ආයුබෝවන්... ආනන්ද කුමාරඋන්නැහේ....
ආයුබෝවන්.. ආයුබෝවන්... කොහොමද ඉතින්...
මේ දවස්වල මෙයාට කවුරැත් කතා කරන්නෙ ආනන්ද කියලා නෙමේ.. විල්සන් කියලා.. ඒකට හේතුවක් තියෙනවා.. මීට සති කිහිපයකට කලින් අවසන් වුණු සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍ය නිසා... මෙයාගේ හැකියාවන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කොහොමද ඒ ටෙලියේ මෙයා දුන්න ඇක්ට් එක.... සුපිරියි නේද?
මේ දවස්වල ආනන්දගේ ජීවතය ගෙවන විදිය අපි දැනගන්න කැමතියි? පොඩ්ඩක් කියන්න කෝ ඒ ගැන....
පහුගිය දවස්වල වැඩ කීපයක්ම කළා... සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා.. තාමත් ලැබෙනවා... මේ දවස්වල නාමල් ජයසිංහ තිරරචනා කරපු, චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන සත්‍යා ටෙලිනාට්‍යයේ වැඩකරනවා. නිර්මාණ ගොඩකට සහභාගිවෙන්න ටිකක් අමාරුයි... මම පුංචි ව්‍යාපාරයක් කරනවා... ඒ නිසා. හොඳින් වැඩටික කරගෙන යනවා... ඉතින්... විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ ආනන්ද අබේනායක ගැන... එයාගේ නිර්මාණවලට සහභාගි වුණාට පස්සේ මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා... හරියට විශ්වවිද්‍යාලයට ගියා වගේ. අද මම යම් තැනක ඉන්නව නම්... එයාටත් ඒ ගෞරවය යන්න ඕනෙ...
හරි.. ආනන්දගේ වැඩකටයුතු එහෙම තමයි...
ආනන්ද අපේ වැඩේ ටිකක් වෙනස්...
හරි.. මම මෙහෙම කිව්වොත්, ඔබේ ජීවිතයට බලපෑමක් කරපු, ආස්වාදයෙන් වෙනම ලෝකයකට අරන් ගිය කලා නිර්මාණයක් ගැන කතාකරමු කියලා... හැබැයි කොන්දේසියක් තියෙනවා... ඒක ගීතයක් වෙන්න බෑ... ඔබ එකඟද?
මිනිත්තු කීපයක නිහැඬියාවකින් පසුව, ආනන්ද දිගු කතාවකට මුලපිරුවා...
හොඳයි... හොඳයි... ඔව්... එහෙම නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒක චිත්‍රපටයක්...
ඔව්... මේ කතාව පටන් ගන්නම අවුරුදු සෑහෙන ගණනක අතීතයට යන්න වෙනවා. ඒ කියන්නෙ මම පාසල් යන කාලේ... මට මතක විදියට තාත්තා තමයි මාව මේ චිත්‍රපටය බලන්න එක්කගෙන ගියා. ඒ චිත්‍රපටයේ නම තමයි හාරලක්ෂය. 1971 වසරේ ටයිටස් තොටවත්ත මහත්තයා අධ්‍යක්ෂණය කරපු විශිෂ්ඨ නිර්මාණයක්. ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය වගේ දක්ෂ ශිල්පීන් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. මට මේ චිත්‍රපටය දැක්කම පුදුම ආසවක් ඇතිවුණා.. කවදාහරි මටත් මේ වගේ රඟපාන්න ඇත්නම් කියලා හිතුණා. අපි ඒකාලේ චිත්‍රපට බලලා විසිල් ගහලා අප්පුඩි ගහලා මාර ආතල් ගත්තෙ... දැන් තියෙන චිත්‍රපට බැලුවාම ඒ ගතිය දැනෙන්නෙ නෑ...
මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ලංකාවේ වුණු ප්‍රසිද්ධ මිනීමැරුමක් හා මංකොල්ලයක් වන වයිට් හවුස් මිනීමැුරම හා ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ඇසුරු කරගෙන... ඒ වෙනකොට මම බලපු චිත්‍රපටවලින් මාව විස්මයට පත්කරපු අනිත් නිර්මාණ තමයි වැලිකතර සහ බඹරු ඇවිත් කියන චිත්‍රපට... මේ නිර්මාණ දෙක තුන තමයි තාමත් මගේ මතකයේ ඉහළින්ම තියෙන්නෙ. මට පුදුම ආසාවක් ඇතිවුණා... මේ චිත්‍රපට බලලා. කොටින්ම කිව්වොත් මම රංගනයට ඇලුම්කරන්න පටන්ගන්නෙ මේ චිත්‍රපට බැලුවට පස්සේ..
මේ චිත්‍රපටයේ ඔබේ හදවතට වැදුණ චරිතයක් එහෙම ඇති නේද?
ඔව්... මම ගොඩක්ම කැමති පියදාස ගුණසේකරගේ විශිෂ්ට රංගනයට... ඒත් එක්කම ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු වගේ අයත් ඊට නොදෙවෙනි විදියට රංගනයේ යෙදෙනවා.. මේ චරිත තමයි මගේ හදවතට තදින්ම දැනුණු චරිත. අනිත් අයත් හොඳට රඟපෑවා.. හිතට වැදුණේ මේ අය තමයි...
මේ නිර්මාණය රසවිඳනකොට ඔබේ හදවතට දැනිච්චි රූපරාමු ඕනතරම් තියෙන්න ඇති... එකක් මතක් කරමුද?
ඔව් එහෙම දර්ශන තමයි ගොඩක් තිබුණේ... ඒ හැම දර්ශනයක්ම මට ගොඩක් දැනුණා.. ඒ හින්දා තමයි සමස්තයක් විදියට මගේ ජීවිතයට සමීපම නිර්මාණ කිහිපය අතරින් මේ චිත්‍රපටය කැපීපෙනෙන්නෙ... හරි අමාරුයි එක රූපරාමුවක් දෙකක් තෝරගන්න... විශේෂයෙන්ම මම මේ චිත්‍රපටයේ අවසානයට ගොඩක් කැමතියි... මට ඒ කාලේ පුදුම හිතුණා... මෙහෙම මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා.. වාර්තමානයේ නම් මේ වගේ සිද්ධි සුලබයිනෙ... නේද..?
හාර ලක්ෂය චිත්‍රපටය දැනට ඔබ කීවතාවක් නරඹලා තියෙනවද?
අපෝ මම මේක පස් හය වතාවක් බලලා ඇති... සිනමා ශාලාවලට ගිහින් බැලුවා... ඊටපස්සෙ රූපවාහිනියෙත් මේ චිත්‍රපටය විකාශය වුණානෙ... එහෙමත් දෙපාරක් විතර බලලා තියෙනවා...
කාලයක් ගියත්... මෙවැනි නිර්මාණ තාමත් අපේ මතකයේ තියෙනවා... නවක කෙනෙකුට මෙවැනි නිර්මාණ පරිශීලනය තුළින් මොනවගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්ද?
මේ නිර්මාණය වගේම ඒකාලෙ තිබුණු නාට්‍ය නවකතා කෙටිකතා හැමදෙයක් තුළින්ම අපි හොඳ පෝෂණයක් ලැබුවා... තාමත් අපි ඒවා නරඹලා යම් යම් දේවල් ඉගෙන ගන්නවා... හාර ලක්ෂය, බඹරු ඇවිත්, වැලිකතර වගේ නිර්මාණ පරිශීලනය කිරීමෙන් රංගනය ගැන හදාරණ කෙනෙකුට ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා...
මේ නිර්මාණය තුළින් ඔබ ඔබේ ජීවිතයට මොනවගේ දෙයක්ද එකතු කරගන්න පුළුවන් වුණාද...?
ඇත්තටම, මම රංගන ශිල්පියෙක් වෙන්න මේ නිර්මාණය අඩු වැඩි වශයෙන් හේතු වුණා... අපේ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ රංගනයට මම වහවැටිලා හිටියා... ඒ මිනිස්සු හරි දක්ෂයි. යම් යම් කාරණා අපි ඔවුන්ගෙන් ඉගෙනගත්තා... ඕවා තමයි...
අන්තිම ප්‍රශ්නය... චිත්‍රපටය අවසානයේ දැනුණු හැඟීම වචනවලට පෙරළමුද?
ඕනම හොඳ කලාකෘතියක් දැකීමෙන්, ඇසුරු කිරීමෙන් අමුතු රසයක් අපි විඳිනවා... ඒ රසය මම මේ චිත්‍රපටයෙත් වින්දා... ඒක මට වචනවලට පෙරළන්න හරි අමාරුයි...
► Text - Danushka Wijesiri / Pic - Internet