උදය අපිට ඔයා ගැන මුලින්ම පොඩි විස්තරයක් කියන්න?
මගේ නම උදය ශ්‍රී බණ්ඩාරනායක. මගේ ගම බණ්ඩාරවෙල බෙරගල කියන ගමේ. හපුතලේට ගොඩාක් කිට්ටුයි. ඒක ගොඩාක් සුන්දර ගම්මානයක්. මට අපූරු ළමා කාලයක් තිබුණා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, සහෝදරයෝ තුන්දෙනයි, සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. මම පවුලේ තුන්වෙනියා. මගේ අප්පච්චි විශ්‍රාමිකයි. අම්මා රැකියාවක් කළේ නැහැ.
පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචි කාලේ නම් එහෙම ලොකු හීනයක් තිබුණේ නැහැ. හැබැයි ඉස්කෝලේ යන කාලෙදී රඟපාන්න ආස කළා. මම වැඩිපුරම කාලය ගතකළේ මගේ අක්කා එක්කයි. මගේ අක්කා විලාසිතා පැත්තට ලොකු නැඹුරුවක් දැක්කුවා. මම ඉස්කෝලේ යන කාලේදීත් එයා රජයේ රැකියාවක් කළා. එයා හරි ලස්සනට ඇඳුම් අඳිනවා. ඒ නිසා අක්කාගෙන් මමත් හරි ලස්සනට ඉන්න ඉගෙන ගත්තා. එයා ඇහිබැම හඳනකොට මගෙත් හැදුවා. රැකියාවෙන් ලැබෙන වැටුපෙන් එයා ඇඳුම් ගන්න යද්දී මාවත් ඇඳුම් ගන්න එක්කගෙන ගියා. මටත් හරි ලස්සන ඇඳුම් අරගෙන දුන්නා.
උදය පාසලේ මොන වගේ චරිතයක්ද?
මම ඉස්කෝලේ ටිකක් දරදඬු චරිතයක්. පන්තියේ හැමවෙලේම හිටියේ පිටිපස්සේ පෙළිවල වාඩිවෙලයි. ඉස්කෝලේදී ගොඩාක් කෙළිදළෙන් ගතකළා. අපේ ගමේ ගඟවල් තියෙනවා. ඒවායේ අපි නාන්න ගියා. සබරගමු විශ්වවිද්‍යාලයේ මගේ යාළුවෝ හිටියා. ඔය කාලේදී අපි මනමේ නාට්‍යය බලන්න ගියා. වෙලාවක් ලැබුණු ගමන් යාළුවෝ එක්ක චිත්‍රපට බලන්න ගියා. සමහර දවස්වල ඉස්කෝලේ නොගිහින් හොරෙන් ෆිල්ම් බලන්න ගිහින් ඉස්කෝලේ ඇරිලා ගෙදර යන වෙලාවට සාමාන්‍ය විදිහට ගෙදර ගියා. මම උසස් පෙළ බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයෙන් පෞද්ගලික අයඳුම්කරුවෙක් විදිහට විභාගයට සහභාගී වුණා. ඒකාලේදී මට ලාල් සුරංග කියන මගේ යාළුවා හඳුනාගන්න අවස්ථාව ලැබුණා.
එයා තමයි දැන් මට ඉන්න පරණම සහ හොඳම යාළුවා වුණේ. ලාල්ගේ අම්මා මට මගේ “දෙවැනි අම්මා වගේයි. මට සලකන්නේත් එයාගේ පුතාට වගේමයි. ඒකාලේදී මගේ අම්මලා වෙනම ප්‍රදේශයක තමයි පදිංචි වෙලා හිටියේ. උසස් පෙළ කරන කාලේදී මම මගේ යාළුවෝ එක්ක කඳු නගින්න පුරුදු වුණා. ලාල්ගේ ගෙදර ගියාම එයා මාව කඳු නගින්න කියලා “පුංචි සිරිපාදය ඒ කාලේ එක්ක ගෙන යනවා. ඒ නිසා මම කඳු නගින්න ආස කළා. ඇත්තටම ඒ කාලේ හරි සුන්දරයි. ස්වභාව දහමට දිය ඇල්ලට මම ආස කළේ කඳු නැගීමත් සමඟයි.
පාසල් අධ්‍යාපනයෙන් පසුව උදය පොලිස් සේවයට බැඳුණා නේද?
ඔව් 2009 අවුරුද්දේ ඇල්පිටියේ පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මම පොලිස් නිලධාරියෙක් විදිහට මුල්ම පත්වීම මඩකලපුව පොලිසියෙන් වැඩ බාරගත්තා. පාසල් යන කාලේදීත් මම ක්‍රීඩා කළා. මළල ක්‍රීඩාවලට මම වැඩිපුරම සම්බන්ධ වුණා. පොඩිකාලේ ඉඳන්ම මම බුදු දහමට ගොඩාක් ගරැකරන කෙනෙක්. හැමදාම දවස පටන්ගන්නෙත් බුදු දහම එක්කම තමයි. ඒනිසා බුදු දහමත් එක්ක ජීවිතය පටන් ගත්තාම එන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒවා සම්බන්ධව අත්දැකීම් පවා මගේ ජීවිතේ තියෙනවා. ඒනිසා ජය පරාජයත් මොනව ලැබුණත් මම හැමදාම පටන්ගත්තේ බුදු දහමත් එක්කමයි. මෙතෙක් ආ ගමනේදී පරාජයන්ට වඩා ජයග්‍රහණ තමයි මම ලබලා තියෙන්නේ.
පොලිස් සේවයේ නියුතුව හිටපු උදය නිරෑපණය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම නිරූපණ ක්ෂේත්‍රයට මම ආස කළා. ඒකට මූලිකවම හේතුව වුණේ මගේ අක්කා. පොලිසියේ රාජකාරියේ නිරතව සිටින අතරවාරයේදී නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ නාලක දළුවත්තව මට හඳුනාගන්න පුළුවන් වුණා. ඔහු හරහා රොසෑන් ඩයස් මහත්මිය හඳුනාගෙන ඇයගේ ඇකඩමියේ මාස හයක පාඨමාලාවක් හැදෑරුවා.
උදයට නිරූපණ ක්ෂේත්‍රයේ තරග කිහිපයක්ම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්.. රොසෑන් ඩයස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මම 2014 වසරේදී ලංකාවේ ඉන්න ක්ෂේත්‍රයේ දැවැන්ත නිරූපණ ශිල්ප ශිල්පීන් සිය දෙනෙකු සමඟ කොණ්ඩ මෝස්තර විලාසිතා දැක්මකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතේ එක්තරා හීනයක් හැබෑවීමක් වගෙයි. ඒක මගේ ජීවිලේ ලොකු අත්දැකීමක් වුණා. ඊට පස්සේ 2016 වසරේදී ඉන්දුනීසියාවේ පැවති තරගයකට සහභාගී වුණා. ඒකේ රටවල් හතළිස් අටක් නියෝජනය කරලා අවසාන විසිදෙනා අතරට තේරුණා. ඒ 2016 Miter Sri Lanka At Mister Universal Ambassador. දවස් දොළහක් තිබුණු ඒ තරගයත් මගේ ජීවිතේ ලොකු අත්දැකීමක් වුණා. ඒකට යන්න අඩිතාලම දැමූ අනුජ් වීරසිංහට ස්තූති කරන්නම ඕනේ. ඊට පස්සේ Mr. Sri Lanka at Man of the Globe International 2019 තරගයට මම සහභාගී වුණා. ඒකට රටවල් 15 අතරින් මම හතරවෙනියා. ඒ තරගය පිලිපීනයේ දවස් දොළහක් පැවැත්වූවා.
පොලිස් නිලධාරියෙක් විදිහට සේවය කරන උදය නිරූපණ ශිල්පියකු විදිහට යන මේ ගමන ලොකු අභියෝගයක් නේද?
ඔව්.. නිවාඩු අනුමත කරන්න නම් දවස් හතළිස් පහකට කලින් ඒ සඳහා දැනුම් දෙන්න ඕනේ. නමුත් මේ මුල් තරගයට යන්න මට ඒ තරම් කාලයක් තිබුණේ නැහැ. හැබැයි මම ඒ අභියෝගයත් බාරගත්තා. නිරෑපණ ශිල්පියෙක් වුණාම හොඳට උස තියෙන්න ඕනේ. හොඳ ඇඟක්, හොඳ පෙනුමක් වගේම චතුරව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මේ හැමදේම මට ලොකු අභියෝගයක් වුණා. මුලින්ම ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කරවිට මහතා මට ගොඩාක් උදව් කළා. එතුමා තමයි මගේ ජීවිතේ කඩඉම් ගමනේ පළමු පියවර වුණේ. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාටත්, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් අධිකාරී නිශාන් සොයියා මහතාටත්, පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාටත්, සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාටත්, කිරුළුපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක උපුල් සමරසිංහ මහතාටත් ස්තූති කරන්නම ඕනේ. පොලිස් සේවයේ ඉන්න අතරතුරේම මේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඔවුන් මට ගොඩාක් උදව් කරනවා. ඒ වගේම මගේ පොලිස් ක්ෂේත්‍රයේ ඉන්නා සියලු ම මගේ සහෝදර සහෝදරියෝවත් මම ආදරයෙන් මතක් කරනවා. දැන් මම කිරුළුපණ පොලිසියේ අපරාධ මර්දන අංශයේ රාජකාරිය කරනවා.
උදයගේ ඊළඟට තියන බලාපොරොත්තු මොනවාද?
මට රංගනයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ලබන අවුරුද්දේදී බොහෝ විට සිනමා පටයකින් මාව දැකගන්න පුළුවන් වේවී. ඒවගේම ලබන වසරේදී ඕස්ට්‍රේලියාව හෝ ජපන් රටේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගයකට ලංකාව නියෝජනය කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලංකාවට අරගෙන ශ්‍රී ලංකා පොලිසියටත්, ශ්‍රී ලංකාවටත් අභිමානයක් ගෙනදීම මගේ ලොකුම බලාපොරොත්තුවයි.
► Text - Dishani / Pic - Sumudu