2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ප්ලාස්ටික් රාජසන්තකයි

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

ලාචුං කියන්නේ ඊසාන දිග ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට අයිති පුංචි ගම්මානයක්. ගම පුංචි වුණත් ඒ ගමේ ජීවත්වෙන මිනිස්සුන්ගේ සිතුවිලි නම් පොඩි නැහැ. ඒ හින්දම තමා එයාලා තමන්ගේ ගම්මානය ප්ලාස්ටික්වලින් තොර සුපිරිසිදු කලාපයක් කරගන්න මහන්සි වෙමින් ඉන්නේ. 

“ලාචුං ගමේ ජීවත්වෙන මිනිස්සු හැටියට අපි සොබාදහමට වන්දනාමාන කරනවා. අපේ ගම මැදින් ගලාගෙන යන ගඟට, වනාන්තරයට අපි වන්දනා කරනවා. ඒ වගේම ගම වටේට පිහිටලා තියෙන කඳුපන්තිය අපිව ආරක්ෂා කරන සොල්දාදුවෝ රෑනක් විදිහටයි අපි සලක්නේ” ටුපෙන් ලාචුංග්පා නමැති ලාචුං ගම්වැසියා එහෙම කියනවා.

ලාචුං ගම්මානයේ තියෙන ස්වභාව සෞන්දර්යය නිසාම අවුුරුද්දකට දහස් ගණනක් සංචාරකයෝ මෙතැනට පැමිණෙනවා. මේ අධික සංචාරක පැමිණීමත් එක්ක ප්ලාස්ටික් නිසා තමන්ගේ ගම්මානය විනාශ වෙන්න ඉඩ තියෙනවා කියලා මේ ගම්වාසීන් කල්ඇතුව හඳුනාගත්තා. ඉතින් මීට අවුරුදු තුනකට විතර කලින් තමයි ඔවුන් එක් වරක් විතරක් පාවිච්චියට ගන්න ප්ලාස්ටික් ද්‍රව්‍ය, ගම්මානයට ඇතුළු වෙන එක නතර කරන්න නීතියක් ගෙනාවේ. 

හැබැයි ප්ලාස්ටික් තහනම් කරලා විතරක් එයාලා නතරවුණේ නැහැ. ඒවට ආදේශකත් සැපයුවා. ගොඩක් වෙලාවට ප්ලාස්ටික් භාවිතය වතුර බෝතල් පාවිච්චිය එක්ක ගැටගැහිලා තියෙන නිසා ලාචුං ගමේ මිනිස්සු උණ බම්බුවලින් වතුර බෝතල් හදන්න පටන් ගත්තා. ඒවා නැවත නැවත පාවිච්චියට ගන්නත් පුළුවන්. 

ඒ වගේම සංචාරකයන්ට කෑමබීම සපයද්දි ඒ සඳහාත් පාවිච්චි කරන්නේ දැවවලින් හදපු භාජනයි. ප්ලාස්ටික් කූඩ වෙනුවට පන් වගේ දේකින් හදපු කූඩා, බඩු එහා මෙහා ගෙනියන්නත් එයාලා පාවිච්චි කරනවා. කොටින්ම ප්ලාස්ටික්වලින් හදපු බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් වැනි උපකරණ පාවිච්චියකුත් මේ ගමේ නැහැ. ඒ වෙනුවට ගල් වංගෙඩි වගේ සොබාදහම ඇසුරෙන්ම හදාගත්තු උපකරණ එයාලා ආහාරපාන සකස් කරන්න පාවිච්චි කරනවා.

හදිසියේවත් සංචාරකයෙක් ප්ලාස්ටික් බෝතල් වගේ දෙයක් ගෙනැත් තිබුණොත් එයාලා ගමට ඇතුළුවෙන තැනදීම ඒවා අරගන්නවා. ඒක ප්ලාස්ටික් රාජසන්තක කිරීමක් කියලා කිව්වත් වැරදි නැහැ.
මේ විදිහට අරගන්න ප්ලාස්ටික් වුණත් එයාලා නිකම්ම කසල විදිහට සලකලා විසිකරන්නේ නැහැ. ඒවායෙන් නොයෙකුත් ප්‍රයෝජන ගන්නවා. ගොඩක් වෙලාවට සංචාරකයන් අරන් එන ප්ලාස්ටික් වතුර බෝතල්, ලාචුං ගමේ විසිතුරු මල්පෝච්චි වෙලා තමයි නතර වෙන්නේ.

I බීබීසී ඇසුරෙනි 

Text - Suranga   /   Pic -  Internet