ගීතා කාන්ති ජයකොඩි - පබෝදා සංදීපනී
පුංචි කාලේ පබෝදා රඟපානවටත් වඩා සින්දු කියන්න හරි ආසයි. අපේ පවුලේ බොහෝදෙනෙක් ගීත ගායනා කරන නිසාම දුවත් ඒ පරිසරයට පුංචි කාලේ ඉඳන්ම හැඬගැසුණා. මගේ මල්ලිලා, නංගිලා හැමෝම එක්ක මෙයත් පුංචිකමට ළඟින් වාඩිවෙලා සින්දු කිව්වා. මට තාම මතකයි එක දවසක් මම දුවව බස් එකේ අරගෙන යද්දි දුව බස් එකේ ජනෙල් කවුළුවේ එල්ලි මහ හයියෙන් සින්දු කිව්වා. මම ‘දුව එපා’ කියලා කිව්වත් මෙයා ඒ දේවල් අහන්නෙ නැතිව සින්දු කිව්වා. බස් එකේ හැමෝම මෙයා දිහා බලාගෙන හිටියා.
පුංචි කාලේ මම මෙයාවත් එක්කගෙන ගුවන්විදුලි සංස්ථාවට රූපවාහිනි සංස්ථාවට ගියා. රූගතකිරීම් කරන තැන්වලට එක්කගෙන ගියා. ඒ නිසා පුංචි කාලෙදිම ඒ දේවල් දුවට බොහොම සාමාන්‍ය හුරුපුරුදු දේවල් වුණා. දුව ‘හොඳින් නැත්නම් නරකින්’ චිත්‍රපටයේ රඟපාද්දි එයාට වයස අවුරුදු හතරයි. චූටි කාලේ ඉඳන්ම මෙයාට කලාව ටිකක් සමීප නිසාම මාව රූපවාහිනියේ දකිද්දි “අන්න අම්මී” කියලා කියනවා. එයාව අපි පොඩි කාලෙ ඉඳන්ම තැන් තැන්වලට අරගෙන යන නිසා මාව රූපවාහිනියෙන් දකින එක ගැන දුවට විශේෂයක් තිබුණෙ නැහැ.
අද දුව ගැන මට ගොඩක් සතුටුයි. මම මෙන්න මේ විදිහට කළොත් හොඳයි කියලා දෙයක් කිව්වොත් ඒ දේ ඉක්මනට තේරුම් ගැනීමේ හැකියාවක් දුවට අදටත් තියෙනවා. බොහෝ වෙලාවට මට නොහිතෙන විදිහට දුව එයාට ලැබුණු සමහර චරිත හරි අපූරුවට කරලා තියෙනවා. ඇත්තටම දුව ගැන මට ගොඩක් සන්තෝසයි. හැබැයි කිසිමදාක මම දුවව මේ ක්ෂේත්‍රයට බලෙන් යොමු කළේ නෑ. එයා හරිම ආසාවෙන් ඒ දේ තෝරගත්තා. ඒ තෝරාගැනීම සාර්ථකයි කියලා මට හිතෙනවා.
සමිතා මුදුන්කොටුව - කවින්ද්‍යා අධිකාරි
මගේ ළමා කාලය ගෙවුණේ සංගීත පරිසරයක. ඒ වගේම සංගීත පරිසරයක තමයි පුංචි කාලේ ඉඳන්ම කවීගේ ළමා කාලයත් ගෙවුණේ. අපේ ජීවිතේ වැඩිපුරම ගෙවුණේ සංගීතයෙන් විතරයි. ඒ දේ කවී පුංචි කලේ ඉඳන්ම දැක්කා. ඒ නිසා කවීත් ඒ ක්ෂේත්‍රයට ඉබේම යොමුවුණා කියලයි මට හිතෙන්නේ.
මුලින්ම කවී සංගීතයටත් වඩා නර්තනයට ආස කළා. සින්දුවක් ඇහෙද්දිත් කවී නටනවා. එයාට නර්තනය ගැන ආසාවක් වගේම හැකියාවක් තියෙනවා කියලා අපිට තේරුණා. ඒ නිසා අපි කවීට වයස අවුරුදු පහ වෙද්දි චන්න - උපුලි කලායතනයට කවීව යොමු කළා. බැලේ නර්තනයටත් කවී ආස කළා. ඒ නිසා අපි බැලේ නර්තනයටත් එයාව යොමු කළා.
කවී රංගනයටත් එකතු වේවි කියලා මමනම් හිතුවෙ නෑ. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘ඝරසරප’ චිත්‍රපටයට කවීට ආරාධනා ලැබෙද්දි මුලින්ම කවී බය වුණා. හැබැයි ජයන්ත අයියා වැනි ප්‍රවීණයකුගේ චිත්‍රපටයකට දායක වීමත් වාසනාවක්. අනෙක ජයන්ත අයියා යටතේ නිර්මාණයකට සම්බන්ධ වීමම සිනමා පාසැලකට යොමුවීමක් විදිහටයි මමනම් දකින්නේ. ඒ නිසා මම කවීට “මේකට සම්බන්ධ වෙන්න පුතේ” කියලා කිව්වා. ඇත්තටම ‘ඝරසරප’ චිත්‍රපටය නිසා කවීට සම්මාන පවා ලැබුණා. එයාගේ රංගන හැකියාව ගැනත් මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.
මගේ දරුවෝ දෙන්නා තමයි මගේ මුළු ලෝකයම. ඒ වගේ දරුවො දෙන්නෙක් ලබපු මම හරි වාසනාවන්ත මවක්. අම්මා කෙනෙක් දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු වෙනවා. කවී අම්මාගේ බලාපොරොත්තුව දවසින් දවස ඉෂ්ඨ කරනවා. කවී කියන්නේ ආදරණීය දරුවෙක්. එවැනි දරුවෙක් ලබන්න මේ අම්මා කොයිතරම් පිං කරන්න ඇත්ද?
නිමන්ති පෝරගේ - මෞලි මතීෂ
පුතා පොඩි කාලේ ඉඳන්ම ගීතවලට නටන්න පටන්ගත්තා. මට මතක හැටියට එයාට අවුරුදු එකහමාර විතර වෙද්දි එයා සින්දුවලට නැටුවා. ඒ කාලේ එයා හරිම ආස සින්දුව තමයි ලහිරැගේ ‘එන්න මල්ලි’ කියන ගීතය. ඒ සින්දුව කොහෙ ඇහුණත් එයා නැටුවා. ඒ වගේම අපි කෑම ගන්න පාරට ගියත් අර කොත්තු තැටිය ගහන සද්දෙ ඇහුණත් පුංචි කාලේ පාරෙ ඉඳන් නැටුවා. ඒ නිසා කලාවට ලොකු ආසාවක් පොඩි කාලේ ඉඳන්ම පුතාගේ තිබුණා. හැබැයි රඟපාන්න එයාට පුළුවන් වෙයි කියලනම් පොඩ්ඩක්වත් හිතුවෙ නෑ. හැබැයි පොඩි කාලෙත් නටන ගතිය තිබුණා. තාමත් ඒ ගතියනම් තියෙනවා.
එයා පුංචි කාලේ මාව රූපවාහිනියෙන් දකිද්දි එයාට ඒක හරි පුදුමයක්. චූටිම කාලේ මාව ටීවි එකෙන් දකිද්දි එයා ළඟ මම වාඩිවෙලා ඉඳිද්දි මාව බදාගෙන “එතනත් අම්මි මෙතනත් අම්මි අම්මිලා දෙන්නයි” කියලා කියනවා.පුතා මුලින්ම රඟපෑවේ ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ. ඒ ටෙලිනාට්‍යයේ එයා රඟපාද්දි එයාට වයස අවුරුදු තුනයි. මගේම පුතෙකුට තමයි පුතා රඟපෑවේ. මෙයා මීට කලින් රඟපාලා නැති නිසා ඒ කොටස රඟපාද්දි අපි ටිකක් බයෙන් හිටියේ. නමුත් එයා කියපු විදිහට හරියට කළා. ඒ ටෙලිනාට්‍ය කැමරා කළේ ප්‍රභාත්. හැබැයි පුතා තාත්තා දිහා බලන්නෙවත් නැතිව හරියට ඒ චරිතය කළා. කැමරාව ඉදිරියේ එයා හරි සාමාන්‍ය වුණා.
අද පුතා ගැන මට හරි සතුටුයි. මේ දවස්වල පුතා ‘හතේ කල්ලිය’ ටෙලිනාට්‍යයේ රඟපානවා. අදටත් එයා පිටපත බලාගෙන පාඩම් කරන ලමයෙක් නෙවෙයි. කාටහරි පිටපත කියවන්න කියලා එයා දෙබස් එහෙන් මෙහෙන් බලාගන්නවා. ‘Stand by’ කියපු ගමන් තමයි එයා mood එකට එන්නේ. එතකන්ම එයා ඉන්නේ සෙල්ලමේ. හැබැයි එයා රූගත කරද්දි හරියටම ඒක කරනවා. පුතා ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා.
නුවන් ගුණවර්ධන - ගයාන් ගුණවර්ධන
පුතා චූටි කාලෙදිම එයාගේ ඇඟේ කලාව තියෙනවා කියලා මට දැනුණා. ඒ නිසා මම එයා පුංචි කාලෙදිම සංගීතයට යොමු කෙරුවා. පුතා පහ වසරේ ඉගෙනගනිද්දි මම ක්‍රිස්ටීන් වීරසිංහ කියන පියානෝ ගුරුවරයා යටතේ එයාට පියානෝ වාදනය ඉගැන්වුවා. එතනින් එහාට පුතා සංගීතය දිගටම ඉගෙනගත්තා. විභාග සමත්වුණා.
මම කලාකරුවෙක් විදිහට ආපු තැනට දරුවෙක් වුණත් සම්බන්ධ කරගන්න දරුවා ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මට ඒ විශ්වාසය මගේ පුතා ගැන තිබුණා. පුතා මාත් එක්ක එකම වේදිකාවක ගීත ගයන්න වුණත් සුදුසුයි කියන විශ්වාසය මට තිබුණා. ඒ හැඟීම ඇතිවුණ නිසාම එයත් එක්ක ‘තාත්තයි පුතයි’ නමින් ප්‍රසංගයක් පවා පහුගිය දවසක මම පැවැත්වුවා. ඒ ප්‍රසංගය ඉතා සාර්ථක වුණා.
අද වනවිට ගයාන් මාව බොහෝ අන්තවලින් අභිබවා යනවා කියලා මට දැනෙනවා. ඇත්තටම ඒ ගැන මේ තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මට නොලැබුණු අනුග්‍රහයන් දෙමව්පියන්ගෙන් ගයාන්ට ලැබෙනවා. ඒ කාලේ මගේ දෙමව්පියෝ කිව්වේ “සින්දු කියලා කාටද හරිගියේ” කියලයි. ඒ නිසා ඒ අය මාව අධ්‍යාපනයටම යොමු කරන්න උත්සාහ කළා. මගේ ගෙවල්වලින් සංගීතයට වැඩිය යොමු කිරීමක් කළේ නැහැ. නමුත් ගයාන්ට එයාගේ දෙමව්පියන්ගෙන් ලොකු ආශිර්වාදයක් ලැබුණා. පුංචි කාලෙදිම සංගීතය ඉගැන්වුවා. පාසල් අධ්‍යාපනයේදී එවයාව ජාත්‍යන්තර පාසැලකට ඇතුළත් කරලා ඉගැන්වුවා. එතනින් එහාට පුතාව ඉංජිනේරුවෙක්, දොස්තරවරයෙක් වෙනවට වඩා කලාකරුවෙක් කරන්න මට ඕන වුණා. ලංකාවේ ඕනෑ තරම් වෛද්‍යවරු බිහිවේවි. ඕනෑතරම් නීතීඥවරු බිහිවේවි. නමුත් මුළු ලෝකෙටම එකම එක නුවන් ගුණවර්ධන කෙනයි ඉන්නේ. ඒ වගේම එකම එක ගයාන් ගුණවර්ධන කෙනෙක් නිර්මාණය කරන්න මම එයාව කලාව පැත්තට යොමු කෙරුවා. අද ඒක සාර්ථක වෙලා තියෙනවා. පුතාව මම ශබ්ද පරිපාලන ඉංජිනේරු අංශයට යොමු කරලා අද එයාගෙම නවීන තාක්ෂණයෙන් යුත් ශබ්දාගාරයක් තියෙනවා. ඇත්තටම මට මගේ පුතා ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.
►Text - Dishani / Pic – Internet