2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

මට ඕනෑ වුණේ ෆ්‍රෙෂ් ‍පෙනුමක් තියෙන නිළියක් - මහේෂ් මුණසිංහ

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

රෂ්... සිනමා පටය බිහිවුණේ කොහොමද?

මම කාලයක් මේ ක්ෂේත්‍රයේ සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරමින් හිටියා. ඒ වගේම රූපවාහිනී වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන විධායකවරයකු විදිහට අවුරුදු දහයක දොළහක අත්දැකීම් එකතුවක් මට තිබුණා. ඒ කාලේදී මම ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළා. මට චිත්‍රපටයක් කිරීමේ උවමනාවක්ද තිබුණා. විවිධ හේතූන් නිසා ඒක මඟහැරුණා. ඔය අතරේදී මේ රෂ් තිර පිටපත මම අතට ලැබුණාට පස්සේ ආයෙත් චිත්‍රපටයක් කිරීමේ අවශ්‍යතාවය, උනන්දුව මට ඇතිවුණා. රටේ ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන, සිනමා කර්මාන්තය ශක්තිමත් කරලිමේ උනන්දුවක් මට ඇතිවුණා... රටේ ජනතාව හරි කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී ඔවුන් වෙනුවෙන් හොඳ බයිස්කෝප් චිත්‍රපටයක් කරන්න මට ඕන වුණා. මමත් හොඳ දෙයක් කරලා ඒ තුළින් මේ රටේ ප්‍රේක්ෂකයින්ට හොඳ දෙයක් ලබාදී රටේ සිනමා කර්මාන්තයට යම් ශක්තියක් ලබාදෙන්න මට ඕන වුණා... ඒ නිසා මම වාණිජ චිත්‍රපටයක් කරන්න උත්සාහ ගත්තා. මෙම තිර පිටපත කැළුම් කුලරත්නගේ. ඒ පිටපත යම් යම් වෙනස්කම් කිහිපයක් කරලා තමයි රෂ් ෆිල්ම් එක හැදෙන්නේ. රටේ පුරවැසියෙක් විදිහට මට කරන්න පුළුවන් දේවල් කිහිපයක්ම ඒකේ ඇතුළේ තියෙනවා. රෂ් හරහා අවශ්‍යතාවයන් බොහෝමයක් සපුරාගන්න මට පුළුවන් වුණා. තැන් කිහිපයක හිස්තැන් පුරවන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා.

රෂ් සිනමා පටයේ ප්‍රධාන චරිතවලට නළු නිළියන් තෝරාගත්තේ කොහොමද?

තිර රචනාව ලැබිලා ඒ පිටපත සංස්කරණය කරන අතරතුරේදී අපිට නිතැතින්ම චිත්ත රූප මැවුණා... ඒ ඒ චරිතවලට මේ හැඩරුව තිබෙන, චරිත ස්වභාවයන් අපේ හිතේ ඇඳුණා. රෂ් කියන චරිතය හොඳ නරක දෙපැත්තටම දෝලනය වන Black and White චරිතයක්. ඒක අභියෝගාත්මක චරිතයක්. ඒ නිසා ඒ චරිතයට හොඳ කුසලතාවයක් තිබෙන කෙනෙක් විය යුතුමයිනේ. ඒ නිසා අපේ හිතේ රෂ් චරිතයට උද්දික ප්‍රේමරත්න මැවුණා. උද්දික කියන්නේ හොඳ චරිතාංග නළුවෙක්. ජනතාවත් ඔහුගේ රංගන කෞෂල්‍යය පිළිබඳව හොඳ පසුබිමක සිටින බව අපි විශ්වාස කරනවා. හැබැයි උද්දිකගේ පෙනුම ටිකක් වෙනස් කරන්න මට ඕන වුණා... ඒක අභියෝගයක් වුණා... නමුත් “මෙයාව ලස්සනට හදන්න පුළුවන්” කියන විශ්වාසය මා තුළ තිබුණා. ඒක බලලා විතරක්ම නෙමේ. මම ඒ සම්බන්ධව අධ්‍යයනයක් කළා. මම උද්දික එක්ක ඒ ගැන කතා කළා. උද්දික මාස හයක හතක කාලයක සිට තම ශරීරය ගැන මහන්සි වෙලා ඇඟේ ප්‍රමාණය අඩුකරලා චරිතයට උපරිම සහයෝගයක් ලබලා දුන්නා.

පූජා මඩුගල්ල චරිතයට නවක රංගන ශිල්පිනියක් යොදාගැනීම අභියෝගයක් නේද?

ඔව්... ඇත්තටම. පූජාගේ මැවුණු චරිතයත් එක්ක ෆ්‍රෙෂ් පෙනුමක් තිබෙන නිළියක් යොදාගැනීමට මට ඕන වුණා. ඒ වෙනුවෙන් නිළියන් කිහිපදෙනෙක්ම යෝජනා වුණත් ඒ වෙනුවෙන් අලුත් මුහුණක් එකතු කරගන්න මට ඕන වුණා. සිනමාවෙන් අලුතින් බිහිවෙන නවක නිළියන්ගෙන් ලොකු අඩුපාඩුවක් තියෙන බව මම විශ්වාස කළා. ඒ නිසා නවක මුහුණක් යොදාගැනීමට වෙහෙසුණා. ඒත් මට මුණගැහුනේ නැහැ. ඉන්දියානු මෝස්තර ශිල්පිනියන් දෙදෙනෙක්වත් මේ චරිතයට එකතු කරගන්න මම උත්සාහ කළා. නමුත් ඒ අය එක්ක ඒ ගනුදෙනුව සංනිවේදනය කරගෙන යද්දී අපේ රටේ තියෙන ආර්ථික රටාව, භාෂාව සහ හැසිරීම් එක්ක ඔවුන්ට මේ චරිතය කරගෙන යන්න බැරිවේවි කියලා හිතලා ලංකාවේම මුහුණක් හොයාගන්න ඕනෑ කියලා මම හිතුවා.

අසංකි ද සිල්වා පූජා වුණේ කොහොමද?

අසංකිගේ නම කලින් යෝජනාවෙලා තිබුණා... නමුත් මීට පෙර අසංකිට වෙනත් වැඩකට ආරාධනා කරල තිබුණත් ඇය ඒ වැඩේට සහභාගි වුණේ නැහැ. ඒ නිසා නැවතත් මේ වැඩේට අසංකිට කතා කරන්න මගේ උනන්දුවක් තිබුණේ නැහැ. ඔය අතරේ ආයෙත් Web එකක අසංකිගේ ඡායාරූපය මම දැක්කා. ඒ පින්තූරෙන් නැවතත් පූජාගේ චරිතයට අසංකි හොඳයි කියල මගේ හිත මට කිව්වා. අසංකි කියන්නේ දුරකතනයෙන් සම්බන්ධ කරගන්න බැරි කෙනෙක්. දවසක් අසංකිට මම විස්තරය කිව්වට පස්සේ අසංකි උනන්දුවෙන් ඇවිත් මාව මුණගැහුණා. අපි පිටපත දීලා ඒ ගැන කතා කළා. ඒ විදිහට තමයි අසංකි පූජා මඩුගල්ල වුණේ.

රෂ් රූගත කිරීම් කළේ කොයි කාලේදිද?

මේ චිත්‍රපටය පොඩි කාලයක ඉඳන් පටන් ගත්තු වැඩක්. 2017 දී තමයි මේ මූලික රූගත කිරීම් ආරම්භ වෙන්නේ. ඒ ඇතැම් රූගත කිරීම් විශේෂ අවසර ඇතුව කළයුතුව තිබුණා. මේ චිත්‍රපටය නුවර, දියතලාව, කොළඹ, ගාල්ල, මිරිස්ස, නුවරඑළිය සහ මැලේසියාව ආශ්‍රිතව රූගත කිරීම් සිදුවුණා.

රෂ්.... ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. අද වනවිට සිනමාහල්වල ප්‍රදර්ශනය වෙනවා... මොකද හිතෙන්නේ?

පෞද්ගලිකව මම ඒ ගැන සතුටු වෙනවා. මට මම ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. මම කොළඹින් කිලෝමීටර් දෙසීය පනහක විතර ඈත බදුල්ල පස්සර ගමේ ඉපදුණු කෙනෙක්. කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් මගේ පවුලේ නැතිකොට, ඒ කාලේ මට මගේ ජීවිත ඇතුළේ දැකපු වීරයෝ එක්ක, ආදරෙන් බලපු චරිත එක්ක එකතුවෙලා හොඳ සිනමාපටයක් කරන්න ලැබීම ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්. අපේ සිනමා කර්මාන්තය වෙනුවෙන් මට කරන්න පුළුවන් වුණු යම් දෙයක් කළාය යන හැඟීම මගේ හිතේ තිබෙනවා. රෂ් වෙනුවෙන් හැම දහඩියක්ම, මහන්සියක්ම හෙලපු හැම රංගන ශිල්පි ශිල්පිනියකටම, සෑම කාර්මික ශිල්පියකුටම මම ගොඩක් ස්තූති කරනවා. මේ අපි හැමෝගේම වෙච්චි මහන්සියේ ප්‍රතිඵලයයි.

►Text - Jayamali  /   Pic - Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00