ඉෂාරා සදමිණී.. Mrs Sri Lanka worl 2019 තරගාවලියට සහභාගී වෙන්න මුලින්ම හිතුණේ කාටද?
මේ තරගයට යන්න ඕනේ කියලා මුලින්ම හිතුණෙනම් මටයි. විවාහ වෙන්න කලින් මේ වගේ තරග කිහිපයකට ගියා. Mrs Sri Lanka තරගයෙන් මම දෙවැනියා වුණා. ඔය වගේ තරග කිහිපයකටම සහභාගී වුණා. ඒ තරග ජයග්‍රහණය කළා. ඒ නිසාම තමයි මම කලා ක්ෂේත්‍රයටත් එන්න පුළුවන් වුණේ. ක්ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය සම්මාන දිනාගත්තා. හැබැයි බඳින්නත් කලින්ම මට හිතුණු දෙයක් තමයි විවාහ වුණාට පස්සෙත් මම Mrs Sri Lanka තරගයට සහභාගී වෙනවා කියලා. එහෙම ආසාවන් හිතේ තිබුණට ඒක කවද්ද කියලා මම තීරණය කරලා තිබුණෙ නැහැ. ඇත්තම කිව්වොත් මෙච්චර ඉක්මනට තරගාවලියකට යන්නත් මම හිතාගෙන හිටියෙ නැහැ. තාම අපේ චූටි දුව පොඩියි. හැබැයි අනුර මට කියපු දෙයක් තමයි ඔය වගේ දේකට ලබන අවුරුද්දේ ගියත් එකයි මේ අවුරුද්දේ ගියත් එකයි. අනික හොඳම දේකට යන්න ඇයි පස්ස ගහන්නේ කියලයි.
හිතන තරම් ඒක ලේසි නැහැ නේද?
ඔව්.. ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. මම දෙයක් කරනවානම් ඒකෙ අවසාන ප්‍රතිඵලය සාර්ථකත්වය ලැබෙනවානම් විතරයි මම ඒක කරන්න උත්සාහ ගන්නේ. ඒකෙන් මම මේ තරගයෙන් පළවෙනියම වෙන්න හිතාගෙන ඉන්නවා කියලනම් හිතන්න එපා. මට ඕන හොඳ දෙයක් කරන්නයි. කිසිම දෙයක් කරන්නන්වාලෙ නම් කරන්නෙ නෑ. ඒ නිසාම තමයි මම මුලින්ම පස්සට ගැහුවේ. හැබැයි අනුර ඔයා බයවෙන්න එපා. බබාගේ වැඩ කොටස සම්පූර්ණයෙන්ම මම ගන්නම් කියලා කිව්වා. ඒ විශ්වාසය උඩ මම තරගයට ඉදිරිපත් වුණා.
මේ වනවිට ඉෂාරා රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විතරක් නෙවේ, ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ හැම වැඩ කොටසක්ම කරගෙන යන ගමනක් තමයි මේ?
ඔව්... ඇත්තටම මේකට සහභාගී වෙන්න හදද්දි සියයට පනහක් මට යන්න කියලා හොඳ කිව්වා. හැබැයි අනිත් පැත්තට මම දන්න අයම මට අපරාදේ දැන් ඔයා ඔක්කොම දිනාගෙන තියෙන්නේ. ඇයි ඕවට යන්නේ කියලා ඇහුවා. ඒක නරක අදහසකින් කියපු දේවල් නෙවේ. මම තරගවලින් දිනුවා. රංගන ශිල්පිනියක් වෙලා සම්මාන දිනාගත්තා. ජනප්‍රිය වුණා. හැමදේම තියෙනවා. හැමදේම සම්පූර්ණයි. ඒක ඇත්ත. ඕනෑම ගැහැනු කෙනෙක් මෙවැනි තරගයකට සහභාගී වෙන්නේ ජනප්‍රිය වෙන්න, රඟපාන්න අවස්ථාවක් දිනාගන්නයි. ඒ නිසා බොහෝ දෙනා ඔයා ආපස්සට යන්නෙ ඇයි කියලා මගෙන් ඇහුවා. හැබැයි මේකත් මට ලොකු අභියෝගයක්. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම වෙනස්, අලුත් විදිහේ දේවල් කරන්න ආසයි. ඒවයින් අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒකත් අපිට අභියෝගයක්නේ. දිනන්න හරි පරදින්න හරි මම මේකට සම්බන්ධ වුණා. මම මගේ උපරිමයෙන්ම මේක කරනවා. ගෙදරින් මම සීයට දෙසීයක්ම සහයෝගය ලැබෙනවා. ඒ සහයෝගයත් එක්කම කොහොමහරි මම කරනවා කියලා මම හිතාගත්තා. ඇත්තටම හරිම අමාරුයි. වෙලාව නැති තරම්. අපේ බබා කෑම කන්නේ අපි දෙන්නගේ අතේදි විතරයි. ඉතින් කොහේ ගියත් මොනවට ගියත් ඒ වෙලාවට ගෙදරට එන්න ඕනේ. එයාට කෑම ටික දෙන්න ඕනේ. මම හරි අනුර හරි ජීවිතේ මොනවා කළත් අපි දෙන්නා මුල් තැන දෙන්නේ අපේ පුංචි දුවටයි. එයාගේ දේවල් කරලා දීලා තමයි අපි දෙන්නා අපි දෙන්නගේ වැඩයි කලාවේ වැඩයි කරන්නේ.
බොහෝ කාන්තාවන් විවාහ වුණාට පසුව දරුවකු ලැබුණට පසුව තමන් ගැන, තමන්ගේ ශරීරයේ හැඩය ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ?
ඇත්ත. එවැනි අය මට ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. මම හැමදාම කරන දේ අතින් අයට ආදර්ශයක් කරන්න උත්සාහ කරනවා. මේ තරගාවලියට යන්නටත් කලින් ඉඳන්ම මම මගේ සිරුරේ හැඩය ගැන හිතුවා. බබා ලැබෙද්දි මගේ බර කිලෝ අනූ අටක් තිබුණා. ඒ දවස්වල මම වැඩිය කොහේවත් ගියෙත් නැහැ. මගේ ඇඳුම් පවා මට අඳින්න බෑ. ඒ කාලෙදී ඕනෑම කාන්තාවක් ඒ දේට මුහුණ දෙනවනේ. ඒ කාලෙදි අපි බබා ගැන විතරයිනේ හිතන්නේ. ඒ කාලෙදි ඒ දේවල්වලට අපි මුහුණ දෙන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි බබා ලැබුණට පස්සේ මම ආයෙත් මගේ සුපුරුදු ජීවිතය ගැන මම හිතුවා. මම හිතන දෙයක් තමයි විවාහය කියන්නේ අපි කරන කියන දේවල්, අපේ රූපය, අපේ පෞරුෂත්වය අපේ ලස්සන මේ කිසිම දෙයක් වෙනස් කරන්න නතර කරන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒ දේවල් කරන්න හොඳ ශක්තියක් ලබාගන්න ඕනේ. විවාහ වෙලා, දරුවෙක් ලැබුණට පස්සේ අපි වගකීම් දරන කාන්තාවන් බවට පත්වෙනවා. මට ඉන්නේ දුවෙක්. එයා ලොකු වෙලා මේ ඉන්නේ මගේ අම්මා කියලා හැමෝටම පෙන්නන්න පුළුවන් හොඳ අම්මා කෙනෙක් වෙන්නයි මට ඕනේ. මේ තරගයට යන්නත් කලින්ම මම මගේ ඇඟ ගැන හිතුවා. සමහර කාන්තාවන් දවල් දොලහටත් රූ ඇඳගෙන හිටපු නයිටිය පිටින් ඉන්නවා මම දැකලා තියෙනවා. අපි එහෙම වෙන්නෙ ඇයි? අපිට කළමනාකරණය කරගෙන දවස ගෙනියන්න පුළුවන්. මට තියෙන පැය විසිහතරම තමයි අනිත් අයටත් තියෙන්නේ. ඒ නිසා ඒ වෙලාව අපි කොහොමහරි කළමනාකරණය කරගෙන දවසේ පොඩි වෙලාවක් රූපයටත්, සුන්දරත්වයත් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ඉෂාරා ඔන්න ඔය විදිහට තරගය ගැන කිව්වට පස්සේ මේ තරගයට ඉදිරිපත් වෙලා ඉන්න තවත් ඔබ දන්න කියන කලාකාරියක් එක්කත් අපි කතාබහ කළා. ඒ අෂිකා මතසිංහ එක්කයි. බලමුද දරුවන් තුන්දෙනෙක් ඉන්න අෂිකා මේ තරගාවලියට සහභාගී වීම ගැන මොකද කිව්වේ කියලා?
අෂිකා.. මතසිංහ Mrs Sri Lanka world 2019 තරගාවලියට ඔයත් සහභාගී වෙලා ඉන්නවා. මේකට ඉල්ලුම් කළේ අෂිකාමද?
ඔව්. මම පුංචි කාලේ ඉඳන්ම මේ වගේ කිරුළු දිනාගැනීමේ තරගාවලිවලට හරි ආසයි. ඒ වගේ ගවුම් ඇඳගෙන ඉන්න අයට මම හරි ආසයි. ඉතින් අද සමාජය යන විදිහත් එක්ක බොහෝදෙනා මේ Beauty queen සහ modeling කියන දේවල් පටලවගෙන ඉන්නවා. හැබැයි මේවා එකක් නෙවෙයි දෙකක්. සමහරු මගෙන් ඇයි ඔයා මේකට ගියේ කියලා ඇහුවා. පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟම සමහරු ඇඟ ගැන හිතන එක අඩු කළා. හැබැයි පුංචි කාලේ ඉඳන්ම මම රූපලාවන්‍ය පැත්තට හරි ආසයි. ඒ නිසා කාන්තාවක් විදිහට සුන්දරව අපි ඉන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. මේ තරගාවලියට ගිහින් මම මාවම අභියෝගයක් කරගත්තා. මේ තරගාවලියේදී මම තරග කරන්නේ මාත් එක්කමයි. මට කරන්න පුළුවන් උපරිමයෙන් මම මේ තරගයට තරග කරනවා. මේකේ හැමෝම ලස්සනයි. හැමෝම දක්ෂයි. ඒ නිසාම මේ තරගයේදී queen වෙන්නම මගේ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මට ඕනේ මම කියන කෙනාව ඉදිරිපත් කරන්නයි. මම queen කෙනෙක් වෙන එකට සුදුසු ද නැද්ද කියන දේ බාරව තියෙන්නේ විනිශ්ච්‍ය මණ්ඩලයටයි.
Queen කෙනෙක් වෙන්න රූපයම බලපාන්නෙ නැහැ? එහෙම නේද?
ඔව්.. ඔව්.. queen වෙන්න රෑපයම බලපාන්නෙ නැහැ. ඒකට දැනුම ප්‍රශ්නයකට උත්තර දෙන විදිහ, අපි අනිත් අය එක්ක ආශ්‍රය කරන විදිහ, ඇවිදින විදිහ ආදී බොහෝ දේවල් ගැන හොයලා බලනවා. ඒ කිරැලට පුදුම විදිහේ වටිනාකමක් තියෙනවා. මම මේ තරගයට යන්න ආස කළාම මාව දිරිමත් කළේ මගේ සැමියා. එයාගේ නම සුරේන්ද්‍ර. එයා වෘත්තියෙන් ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරැවෙක්. මට වඩා එයා අවුරුදු හතක් වැඩිමල්. එයා එපා කියන කිසිම දෙයක් මම කරන්නෙ නැහැ. එයා අදටත් මට දැවැන්ත හෙවනැල්ලක්. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ වගේ තරගයකට යන එක මගේ හිතේ තිබුණ හීනයක්. ඒ නිසාම මම මේකට සහභාගී වුණා.
දරැවන් තුන්දෙනාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
වෙනදාට වඩා හොඳ සහයෝගයක් තියෙනවා. ඒ තුන්දෙනාටත් හරි සතුටුයි. මගේ ලොකු දුවට වයස අවුරුදු නවයයි. පුතාට දෙන්නට අවුරුදු අටයි. අවුරුදු හතරයි. එයාලගෙන් ලොකු සහයෝගයක් තියෙනවා. ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් ගෙදර වැඩ ටික කරගන්නවා. මම මේ වැඩක යෙදිලා ඉන්නවා කියලා එයාලා දන්න නිසාම මට කරදරයක් නොකර එයාලගේ වැඩ ටික තනියම කොහොමහරි කරගන්නවා. කොහොමටත් අපේ ගෙදර වටපිටාව හැදිලා තියෙන්නේ එකිනෙකාට උදව් කරගනිමිනුයි. එහෙම නැතිව පවුලක් විදිහට අපිට ඉස්සරහට යන්න බැහැ. මම හිතන්නේ ගෙදරට වගකීම හැමවෙලේම තියෙන්නේ අම්මාගේ අතෙයි. ඒ නිසා ඒ තුන්දෙනාට ඒ හැමදේටම මම පුහුණු කරලයි තියෙන්නේ. ලොකු දූ චූටි දෙන්නා ගැන හොයලා බලලා කරනවා.
දරුවන් තුන්දෙනෙක් ඉඳලත් ඔය ඇඟ ලස්සනට හදාගන්නෙ කොහොමද?
ඒක හැමදාම මම මුල ඉඳලම හිතුවා. මම ලස්සනට ඉන්න ඕනේ කියලා මගේ හිතේම තිබුණු දෙයක්. සුරෙන්ද්‍ර හරි ආසයි පාටිවලට ගියත් මම ලස්සනට දකින්නයි. බබාලා හම්බවුණු අලුත මම දවස් දෙකක් තුනක් ජිම් එකට ගියා. ඊටපස්සෙත් ගෙදරදිම කරන වැඩවලින් ඇඟ හදාගන්න උත්සාහ ගත්තා. ගෙදර වැඩ කළේ මමයි. හැබැයි මම ගෙදරදිත් ව්‍යායාම් ටිකක් කළා. ජිම් නොගිහින් අපිට අපේ ඇඟ ලස්සන කරගන්න පුළුවන්. මම අවුරුදු තුනක් අනුරාධපුරේ හිටියා. ඒ කාලෙදී මගේ සෑහෙන්න කොණ්ඩය ගියා. හැබැයි මම ඒවාවලින් දුක් වුණේ නැහැ. හිතේ සතුට තියෙනවා. ඒක ලස්සන මුහුණෙන් පේනවා. මේ තරගයට සහභාගී වීමම මගේ ජීවිතේ ජයග්‍රහණයක්.
► Text - Dishani Pic – Internet