ඔසුපැන්වලට ලොල් වුණු අපි දන්න කලා ශිල්පියෙක් ඉන්නවා. එයාගෙ නමේ කොටසක් තියෙනවා අරවින්ද කියලා. කවුරුත් ආදරේට කියන්නෙ අරා කියලා. හැබැයි ටිකක් සප්පායම්වෙලා ඉන්න වෙලාවකනම් එයාව දැක්ක ගමන් කට්ටිය කියන්නෙ හලෝ අරා කියලා.
ඔන්න දවසක් මෙයා යාළුවො සෙට් එකක් එක්ක කතරගම ගිහින්. ඒ වගේ ශුද්ධ භූමියක සාමාන්‍යයෙන් කටේවත් තියන්නෙ නැති දේවල්, මෙයාටනම් එහෙදිත් අදාළ වෙනවා.
ඔන්න ඔය වගේ චාජ්වෙලා හිටිය වෙලාවක එයා යාළුවෙකුගෙන් අහනවලු මචං කවුරුහරි මට කතා කරනවද? මට ඇහෙනවා බං හලෝ අරා හලෝ අරා කියනවා.
බැලින්නම් පෙරහරේ යන අය කියන හරෝ හරා තමයි මිනිහට අර විදිහට ඇහිලා තියෙන්නෙ.
මිනිස්සුන්ට නින්ද අත්‍යවශ්‍යයම දෙයක්නෙ. ඒත් මිනිස්සුන්ට නින්ද යන විදි හරිම වෙනස්. සමහර අයට නින්ද යනවා ඇඳට වැටුණු ගමන්ම. සමහර අයට පැය ගාණක් යනවා නින්ද සෙට්වෙන්න. සමහර අයට වාහනේක නැග්ග ගමන් නින්ද යනවා. තව සමහර කෙනෙකුට වාහනයක් දැක්ක ගමන් නින්ද යනවා.
ඒ කොහොම වෙතත් මේ ළඟදි අපට ආරංචි වුණා බැණුම් අහද්දි නින්ද යන කෙනෙක් ගැන විස්තරයක්.
චිත්‍රපටයක නිෂ්පාදන අංශයකට සම්බන්ධ මොහු හැම මීටින් එකකදීම වැඩියෙන්ම බැණුම් අහන කෙනා.
හැබැයි ඉතින් මෙයාට බණින හැම වෙලාවකම එයා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැහැ. ගොඩාක් අය මුලින්ම හිතුවෙ එයා වරද පිළිගෙන නිශ්ශබ්දව ඉන්නවා කියලා.
ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි. එයාට බණින්න පටන් ගන්නකොටම එයාට කට කපලා නින්ද යනවා.
සාමාන්‍යයෙන් ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගන්න යන උදවිය අඩුම ගාණෙ ඒ යන කාලෙදිවත් මත්වතුර පානයෙන් වැළකිලා ඉන්නවානෙ. ඒත් ඉතින් ඕකට බරපතළ විදිහට ඇබ්බැහි වෙච්ච අයටනම් ඕක හරි අමාරු වැඩක්.
ඔය වගේ ශුද්ධ භූමියකට වන්දනාවෙ ගිය අපේ මිත්‍රයෙක් කරපු අපූරු වැඩක් ගැනයි මේ කියන්න යන්නෙ.
මචං මේ වගේ තැනකට ඇවිල්ලත් උඹට ඔය ජරා බීම නොබී ඉන්න බැරි වුණානෙ අම්මපා. අපිටත් එක්ක පව් සිද්ධ වෙනවා, එයා එක්ක ගමන ගිය හොඳම යාළුවෙක් කිව්වලු.
නෑ මචං මම මේ ශුද්ධ භූමියේම පොරොන්දු වෙනවා, මම මේ මොහොතෙ ඉඳලා ජරා බීම බොන්නෙ නෑ. සත්තයි.
හරිම සතුටුයිලු කට්ටියටම. ඔන්න බොලේ පහුවදා දවල් කෑම කන්න ලෑස්ති වෙනකොට මෙයා බෝතලේකුයි, පාන් බාගෙකුයි, බයිට් වගේකුයි තියාගෙන ලකලෑස්ති වෙනවලු බොන්න.
මොකක්ද හලෝ ඊයෙ නේද අර ශුද්ධ භූමියේදි පොරොන්දු වුණේ මේ ජරාව බොන්නෙ නෑ කියලා...
මම කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නැහැ මචං. මින් පස්සෙ මම මේ ජරාව බොන්නෙ නැහැ තමයි. මම මේ පාන් ගෙනාව හේතුව දන්නවද? මම මේ පාන් පෙති ටික ඔසුපැන්වල පොඟවලා කනවා. බොන්නෙනම් නැහැ මචං.
► Text - Mithra