2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

වෙන්ඩ ජනපති බුවාලගේ කෝලම්

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

අද අපි YouTube Hit වලින් කතා කරන්නේ Ftt වැඩක් ගැන. Ftt කියන්නේ කවුද කියලා අලුතින් පැහැදිලි කරන්න ඕනේ නෑනී. ලංකාවේ YouTube Channel අතර වෙනස්ම හැඩයක් තනන සෙට් එකක් තමා Ftt එකේ ඉන්නේ. මේ වෙද්දී Subscribe අසූඑක් දහසක් විතර තියෙන මේ චැනල් එකේ Views මිලියනය පැනපු වීඩියෝ කිහිපයක්ම තියෙනවා. අද අපි කතා කරන්නේ පසුගිය සතියේ එළියට දාපු ජනාධිපතිවරණ තේමා ගීතය කියන වීඩියෝ එක ගැන.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳ මත, කටකතා ආදිය තමයි මේ නිර්මාණයට විෂය වෙලා තියෙන්නේ. වචන ටික නම් ටිකක් සැරයි. දේශපාලනිකයි. හැබැයි හතර අතටම රිදෙන්න ගහලා තියෙනවා. ඒත් එක පැත්තකට ගහනකොටනම් සැර බාල කරලා කියලයි හිතෙන්නේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයට කළ නොහැකි බොහෝ දේ කරන්න YouTube හොඳ වේදිකාවක් කියලා මේ හරහා ඔප්පුවෙලා තියෙනවා. 

මේ ගීතය ගැන කතා කළොත් ස්වාභාවිකත්වය ඉක්මවා ගිහින් කරපු නිර්මාණයක් විදිහට මේක අපිට හඳුන්වන්න පුළුවන්. Electronic Voice Effect එකක් එහෙම භාවිත කරලා තියෙනවා. පසුබිම් සංගීතයට වෙනස් හැඩයක් එකතු කරලා Voice Effect එකක් දාලා තියෙනවා. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්. ඔක්කොම එකතු වුණාම පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙලා තියෙනවා. කෙනෙකුට ඒක ඕනවට වඩා වැඩියි කියලා දැනෙන්න පුළුවන්. නමුත් මේක පොඩි පරීක්ෂණාත්මක වැඩක් කියලයි අපිට දැනුණේ.  

ඊළඟට වීඩියෝ එක... වීඩියෝ එකක් කිව්වාට මේක Ftt ලාගෙන් අපි බලාපොරොත්තු වෙන විදිහේ වැඩක් නෙවෙයි. ටිකක් අමුතු වැඩක්. Facebook Time Line එකේ ඉහළ පහළ යනකොට දකින්න ලැබෙන දේවල් තමා මේකේ තියෙන්නේ. Facebook layout එකේ තමයි මේ වීඩියෝ එකම දුවන්නේ. ඒ ඒ අපේක්ෂකයන් සම්බන්ධව බුකියට දාපු වීඩියෝ පොස්ට්වලින් ජනප්‍රිය වෙච්ච දේවල් මේක ඇතුළේ අපිට පේන්න තියෙනවා. ගීතයේ වචන සමඟ ගැලපෙන විදිහට තමා මේ දේවල් එක්කරලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා දේශපාලනික දේවල් එකතු කරගෙන සංස්කරණය කරපු වීඩියෝ විශාල ප්‍රමාණයක්. නමුත් මේකේ නිර්මාණාත්මක අගය වැඩියි. හැබැයි වෙනදා තරම් උනන්දු වෙලා නෑ කියලත් හිතෙනවා.

සමස්තයක් විදිහට බැලුවාම Ftt දේශපාලන ළැදියාව යම් පමණකට තේරැම් ගන්න පසුගිය කාලේ ගොඩක් දෙනෙකුට පුළුවන් වෙලා තියෙනවා. නමුත් ඒක ඍජු ප්‍රකාශනයක් හරහා සිද්ධවෙච්ච දෙයක් නෙවෙයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වගේ සමාජ මාධ්‍යයේ මේ ආදී ප්‍රකාශනවලට අපිට විවේචන එල්ල කරන්න බෑ. මේ නිර්ණායක ඇතුළෙත් ව්‍යංග්‍යාර්ථ ගැබ්වෙලා තියෙනවා. Ftt ගොඩක් වැඩවල එහෙමයි. ඔවුන්ගේ දේශපාලන මතවාදවලට Comment තීරැවේ විවේචන එල්ලවෙලා තිබුණා. ඒත් අපි හිතන විදිහට Ftt කියන්නේ පරීක්ෂණාත්මක නිර්මාණාත්මක YouTube Channel එකක්. ඉඳලා හිටලා මොනවා කළත් අපිට කතා කරන්න දෙයක් ඔවුන් ඉතිරි කරනවා.

 

► Text - Nisal   /  Pic – Internet