2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ටෙලි හදන ගමන් පොතුත් ලියනවා

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

රුවන් අද වන විට ටෙලිනාට්‍ය බොහොමයකට සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනවා. රුවන් කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
මම ඉගෙන ගත්තෙ ගාල්ල පහළකීඹිය සිරිනිවාස මහා විද්‍යාලයෙ. පාසල් යන කාලේ ඉඳන්ම මම කලාවට ලොකු උනන්දුවක් දැක්වුවා. පාසල් වේදිකාවේ නාට්‍ය කිහිපයකටම සම්බන්ධවෙලා කටයුතු කළා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම කලාවට තිබුණු ආසාව නිසාම කොළඹට ඇවිත් වේදිකා නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වුණා.

වේදිකා නාට්‍යවල රඟපෑ රුවන් සහාය අධ්‍යක්ෂකවරයෙක් වුණේ කොහොමද..?
මුලින්ම මම සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහටයි කලාවට සම්බන්ධ වුණේ. ඒ වසූදා ටෙලිනාට්‍ය හරහායි. වසූදා ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ ප්‍රධාන ඇඳුම් නිර්මාණ ශිල්පියා විදිහටත් කාලයක් කටයුතු කළා. එයින් පස්සෙ බර්ට්‍රම් නිහාල් මහතාගේ අමරපුරය ටෙලිනාට්‍යයේ දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරමින් සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් නිර්මාණ කිහිපයකටම දායක වුණා. මේ වන විට මම ටිකිරි හපන්නු, දේදුනු, නිල්නෙතු, රිදී තාරකා, අන්කල් සෑම්, නිසල සඳ ඔබ, ඕලු 2, පබසරා සහ නීල පබළු ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරලා තියෙනවා.

ඔබ විසින් රචිත සඳමලී නවකතාව අද වෙනකොට පාඨකයන්ට මිලදී ගන්න පුළුවන්. සඳමලී කතාව මොනවගේ කතාවක්ද..?
සඳමලී මව්පිය සෙනෙහසින් බැහැරව ළමා නිවාසයක හැදී වැඩුණු යුවතියක්. සුදුසු වයසට පැමිණියාට පසුව සඳමලී ළමා නිවාසයට යන එන තරුණයෙකු සමඟ විවාහ වෙනවා. ඔවුන්ට දියණියක් ලැබෙනවා. හදිසි අනතුරකින් සඳමලීගේ සැමියා මිය යනවා. එයින් කෝපවන සඳමලීගේ සැමියාගේ පවුලේ අය &සඳමලීගේ මූසලකමට සැමියා මියගිය* බව පවසමින් ඇයව දරුවා සමඟ එළවා දමනවා. එතැන් සිට සඳමලී දරුවාත් සමඟ මේ ලෝකෙ තනි වුණත් ජීවිතය ගෙන යන්නට විශාල මහන්සියක් දරනවා. මේක මගේ පළමු නවකතාවයි. අද වෙනකොට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ වගේම පාඨක පිරිසගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ නිසා ආයෙත් හොඳ පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

 

► Text - Jayamali   /   Pic – Internet