අද අපි කොහේ ගියත් අපේ ජංගම දුරකතනය ළඟ තියෙන්නම ඕනෙ. ඒ තරමට නැතුවම බැරි අංගයක් වෙලා.
ඒ වගේම තමයි වැඩ රාජකාරිත් එක්ක ගමන් බිමන් යන අය අනිවාර්යයෙන්ම හොයන්නෙ Wi-Fi තියෙන ස්ථාන.
දර්ශන තල හොයමින් පිට පළාතක සුපිරි අවන්හලකට ගොඩවුණු අපේ කලා ශිල්පියෙකුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න වෙලාලු. මේ අවන්හලේ Wi-Fi තියෙනවා. වැඩියෙන්ම ගැවසෙන්නෙ විදේශික සංචාරකයො.
ලැප්ටොප් එකක් එක්ක මේසයක වාඩිවෙලා ඊමේල් වගයක් යවන්න මේ ශිල්පියා ලැහැස්ති වුණාලු.
අවන්හලේ නිලධාරියෙකුගෙන් Wi-Fi password එක මොකක්ද කියලා ඇහුවම ඔහු කියලා තියෙන්නෙ First buy your meals (මුලින්ම ආහාර මිලදී ගන්න) කියලයි. ඔහු ආහාරපාන මිලදී ගෙන මේසය මත තියලා නැවතත් Wi-Fi password එක ඉල්ලලා තියෙනවා.
එවිටත් ඔහු කියලා තියෙන්නෙ කලින් කී දෙයමයි. මුලින්ම ආහාර මිලදී ගන්න කියලයි.
මම ආහාර මිලදී ගත්තනෙ. ඔහු නිලධාරියාට කිව්වලු.
ඉතින් සර් මම කලිනුත් password එක කිව්වනෙ..
බැලින්නම් &First buy your meals කියන්නෙ ඒ අයගෙ Wi-Fi password එකලු.
ටික කලකට ඉහත දී අපි මේ තීරුවෙන් කතාවක් කිව්වා අපේ ශිල්පියෙක් එයා ළඟින් ඇසුරු කරන ගැහැනු ළමයින්ගෙ නම් එයාගෙ ජංගම දුරකතනයෙ save කරගන්න විදිහ ගැන.
මතකද? පුෂ්පා ෆාමසි, රංගනී හාඩ්වෙයාර්, නිලන්ති ස්ටෝර්ස් කියලා එයා save කරගෙන හිටිය විදිහ. මේ ශිල්පියාගෙ මේ වැඩේ එයාගෙ නෝනාට අහුවෙලා තියෙන්නෙ රෑ 12ට විතර රංගනී හාඩ්වෙයාර් එකෙන් කෝල් එකක් ආපු වෙලාවක.
එයාගේ තවත් යාළුවෙකුට මේ ළඟදි තවත් ඇබැද්දියක් වෙලා. දැන් ගීතා සේනානායක කියලා නමක් save කරන්න ගියාම එයා කරන්නෙ Geetha Sena කියලා කෙටියෙන් දාගන්න එක. බුද්ධිනි වීරසේකර save කරන්නෙ Buddhini Weera කියලා කෙටියෙන්.
එයාට දවසක් කෝල් එකක් එද්දී එයාගෙ බිරිය ළඟ ඉඳලා තියෙන්නෙ. ඇවිත් තියෙන්නෙ නදීරා පණ කියන නමින්.
එයාගෙ යාළුවෙක් ඉන්නවා නදීරා පනාපිටිය කියලා. ෆෝන් එකේ save කරලා තියෙන්නෙ Nadeera Pana කියලා.
එක්තරා කලා උත්සවයකදී තරමක සම වයසේ සීමාවක සිටි ශිල්පීන් දෙදෙනකු සමඟ සුහද කතාබහකට යොමු වුණේ එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙකුගේ දියණියක්.
මේ දියණියක් කලාවට යොමුවී සිටින්නියක් නිසා කලා ලොවේ බොහෝ දෙනෙකු සමඟ ඇය වෘත්තීය මට්ටමින් ගනුදෙනු කරනවා. අර ශිල්පීන් දෙදෙනාගෙන් එක් අයෙකුට ඇගෙන් විමසන්න කාරණයක් තිබුණලු.
ඔයා ඇයි මගේ මිත්‍රයාට අයියා කියද්දී මට අංකල් කියන්නෙ?
අයියෝ අංකල් ඉතින් ඔයා මාව දන්න කාලෙ ඉඳලම මට කතා කළේ දුව කියලනෙ. මේ අයියා දන්න කාලෙ ඉඳලා මට කිව්වෙ නංගි කියලා. ඉතින් මම කොහොමද දුව කියන කෙනෙකුට අයියා කියන්නෙ.
ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.
► Text - Mithra