ඩොනල්ඩ් මේ දවස්වල නියැලිලා ඉන්න වැඩකටයුතු මොනවාද?
මේ දවස්වල මම ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන “මන්දාරා චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සම්බන්ධව මූලික සැකසුම් සකස් කරමින් ඉන්නේ. ඉදිරියේදී මම සහය අධ්‍යක්ෂණය කළ “ගින්දරී 2, “ආදර හීනය, “මිස් ජෙනිස්, “සිහිනාභිෂේක, “ආදරේට ආදරෙන්, “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්* කියන චිත්‍රපට තිරගත වෙන්න නියමිත වෙලා තියෙනවා.
සිනමාවට ඇල්මක් ඩොනල්ඩ්ගේ හිතේ ඇති වුණේ පාසල් යන කාලේදීම ද?
ඔව්.. මගේ ගම මාතර කොටපොළයි. ඉගෙන ගත්තේ කොටපොළ ජාතික පාසලෙන්. පාසල් යන කාලේ ඉඳන්ම මම චිත්‍රපට පිස්සෙක්. මට තාම මතකයි ඒ කාලේ මම හරිම ආසා රංගන ශිල්පියා වුණේ ගාමිණී ෆොන්සේකා මහතා. රංගන ශිල්පිනිය වුණේ මාලනී ෆොන්සේකා මහත්මියයි. ඉතින් ඒ දෙන්නා ඉන්න චිත්‍රපටයක් ආපු ගමන් මම කොහොම හරි සත පනස්පහක් හොයාගෙන ඒ චිත්‍රපටය බලන්න යනවාම තමයි. හැබැයි කොච්චර චිත්‍රපට බැලුවත් මම කවදාවත් ගාමිණී ෆොන්සේකාව හැබැහින් දැකලා තිබුණේ නැහැ. මෙහෙම චිත්‍රපට බලද්දී මටත් සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් ඇති වුණා.
ඒ ආසාව ඉටුකරගන්න ඩොනල්ඩ් මහන්සි වුණා? එහෙම නේද?
ඔව්නේ... කොයිතරම් මහන්සි ගත්තද කියනවා නම් ඒකාලේ හිටපු ජනප්‍රිය ප්‍රවීණ ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, ජේ. සෙල්වරත්නම් වැනි අධ්‍යක්ෂකවරුන්ට මම ලිපි ලියලා තැපැල් කළා. “මම සිනමාවට කැමතියි. ඒ නිසා මාව මොනයම් ක්‍රමයකින් සිනමාවට සම්බන්ධ කරගන්න. කියලා කොයිතරම් ලිපි ලිව්වත් ඒවාට උත්තරයක් ලැබුණේ නැහැ. ලියුමක් තැපැල් කරලා ඒකට උත්තරයක් ඒවීයැයි මම දවස් ගණන් බලාගෙන හිටියට මට උත්තරයක් කවදාවත් ආවේ නැහැ.
එහෙම ලියුම්වලට උත්තරයක් නොලැබුණු ඩොනල්ඩ් ජීවිතේට සතුටුදායක උත්තරයක් ගෙනාවේ කවුද?
කොයිතරම් ලියුම් ලිව්වත් ඒවාට කවදාවත් උත්තර නොලැබුණත් සිනමාවට මගේ තියෙන ආසාව අඩු වුණේ නැහැ. ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපට බලන මම ගාමිණී විදිහට රඟපෑවා. හැබැයි ඒ රංගනයන් මට ඉදිරිපත් කරන්න වේදිකාවක් තිබුණේ නැහැ. මම මගේ යාළුවන් ඉස්සරහා තමයි ඒ විදිහට රඟපෑවේ. ඒ නිසා සමහර යාළුවෝ මට “චිත්‍රපට පිස්සා කියලත් කිව්වා. මගේ ආසාව ගැන මගේ අම්මා දැනගෙන හිටියා. දවසක් මගේ අම්මාට පාරේදී ධර්මසිරි ගමගේ මහත්තයාව මුණගැහිලා තියෙනවා. මගේ අම්මා මම ගැන ධර්මසිරි ගමගේ මහත්තයාට කියලා තිබුණා. මාව දැකපු ධර්මසිරි ගමගේ මහත්තයා මාව ඔහුගේ “යස ඉසුරු චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. ඒක තමයි කලාවේ ආරම්භය වුණේ. ඒ 1982 අවුරුද්ද. ඒ චිත්‍රපටයේ මම නිෂ්පාදක සහයක විදිහට කටයුතු කළා. ඉන්පසුව ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ “පූජා චිත්‍රපටයේ ප්‍රවීණ සහය අධ්‍යක්ෂකවරයෙකු වන අයි.එම්. හේවාවසම් සමඟ දෙවන සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.
“පූජා චිත්‍රපටයෙන් ඩොනල්ඩ්ට ගාමිණී ෆොන්සේකාව ඇසුරු කරන්නත් අවස්ථාව ලැබුණා නේද?
ඔව්.. ඔව්.. ඒක මට අදහාගන්න බැරි වුණා. “පූජා චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී ධර්මසිරි ගමගේ මහත්තයා මාව ගාමිණී ෆොන්සේකාට හඳුන්වලා දීලා “මේ මගේ පුතෙක්. ඔයාට මාර විදිහට ආසා කරන කෙනෙක්. කියලා කිව්වා. ගාමිණී මගෙන් “ඔයා මේ චිත්‍රපටයේ කරන රස්සාව මොකක්ද? කියලා ඇහුවා. මම “සර් මම මේ චිත්‍රපටයේ දෙවන සහය අධ්‍යක්ෂකවරයා කියලා කියද්දී ගාමිණී ෆොන්සේකා මගේ කරට අත තියලා “ඉවසීම, කැපවීම, බුද්ධිය තියාගෙන මේ ගමන සෙමින් පලයන් කියලා කිව්වා. ඒ වචන ටික මගේ හිතට තදින්ම දැනුණා. පසු කාලයේදී ඔහු මගේ ජීවිතයට ගොඩාක් සමීප මිත්‍රයෙක් වුණා.
ඔබ බොහෝ චිත්‍රපටවල සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනවා. ඒ චිත්‍රපට අතරින් ඔබ වඩාත්ම කැමති චිත්‍රපටය මොකක්ද?
මේ වනවිට මම චිත්‍රපට පනස්හතක විතර සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරලා තියෙනවා. ඒ බොහෝ චිත්‍රපට අතිසාර්ථක ලෙස තිරගත වුණා. සම්මාන බොහෝමයක් ලබාගත්තා. ඒ හැම චිත්‍රපටයකටම මම කැමතියි. හැම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුටම මම කැමතියි. ඒ හැමෝම මගේ ජීවිතයට ඉතා සමීප පුද්ගලයින්. ඒ අතරින් මම ප්‍රධාන සහය අධ්‍යක්ෂකවරයා ලෙසින් මුලින්ම කටයුතු කළේ ප්‍රියන්ත කොළඹගේ ගේ “දැහැන චිත්‍රපටයෙනුයි. ඒ 1987 වසරේදීයි. මාව විශ්වාස කරලා ප්‍රධාන සහය අධ්‍යක්ෂක ලෙසින් මාව යොදාගත්තු ප්‍රියන්ත කොළඹගේ මහතාට මම ස්තූති කරනවා. ඒ වගේම මම උදය කාන්ත වර්ණසූරිය මහතාගේ චිත්‍රපට විසිතුනක සහය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කළා. ඔහුටත් මම ස්තූති කරනවා. ඔවුන් වගේම බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මගේ ජීවිතයට ගොඩාක් සමීප වුණා. ඒ හැමෝටම මම ස්තූති කරනවා.
චිත්‍රපට බොහෝමයකම සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ ඩොනල්ඩ්ට අමතක නොවුණ සිදුවීම් එහෙමත් වෙලා ඇතිනේද?
අම්මෝ ඕනෑ තරම් වෙලා තියෙනවා. ඔය අතරේදී මට මුලින්ම මතක් වෙන්නේ “පූජා චිත්‍රපටයයි. ඒ චිත්‍රටපයේදී පෝරකයෙන් වැටිලා මගේ කකුල හොඳටම තුවාල වුණා. ඒ වගේම “බහුභාර්යා චිත්‍රපටය රූපගත කිරීමේදී සංගීතාව කන්දක් උඩට ගෙනගොස් රූගත කිරීම් අවසානයේදී ආයෙත් පහළට එද්දී කන්දේ ලිස්සා බිමට පෙරළිලා ඇවිත් තුවාල වුණා. ඒ වගේම තොප්පිගලදී “ප්‍රභාකරන්* චිත්‍රපටය රූගත කරද්දී ගහකට මෝටාර් බෝම්බයක් වැදී එහි අත්තක් කැඩී ඒ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ජයනාත් ගුණරත්නගෙත් මමත් ඉන්නා තැනට වැටුණා. ඇත්තටම එදා අපි දෙන්නම බේරුණේ අනුනවයෙන්. ඔය වගේ සිදුවීම් බොහෝමයක් මගේ සිනමා ජීවිතයේ තියෙනවා. හැම චිත්‍රපටයක්ම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කරනවා.
තිස්පස් වසරක සිනමා ජීවිතයක් ඇති ඔබට ඒ කාලේ ප්‍රවීණයන් වගේම වර්තමානයේදී නවකයින් ද ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනවා. මේ යුග අතර තියෙන වෙනස ඔබ දකින්නේ කොහොමද?
මම ක්ෂේත්‍රයට ආපු අලුත සිනමාවේ හිටියේ මේ රටේ ඉන්න ඉතා දැවැන්ත ප්‍රවීණයන්. ඔවුන් තුළ සිනමාව ගැන විතරක් නෙමේ. සාමාජීය දැනුම, දේශපාලන දැනුම, පොතපත කියවීමෙන් ලැබුණු දැනුම, සාමාන්‍ය දැනුම, මේ සියල්ලම තිබුණා. ඔවුන් සියලු දෙනාම අනිත් කෙනාට සැලකුවේ හරිම සහෝදරත්වයෙන්. ඔවුන් සියල්ලෝම වැඩේට දක්ෂයි. ඒ වගේම ඒ ප්‍රවීණයින් වෙලාවට වැඩ කළා. ඒ කාලේ ජෝ අබේවික්‍රම මහතාව රූගත කිරීමකට ගන්න ඔහුගේ ගෙදරට වාහනයෙන් යද්දී ඒ වෙලාවට ඔහු සූදානම්ව හිටියා. ඔහු හරිම සරලව සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඇඳ පැළඳගෙන හරිම සුහදශීලී හිනාවකින් තමයි වාහනයට ගොඩවුණේ.
වාහනේ යන අතරේදීත් ඒ ප්‍රවීණයන් වාහනයේ ඩ්‍රයිවර් එක්ක පවා හරිම සුහදශීලීව කතාබහ කළා. රූගත කිරීම් කරන්නට කලින් වේෂ නිරූපණය කළාට පස්සේ තමයි ඒ ප්‍රවීණයින් නිළියක් හෝ නළුවෙක් වුණේ. හැබැයි අද ඉන්න නවක නළු නිළියන් එහෙම නොවේ. අද වාහනය වෙලාවට ගන්න ගියත් සමහර නිළියන්, නළුවන් වාහනයට ගොඩවෙන්නේ පැය භාගයක් විතර පරක්කු වෙලයි. ඒ එන්නෙත් හොඳට මේක්අප්කරගෙන, සන්ග්ලාස් දාගෙන, කනේ ඉයර්ෆෝන් එක හරි ෆෝන් එක හරි ගහගෙනයි වාහනයට ගොඩවෙන්නේ. නළු, නිළි ලේබලය එයාලම ගහගෙනයි ඉන්නේ. වාහනයේ යන්නේත් ඉයර් ෆෝන් ගහගෙනයි. මේ බොහෝ අය අතරේ ලොකු වෙනසක් තිබුණා. එදා හිටපු ඒ සරල මිනිසුන් ගාව දක්ෂතාවයක් තිබුණා. හැබැයි අද රඟපාන සමහරු නිළිකම ඔළුවට දාගෙන හිටියට රංගනය පිළිබඳව හැකියාවක් එදා තරම් නැහැ.
ඩොනල්ඩ්ගේ පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් කියමුද?
ඔව්.. මගේ බිරිඳගේ නම මංගලිකා නාගොඩවිතාන. අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ නිමේෂා නෙත්මිණි සහ උමේෂා උදේශානී. ඒ තුන්දෙනාගෙන්ද මගේ කලා ජීවිතයට ලොකු සහයෝගයක් ලැබෙනවා. මට මේ අවුරුදු තිස්පහක් පුරා මේ ගමන එන්න මට අත දීපූ සියලුම අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ට මම ස්තූති කරනවා. ඒවගේම මගේ 35 වසරක් සිනමා ජීවිතේට උපහාර උළෙලක් ඔක්තෝබර් 11 වෙනිදා දෙනියාය කොටපොළ ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තියෙනවා. ඇත්තටම මේ ආපු ගමන ගැන මම ගොඩාක් සතුටු වෙනවා.
► Text - Jayamali / Pic - Internet