දශක හතරහමාරක් තිස්සේ කලාව වෙනුවෙන් ගී ගායනා.. ඔබේ ප්‍රසංගයකට මේ දවස්වල ලකලෑස්ති වෙනවා. ඒ පිළිබඳව මුලින්ම කතා කළොත්?
ඔව්.. මේ ප්‍රසංගය හඳුන්වලා තියෙන්නේ “මායා නමිනුයි. එය ඔක්තෝබර් මස 12 වැනිදා සවස හයයි තිහට කොළඹ එල්ෆිස්ටන් රඟහලේදී පවත්වනවා. එම ප්රසංගයේදී මාත් සමඟ වික්ටර් විජයන්ත, කීර්ති පැස්කුවල්, අමරසිරි පීරිස්, කසුන් කල්හාර, නදීක ගුරුගේ, සමන්ත පෙරේරා, රෝහණ බෝගොඩ, ක්ලීටස් මෙන්ඩිස්, මාරියෝ ආනන්ද, ඉසුරු ජයරත්න, ඉන්ද්‍රචාපා ලියනගේ, නුවන් ගුණවර්ධන, කුෂාණි සඳරේඛා සහ සංඛ දිනෙත් ගායනයෙන් එකතු වෙනවා. මෙම ප්‍රසංගය සංගීතවත් කරන්නේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂක ජානක ෆොන්සේකායි. මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගිනුයි.
“මායා ප්‍රසංගය පැවැත්වීමට හේතුව මොකක්ද?
මම කලාවට සම්බන්ධ වෙලා දැන් අවුරුදු හතළිස්හයක් වෙනවා. මම අද වනවිට චිත්‍රපට සීයයක අභිබවා ගීත ගායනා කරලා තියෙනවා. මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ, දිල්හානි අශෝකමාලා, ඩිලානි අබේගුණවර්ධන, නිලන්ති ඩයස් ඇතුළු බොහෝ රංගන ශිල්පියන් වෙනුවෙන් මම සිනමාවේ ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් එතෙක් මෙතෙක් මම කරපු සේවයට උපහාරයක් පුදන්න තමයි මේ “මායා ප්‍රසංගය පවත්වන්නේ. මේක සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡා කරලා කරන්න සූදානම් වෙන ප්‍රසංගයක්. ඒ වෙනුවෙන් අනූෂා ගෝකුල මහත්මියට ගොඩාක් ස්තූති කරන්න ඕනේ. ඇය කලාකරැවන්ට කලාකාරියන්ට සහයෝගය ලබාදෙන කෙනෙක්.
ඔබ මේ වනවිට ගීත බොහෝමයක් ගායනා කරලා තියෙන කලාකාරියක්. ඒ ගීත අතරින් මේ ප්‍රසංගයට ගායනා කරන ගීත තෝරාගත්තේ කොහොමද?
ඇත්ත... මම බොහෝ ගීත ගායනා කරලා තියෙනවා. ඒ ගීත අතරින් මේ ප්‍රසංගයට ගායනා කරනා ගීත එකතුව තෝරාගැනීම ඇත්තටම හරිම අමාරැ කටයුත්තක් වුණා. ඒ තරමටම ගොඩාක් ගීත තියෙනවා. එයිනුත් අපේ රසික රසිකාවියන් අතර වැඩිපුර තියෙන ගීත ටිකක් අපි තෝරාගත්තා.
ඔය ගීත අතරින් ඔබ විසින් මුලින්ම සිනමා නිර්මාණයකට ගැයූ ගීතය මතකද?
ඔව්.. මතකයි.. මම මුලින්ම ගායනා කළේ “සාරංගා චිත්‍රපටයට. ආචාර්ය වික්ටර් රත්නායක එක්ක ගැයු ගීතයක්. ඒ “ලිහිනෙන් පියාඹා ආකාසේ කියන ගීතයයි. ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ ඒ “සාරංගා චිත්‍රපටයේදී අනෝජා නංගී තමයි මාව මුල ඉඳන්ම ඒ අයට හඳුන්වා දීලා මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඊට පස්සේ සරත් ද. අල්විස්, සුනිල් සෝම පීරිස්, ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂකයෙකු වූ එච්.එම්. ගුණසේකර වගේම මගේ සැමියා වූ වික්ටර් විජයන්තගෙන්ද ලොකු සහයෝගයක් ලැබුණා.
ගායිකාවක් වීම කාලවට සම්බන්ධ වීම පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනයක්ද?
ඔව්.. ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම මම සින්දු කියන්න හරි ආසයි. කවදා හරි දවසක ගායිකාවක් වෙන්න මම ආසා කළා. මම සංගීතය හැදෑරුවා. මගේ අම්මා තමයි මගේ වීරවරිය වුණේ. අම්මා මට සංගීතය පැත්තට නැඹුරු වෙන්න ගොඩාක් උදව් කළා. මට තාම මතකයි රූ දහයාහමාරට ගුවන්විදුලියේ ඉන්දියානු ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක් ඒ කාලේ විකාශනය වුණා. ඒවගේම වෙනත් ගුවන්විදුලි නාළිකාවක ඒ වෙලාවටම එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ගීත වැඩසටහනකුත් තිබුණා. මගේ ලොකු අයියා එච්.ආර්. ජෝතිපාලගේ වැඩසටහන අහන්න ආසා කළා. මම අර ඉන්දියානු ශාස්ත්‍රීය සංගීත වැඩසටහන අහන්න ආසයි. ඉතින් මම ඒ වැඩසටහන රෑ අහගෙන ඉඳිද්දී අපේ ලොකු අයියා ඇවිත් අර නාළිකාවට දාගෙන ඒක අහන්න හදනවා.
අනේ.. ඒ වෙලාවට අම්මා ඇවිත් අයියාට පාරක් දීලා “මේ නංගී ඉගෙනගන්න හදන්නේ. එයාට ඉඩදෙන්න කියලා මට අර වැඩසටහන අහන්න උදව් කළා. බදුල්ලේ උසස් බාලිකා විද්‍යාලයේ මම ඉගෙනගත්තේ. ඊට පස්සේ මොණරාගල මහනාම මහ විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේදී නිව්ටන් ගුණසේකර කියලා ගුරුමහතාත්, ධම්මි කියන ගුරුමහත්මියත් මට ගොඩාක් උදව් කළා. කොළඹ ආවට පස්සේ මහාචාර්ය අමරා රණතුංගත්, දයාරත්න රණතුංග ගුරු දෙපළ යටතේත් වික්ටර් පෙරේරා ගුරුපියාණන් යටතේත් සංගීතය හැදෑරුවා. මම ලක්නව් විශ්වවිද්‍යාලයෙනුත් ඉගෙනුම ලැබුවා. මම ගුවන්විදුලි සංස්ථාවේ “ඒ* ශ්‍රේණියේ සරල ගී ශිල්පියෙක්.
ඔබේ ගී හරි අපූරුවට කුෂානී සඳරේඛා වන ඔබේ වැඩිමහල් දියණියත් ගායනා කරනවා. මොකද හිතෙන්නේ?
ඇත්තටම කුෂානී මගේ ගීත ගායනා කරනවාට මම හරි ආසයි. හැබැයි කොච්චර කිව්වත් එයා කරන්නේ නැහැ. එයා බොහෝම අමාරුවෙන් “දෑස වසා සිටියා* ගීතයයි “කුරුල්ලෝ නුඹේ තාලෙන් කියන ගීතයයි දැන් ගායනා කරනවා. “අම්මා තාම ජීවතුන් අතරේ ඉන්නවා. අම්මාට තාම ගායනා කරන්න පුළුවන් ඉතින් මම ඇයි ඒ ගීත ගායන්නේ. කියලා තමයි එයා කියන්නේ. නමුත් මම හිතන්නේ දැන් මම ගායනා කළා ඇති. ඒ නිසා දුව මගේ ගීත ඉදිරියට ගෙනියන්න ඕනේ කියලයි. දැන් ඒකට කාලය ඇවිත් කියලයි මම හිතන්නේ. හැබැයි තාමත් ඒ ගීත එයා ලවා කියවාගන්න හරිම අමාරුයි.
මේ ප්‍රසංගය වෙනුවෙන් ටිකට් පතක් අලෙවි කරන්නේ නැහැ. එහෙම නේද?
ඔව්.. මේ ප්‍රසංගයට ආරාධනා පත්‍ර පමණයි අපි නිකුත් කරන්නේ. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. එල්ෆිස්ටන් රඟහලේ ආසන බොහෝම සීමිත ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. හැබැයි හිටගෙන හරි බලන්න කැමති නම් ඕනෑම කෙනෙක් එන්න මම ආරාධනා කරනවා. ඒ සඳහා කිසිම මුදල් අයකිරීමක් සිදුවන්නේ නැහැ. ඉඩ තියෙන විදිහට කොහෝ හරි වාඩිවෙලා මේ ප්‍රසංගය ඕනෑම කෙනෙක්ට රස විඳින්න පුළුවන්. මම එල්ෆිස්ටන් රඟහල පිරිලා ඉන්නවා නම් ගොඩාක් කැමතියි. ඉතින් ඒ මගේ සතුට බෙදාගන්නට එදාට එන්නයැයි මම හැමෝටම ආරාධනා කරනවා.
► Text - Jayamali / Pic – Sumudu & Internet
► Text - Jayamali / Pic – Sumudu & Internet