2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

එක පාරක් ජීවිතේ වැරදුණා

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

නෙහාරා.. රඟපෑම අතහැරලා කරන්න යන අලුත් වැඩේ මොකක්ද?
අනේ.. මම රඟපෑම අතහැරලා නම් නැහැ. තාමත් මම රඟපානවා. ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණය කරන “හේලි කියන ටෙලිනාට්‍යයේ මම රංගනයෙන් දායක වෙනවා. ඒ ටෙලිනාට්‍යය බොහෝ විට ඔක්තෝබර් මාසේ විකාශනය වේවි. ඊට අමතරව තවත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලයි තියෙන්නේ. ඒකෙත් වැඩ කටයුතු ඉදිරියේදී පටන් ගනීවී. මීට අමතරව මේනකයි මමයි ලාල් ප්‍රියදේව මහතාගේ චිත්‍රපටයකටත් දායක වුණා. ඒ චිත්‍රපටයත් ලබන වසරේදී බොහෝ දුරට තිරගත වේවී. ඔහොම රංගනයට සහභාගී වෙන ගමන්ම මම ගීතයකුත් ගායනා කළා. ඒක තමයි මගේ අලුත් වැඩේ.

මීට පෙරත් නෙහාරා ගීත ගායනා කරලා තියෙනවා නේද?
ඔව්... මම සින්දු කියන එක පටන්ගත්තේ 2009 වසරේ දී ඉඳන්. මම ගීත කිහිපයක්ම කරලා තියෙනවා. බිලී ප්‍රනාන්දු එක්ක ඩැඩී බෑන්ඩ් එකත් එක්ක, රොෂාන් රණවන එක්ක මම ගීත ගායනා කළා. ඒවා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා. විදෙස් ගත වෙන්න ළංවෙද්දී මම මේනකත් එක්කත් ගීතයක් කළා. ඔය වගේ ගීත කිහිපයක්ම කළාට ගීත ගැයීමට ලොකු උවමනාවක් සහ උනන්දුවක් තිබුණේ නැහැ. ඔය අතරේ මමයි, මේනකයි විදෙස් ගත වුණා. ඒ ගිහින් අපි කීපවතාවක්ම ලංකාවටත් ආවා. ඔය ආපු කාලෙක තමයි හොඳ සින්දුවක් කරලා ඒකට මියුසික් වීඩියෝවක් කරමු කියලා අපි හිතුවේ. ඉතින් ලංකාවට ඇවිත් මාස දෙකකට විතර පස්සේ මායි මේනකයි මනුරංග විජේසේකරව මුණගැසුණා. 
මනුරංග මට රැන්ඩි පෙරේරාව හඳුන්වලා දුන්නා. ඔහු තමයි මේ ගීතය මියුසික් කළේ. මට මතක හැටියට අපි මාර්තු මාසේදී ගීතය කරලා අවසන් කළා. ඊට පස්සේ සැප්තැම්බර් වෙනතුරු මේ ගීතයේ වීඩියෝ එක ගැන ප්ලෑන් කළා. 

මේ ගීතය මොන වගේ ගීතයක්ද?
මේක ආදර ගීතයක්. මේ ගීතය වගේම වීඩියෝවටත් මට බොහෝ දෙනෙක් උදව් කළා. මේ ගීතය කරද්දී තමයි මම කොයි තරම් පිරිසගේ ආදරය දිනාගෙන ඉන්නවාද කියලා තේරැණේ. මේ ගීතය වෙනුවෙන් වීඩියෝ අධ්‍යක්ෂණය කිරීමෙන් ස්ටාර් ප්‍රඩක්ෂන් ඇඳුම් නිර්මාණයෙන් භානු කරුණානායක සහ රෂික ප්‍රභාත්, වේෂ නිරෑපණයෙන් ලක්ෂිත ජයසිංහ ඇතුළු බොහෝදෙනා උදව් කළා. ඒ හැමෝටම මම ස්තූති කරනවා. කොහොම හරි ඉතින් ඒ හැමෝගේම උදව්වෙන් ලස්සන ගීතයකට ලස්සන වීඩියෝවක් කළා. බොහෝ විට ඔක්තෝබර් මාසයේදී මේ ගීතය අහන්නට, දකින්නට පුළුවන් වේවී. මේ ගීතය “ඇස් ගාව කියලා තමයි අපි නම් කළේ. මේක ආදරණීය ගීතයක්. මට පොඩ්ඩක් නටන්නත් පුළුවන් නිසා ගීතයේ තාල ගැනත් මම වැඩිපුර හිතුවා.

මේ වීඩියෝවට නෙහාරා ඇතුළු කිහිපදෙනෙක්ම නර්තනයෙන් දායක වෙනවා නේද?
ඔව්.. මේකේ නර්තනයට මම දර්ශන දෙකකට චතුරංග කියන නිරූපණ ශිල්පියත් නර්තනයෙන් එකතුවුණා. ඊට අමතරව අසංග ද සිල්වාගේ “ත්‍රිතාල් නර්තන කණ්ඩායමත් මාත් එක්ක නර්තනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ සිංදුවේ රැස් කොටස ගායනා කළේ  killer B(බිඟුමාල්) එයාටත් ස්තූති කරනවා. මීට පෙර මම එකම එක මියුසික් වීඩියෝවකට දායකවෙලා තියෙනවා. ඒ 2007 අවුරැද්දේ ශෙහාන් මිහිරංගගේ “මිහිරාවියේ* කියන ගීතයටයි. ඒ කාලේ ඉඳන්ම මටත් ගීතයක් කරන්න උවමනාව තිබුණා. ඒ නිසාම මම ප්‍රතිපත්තියක් හැටියට අතින් ගායක ගායිකාවන්ගේ මියුසික් වීඩියෝවල ඉන්න එක නැවැත්තුවා. කවදා හරි මමම සින්දුවක් කියද්දී මගේම මියුසික් වීඩියෝවලයි, අනිත් අයගේ මියුසික් වීඩියෝවලයි ඉදිද්දී හැමදේම පැටලෙන නිසා මම වෙනත් අයගේ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන එක නතර කළා. ලංකාවට ආවට පස්සෙත් මට මියුසික් වීඩියෝ කිහිපයකටම ආරාධනා ලැබුණා. හැබැයි මම ඒවා බාරගත්තේ නැහැ. මම ඒ හැමදේම බොහෝම ආදරණීයව ප්‍රතික්ෂේප කළා. මේ වීඩියෝ එක එක දවසින් කරලා ඉවර කළා. හැබැයි කිසිම මොහොතකවත් මම මහන්සියක් දැනුණේ නැහැ. හැමෝම හරිම ආසාවෙන් මගේ වැඩේට උදව් කළා.

අද වෙනකොට මොකද හිතෙන්නේ?
වීඩියෝ එක කරලා ඉවරවෙලා අද වෙනකොට මට ගොඩාක් සතුටුයි. ඒ සතුට සමහර වෙලාවට මට දරාගන්නත් බැහැ. ඒක ප්‍රචාරය වෙනකන් මට දැන් ඉවසිල්ලක් නැහැ. ඒ තරමට මට සතුටුයි. හැබැයි මේක දැක්කට පස්සේ මට හොඳ කියන පිරිසක් ඉඳීවී. වැරදි කියන පිරිසකුත් ඉදීවී. ඒක සාමාන්‍ය දෙයක්නේ. කොහොමටත් මට ඒක බොහෝම සාමාන්‍ය දෙයක්. ඒ පිළිබඳව මට බොහෝ අත්දැකීම් තියෙනවා. “සමහරු රඟපාන එක විතරක් නොකර සින්දු කියන්නත් මෙයා යනවා. කියලා මට කියාවී. හැබැයි මට ඕන ගායිකාවක් වෙන්න නෙමේ. මට “ඉදිරිපත් කරන්නියක් වෙන්නයි ඕනේ. ලංකාවේ මට වඩා රඟපාන්න පුළුවන්, ගායනා කරන්න පුළුවන්, නිවේදනය කරන්න පුළුවන්, නටන්න පුළුවන් අය ඕනතරම් ඉන්නවා. මම ඒක දන්නවා. හැබැයි ඒ හැමදේම මමත් කරනවා. මම ඒ හැමදේම මට පුළුවන් උපරිමයෙන්ම කරනවා. මට දෙවියන්වහන්සේ විසින් යම්කිසි හැකියාවක් ලබලා දීලා තියෙනවා කියලා දන්නවා. ඒක ප්‍රයෝජනයට ගෙන හොඳ දෙයක් කරන්න හැමවෙලේම උත්සහ කරනවා.

අද මේනකයි, නෙහාරයි ගතකරන ජීවිතේ කොහොමද?
ඒකනම් මරු. ඒ ජීවිතේට මම හරි ආදරෙයි. බොහෝම සතුටින්, ලොකු අවබෝධයකින් අපි දෙන්නා ජීවත් වෙනවා. අපි දෙන්නා හරියට අපි ගැන හොයලා බලනවා. අපි විවාහ වෙලා ලබන අවුරුද්දේ ජනවාරි මාසයට අවුරුදු හයක් වෙනවා. අපි යාළුවෙලා අවුරුදු දහයක් වෙනවා. ඒ කාලයේදී වුණත් අපි දෙන්නා අපි ගැන හොයලා බැලුවා. රූගත කිරීමකට ගියත්, කොහේ ගියත් අපි තවමත් එයා කාලද.. කියලා හොයලා බැලනවා. අපිට අපේ ජීවිත නැවතත් වරද්ද ගන්න ආස නැහැ. එක පාරක් වැරැදුණත් ඒක ආපහු සිද්ධ වෙන්න නොදී ජීවිතේ ගෙනියන්නයි අපිට ඕනේ. මේනක හරිම ආදරණීය චරිතයක්. අපි දෙන්නාට දෙන්නා හරි ආදරෙයි. ඒ නිසා එයත් එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. 

 

► Text - Dishani  /  Pic -  Internet