් එන පොත් අතරින් එහෙම තෝරාගත්ත පිරිසකගේ අලුත් පොත් අරගෙන කියවනවා. හැබැයි ඉතින් දැන්නම් එක හුස්මට පොතක් කියවන්නෙ නැහැ. එක පොතක් කියවන්න දැන් මට දවස් කිහිපයක්ම ගතවෙනවා. හැබැයි මම පොත් කියවන්න තාමත් ආසයි.
තුමිඳු දොඩම්තැන්න
මම හිතන විදිහට මනුස්සයෙක්ව පරිවර්තනය කරන්න පුළුවන් බලවත්ම ශක්තිය තියෙන්නෙ පොත්වලයි. මගේ ජීවිතය තුළදී මම බොහෝ දැනුම එකතුවක් ලබාගත්තෙ පොදු ඇසුරෙනුයි. පාසල් පොත්වලින්, පාසල් අධ්‍යාපනයෙන් පසුව ලෝකය ගැන දැනුමක් ගත්තානම් ඒ දැනුම මට ලැබුණෙ මම කියවපු පොත් නිසයි. නිර්මාණවේදියෙක් විදිහට මගේ මගේ නිර්මාණ ලෝකය පුළුල් කරගන්න මට හොඳම සම්පත වුණේ පොත් කියලයි මම විශ්වාස කරන්නෙ. උසස් පෙළ අධ්‍යාපනය හමාර කරලා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනතුරැ ගෙදර හිටපු කාලය තුළ මම වැඩිපුරම කාලය ගත කළේ පොත් කියවන්නයි. ඒ කාලේ අපි පොත් කියෙව්වෙ තරගයට වගෙයි. රචකයන්ව කියවා හමාර කිරීම අපේ ඉලක්කය වුණා. වික්‍රමසිංහව කියවලා ඉවර කරන්න, නවගත්තේගම කියවලා ඉවර කරන්න, සරච්චන්ද්‍රව කියවලා ඉවර කරන්න අපිට ආසාවක් තිබුණා. ඒ ආසාවත් එක්ක කියවීමෙන් ලැබුණු දේ තමයි අදටත් අපිට උදව් වෙන්නෙ. අපි තුළ යම්කිසි කලාවක් තියෙනවානම් ඒ තියෙන්න ප්‍රධානම හේතුව පොත්පත්. පොත්වලට ඕනෑම මනුස්සයෙක්ව යහපත් පැත්තට, සුබවාදී පැත්තට පරිවර්තනය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. පොත්වලට තරම් ඒ ගුණය වෙන කිසිම දේකට නැහැ.
රවීන්ද්‍ර විජේරත්න
යන්තම් අකුරු ගලපාගෙන කියවන්න පුළුවන් කාලේ ඉඳන්ම මම පොත් කියවනවා. ඒ වෙනකොට මගේ අක්කලා අයියලා පොත් කියවන්න පටන් අරගෙනයි තිබුණෙ. ඒ අය පුස්තකාලයෙන් ගේන පොත් මමත් අකුරු ගලපාගෙන හෙමිහිට කියවන්න පටන් ගත්තා. ඊට පස්සෙ මට සැබෑ මිනිසෙකුගේ කතාවක් කියන රුසියන් පරිවර්තන පොත කියවන්න ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු අටක් විතර ඇති. ඒ පොත කියෙව්වාම මට පොත් කියවන්න පුදුමාකාර ආසාවක් ඇතිවුණා. කවුරුහරි මුලින්ම පොතක් කියවනවානම් සැබෑ මිනිසෙකුගේ පොතක් කියන පොත කියවන්න කියලයි මම කියන්නෙ. මම මගේ අධ්‍යාපන කටයුතුවලට හානි නොවෙන්න සෑහෙන්න පොත් කියෙව්වා. ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න යනකොටත් අනිවාර්යයෙන්ම පොතක් අරගෙන යනවා. රූගත කිරීම් නොකරන පොඩි විවේක කාලයේදීත් මම අර පොත පෙරළගෙන කියවනවා. හැම තිස්සෙම මගේ වාහනයේ නවකතා පොතක් තියෙනවාම තමයි. මම හැම වසරකදීම සාහිත්‍ය මාසයට අලුතින් එකතුවෙන පොත් බොහොමයක් ගන්නවා. දැනටත් ගිය අවුරුද්දෙ ගෙනාපු පොතක් කියවමිනුයි ඉන්නෙ. මේ වසරේදීත් අනිවාර්යයෙන්ම පොත් ගන්න යනවා. මේ පාරත් ගන්න ඕන කරන පොත් විස්සක විතර පොත් ලැයිස්තුවක් හදාගෙන ඉන්නෙ. අනිවාර්යයෙන්ම ඒ පොත් ටික ගන්නවාම තමයි. මේ වන විට මම පොත් විශාල ප්‍රමාණයක් මුදල් දීලා මිලදීගෙන තියෙනවා. මම හරි වේගයෙන් කියවන කෙනෙක්. ඒක බොහෝ දෙනා දන්න දෙයක්. පිටු ගොඩක් තියෙන ලොකු පොතක් වුණත් මට දවස් තුන හතරකින් කියවලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේම කාර්යබහුලකම මැද වුණත් මට පොත් කියවන්න පුළුවන්.
නිමන්ති පෝරගේ
මම කොහොමත් පොඩි කාලේ ඉඳන් පොත් කියවන්න කැමතියි. ඒ කාලේනම් ඔය අතට අහුවෙන පත්තර කෑල්ල පවා කියෙව්වා. මම පුංචි කාලේනම් මුලින්ම ආස කළේ පත්තරවල තියෙන ලස්සන චිත්‍රවලටයි. කතාන්දරවල ලස්සන චිත්‍ර ඇඳලා තිබුණොත් මම ඒ කතාන්දරය කියවන්න පෙළඹුණා. ඊට පස්සෙ ඉතින් නවකතා කියවන්න පටන් ගත්තා. මට මතකයි ඒ කාලේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ වර්ෂා නවකතාව හරිම ආසාවෙන් කියෙව්වා. පහු කාලෙදී මම අනුල ද සිල්වාගේ පරිවර්තන පොත් ගොඩක් කියෙව්වා. ඊට පස්සෙ මම ඒවාට ලොකු කැමැත්තක් දැක්වුවා. විශේෂයෙන් කාන්තාවන් මුල් කරගෙන ලියවුණු පොත් ලියලා තිබුණු නිසා මම ඒවා හරිම ආසාවෙන් කියෙව්වා. අනුල ද සිල්වා පරිවර්තනය කරපු සුල්තානා පොතට මම ගොඩක් කැමතියි. ඒ වගේම සරත් විජේසූරිය ජීවිතය ගැන ලියපු පොත්වලට ගොඩක් කැමතියි. මේ කාලෙදී මම වැඩිපුරම පරිවර්තන පොත්, ජීවිතය ගැන ලියපු පොත් වැඩිපුරම කියවනවා. පහුගිය කාලෙදී මම ටිකක් කාර්යබහුල වුණා. ඒ නිසා පොත් කියවන එක චුට්ටක් මගෙන් මඟහැරුණා. හැබැයි ගිය සතියේ මම අලුතින් පොත් දෙකක් ගත්තා. දැන් හෙමිහිට ඒ දෙක කියවන්නත් ඕනෙ. මම කොහොමත් සරසවි පොත්හලට මාසයකට සැරයක් ගිහින් අලුත් පොතක් තිබුණොත් අනිවාර්යයෙන්ම ගන්නවා.
තරංග දිසානායක
මේ වසරේදී මම බලාගෙනම හිටියෙ පොත් ප්‍රදර්ශනය එනතුරුම තමයි. හැම අවුරුද්දකම සාහිත්‍ය මාසය එනතුරු මම බලාගෙන ඉන්නවා. පොත් කියවන ආසාව මට ඇතිවුණේ ඉස්කෝලෙ යන කාලේ ඉඳන්මයි. ඒකට ප්‍රධානම හේතුව වුණේ මගේ අම්මයි. අපේ අම්මා හරියට පොත් කියවන කෙනෙක්. නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම අම්මගේ අතේ පොතක් තියෙනවා මම දැක්කා. පහු කාලයෙදී අපිටත් පොත් කියවන්න උනන්දු කළේ අම්මයි. මුලින්ම පුංචි පුංචි ළමා පොත් ගෙනත් දීලා අපේ කියවීම ඇතිකරවන්න අම්මා අපිට ගොඩක් උදව් කළා. ඒකත් එක්කම මමත් පොත් කියවන්න ආස කළා. හැම අවුරුද්දකම තියෙන පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩක් ගෙනල්ලා දැන් ලොකු අල්මාරි දෙකක පොත් පුරවලා තියෙනවා. හැබැයි මම ඒ පොත් කාටවත් දෙන්නෙ නැහැ. ඒ තරමටම මම පොත්වලට හරි පෙරේතයි. මේ පොත් එකතුවෙන් අදටත් මගේ හිත තදින්ම නතර වුණේ මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතටයි. ඒ පොත මේ වෙනකොට මම කිහිප වතාවක්ම කියවලා තියෙනවා ස්වර්ණ පුස්තක සම්මානවලට නිර්දේශ වන හැම පොතක්ම මම හැම වසරකම මිලදී ගන්නවා. ඒක වසර ගණනාවක් තිස්සෙම මගේ තියෙන පුරුද්දක්. මම වැඩිපුරම පොත් කියවන්න කැමති ගෙදරදියි. ඒ වගේම අපේ ට්‍රිප් යන යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඉතින් ට්‍රිප් ගියාම ඔය නිස්කලංක නිදහස් තැනකට වෙලා පොතක් කියවන්න මම හරි ආසයි.
දිනක්ෂි ප්‍රියසාද්
මම පොත් කියවන්න ආසයි. චූටි කාලේ ඉඳන්ම මම පොත් කියෙව්වා. හැබැයි උසස් පෙළ පන්තිවල ඉඳිද්දී ඒක පොඩ්ඩක් මඟහැරැණා. මම පුංචි කාලෙදී අපේ තාත්තගේ වැඩේම පොත් කියවන්න කියලා කියන එක තමයි. ඒ කාලේ ඉඳන්ම තාත්තලා පොත් කියවන කට්ටියනෙ. ඒ නිසාම ඒ උනන්දුව අපිටත් ඇති කළා. මුල් කාලෙදී රූපවාහිනී නිවේදිකාවක් විදිහට වැඩ කරද්දීත් තාත්තා කිව්වෙම නිවේදිකාවක් වෙනවානම් හැමවෙලේම පොත් කියවලා දැනුම ලබාගන්න ඕනෙ කියලා. ඒ නිසා ගෙදරින් ඒ උනන්දුව ඇති කළා. ඊට පස්සෙ මම පාසලේදීත් සිංහල සාහිත්‍ය, ඉංග්‍රීසි සාහිත්‍ය කරපු නිසා පොත් කියෙව්වා. හැබැයි උසස් පෙළට ගණිත විෂය තෝරාගත්ත නිසා පොත් කියවන එක පොඩ්ඩක් මඟහැරැණා. හැබැයි දැන් ආයෙත් පොත් කියවනවා. පහුගිය කාලෙදී පොත් කිහිපයක්ම කියෙව්වා. අලුතින් පොතක් එළිදකිද්දී සමහර විට මට ඒක කියවන්න ලැබෙන්නෙත් නැහැ. පහුගිය කාලෙදී මම අප්පච්චි ඇවිත් පොත කියෙව්වා. ඒ වගේම විරාගය පොත මෑතකදීත් කියෙව්වා. මට හිතෙන විදිහට විරාගය පොත මේ වෙනකොට විසි වතාවක් විතර කියවලා ඇති. පොත් කියවන්න ඇත්තටම මම හරි කැමතියි.
► Text - Dishani Pic – Sumudu & Internet