2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

අස්ගිරියේ මහානායක හාමුදුරුවෝ ගීතය හරියට අගේ කළා - ධර්ම ශ්‍රී තිලකවර්ධන

2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30247

තේවාමුරයේ හේවිසි නාදේ
දළදා මැදුරේ රුව්දෙන්නා
උඩුමාලේ ගඳකිළියේ
පරසතු සුවඳක් පැතිරෙන්නා

දළදා සමිඳුන් 
රැකගත් රජවරු
සුරලොව සිට වඩිමින්නා
සත්කරඬුව මැඳ වැඩසිටිනා හිමි
සුරකැන් වටවී පුදමින්නා

උඩුමහලේ ඝන්ඨා නාදේ
සාධුනදට මුසුවන්නා
බුදුගුණ ගයනා කවියන් එක්වී
උඩැක්කි තාලෙට වයමින්නා

සුරගජ විලසින් වඩිනා ඇත් රජු
රන් කරඬුව ගෙන පාද තබන්නා
නුවර අහස යට සුරනා සමඟින්
සුරකැන් රුස්වී පරසතු ඉසිනා

මෙම ගීතය ඔබ අතින් නිර්මාණය වුණේ කොහොමද?

මම පුවත්පත් කලාවේදියෙක් විදිහට වසර විසිපහක් පමණ කාලයක් කටයුතු කළා. මේ කාලය ඇතුළතදී මට මගේ නිර්මාණයක් කරගන්න කාලවේලාව සහ මානසික නිදහස ලැබුණේ නැහැ. මම නිතරම වෙනත් ලිපිලේඛන කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය යෙදෙව්වා. ඔය කාලය තුළදී මම මගේම පොත් කිහිපයක් කළා. නමුත් ගීතයක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි ගීතයක් හෝ ගීත කිහිපයක් කරන්නට මගේ හිත කාලයක සිට පෙරුම් පිරුවා. ඔය අතරේදී පුවත්පත් කලාවෙන් මට පොඩි නිදහසක් ලැබුණා. ඒ ලැබුණු පොඩි විවේකයෙන් ගීතයක් ලියන්නට මම අදහස් කළා.

ඒ වෙනුවෙන් දළදා මාලිගාවේ තේවාමුරය ගැන ගීතයක් ලියන්නට ඔබට අදහසක් ඇතිවුණේ කොහොමද?

බෞද්ධයක් වශයෙන් අපේ මුදුන්මල්කඩ අපි හඳුන්වන්නේ දළදා මාලිගාවයි. මේ දළදා මාලිගාව ගැන ගීතයක් ලියන්න ඕනේ කියලා මම මුලින්ම කල්පනා කළා. ගීත සාහිත්‍යයේ දළදා මාලිගාව ගැන ලියවුණු ගීත කිහිපයක්ම තියෙනවා. අපි ගීතයට පාවිච්චි කරන වචනවලින් දළදා මාලිගාවට වගේම සාහිත්‍යයට හානියක් නොවන සේ වචන පාවිච්චි කරන්න මම වගබලාගත්තා. ඒ නිසා බොහෝම කල්පනාකාරීව බොහෝ කල් අරගෙන මම මේ “තේවාමුරය” ගීතය ලිව්වා. ඒ ලියද්දී වුණත් අස්ගිරි පාර්ශ්වයේ සංඝයා වහන්සේලාගෙන් පවා මම ඒ වචන පාවිච්චි කිරීමේදී උපදෙස් ලබාගත්තා. මෙම ගීතය ගායනා කරන්නේ චමින්ද දමිත්. ගීතයේ තනුව සහ සංගීතය ලාල් අමරනාත් වර්ණකුලගෙනි. ඔහු පාසල් ගුරුවරයෙක්. මේ වනවිට මේ “තේවාමුරය” ගීතය අන්තර්ජාලය ඔස්සේ ඉතා ජනප්‍රියයි.

තේවාමුරය ගීතයෙන් පසුව ඔබ තවත් ගීත නිර්මාණ කළේ නැද්ද?

ගීත කිහිපයක්ම තේවාමුරය ගීතයෙන් පසුව මගේ අතින් ලියවුණා. ඒ අතරෙන් “ඔබේ සුසුම් දවටා” කියන ගීතයත් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ ගීතය ගායනා කරන්නේ විශාරද ශ්‍රී මාලි තිලකවර්ධනයි. තනුව සහ සංගීතවත් කළේ චමින්ද සමරනායක

පුවත්පත් කලාව සහ පොත් ලිවීම ආරම්භ කළේ කොයි කාල‍යේද?

පුංචි කාලේ ඉඳන්ම මම පුවත්පත්වලට ලිපි යොමුකළා. ඒ අතරේ සමහර ලිපි පළවුණා. සමහර ලිපි පළවුණේ නැහැ. ලිවීම මගේ ආසාවක් වුණා. පුවත්පත්වල ඒ දේවල් පළවෙද්දී මගේ හිත පුවත්පත් කලාවට නිරන්තරයෙන්ම ඇදිලා ගියා. කාලයක් ගියාට පස්සේ මම පුවත්පත් ආයතනයක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු විදිහට සම්බන්ධ වෙලා පත්තර කලාව ආරම්භ කළා. පසුව මම කර්තෘ මණ්ඩලයට සම්බන්ධවෙලා ප්‍රධාන උප කර්තෘ තනතුර දක්වා පැමිණියා. අද වනවිට මම පොත් දහයකට ආසන්න ප්‍රමාණයක් ලියලා තියෙනවා. මම බොහෝ විට බෞද්ධ පොත් ලිව්වා. 

මෑත කාලේදී ලියමින් පවතින පොත ගැන කතා කළොත්?

මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ලියවුණු ආදර කතාවක් මේ දිනවල ලියමින් පවතිනවා. මගේ අතින් මුලින්ම ලියවුණේ “තේවාමුරය” ගීතයයි. වර්තමානයේදී මිනිස්සු ජීවත් වෙන්නේ ලොකු පීඩනයකින්. බස් එකක ගියත් අද වැඩිපුරම ඇහෙන්නේ බෙල්ල වැලදාගන්න හිතෙන ගීතයි. ඝෝෂාකාරී සංගීත රටාවක් එක්ක බොහෝ ගීත අහන්නවත් හිතෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ගීතයකට නොයා මිනිසුන්ගේ හිතට දැනෙන ගීතයක් නිර්මාණය කරන්න මට ඕන වුණා. තේවාමුරය ගීතය මම මුලින්ම අස්ගිරියේ මහනායක හාමුදුරුවන්ට පෙන්නුවා. උන්වහන්සේ කාලයක් ගෙන ඒ ගීතය ගෙන ඒ ගීතය බලලා ගීතය ගොඩාක් අගේ කළා. ගීතය අහපු බොහෝ දෙනා මගේ මේ ගීතය අගය කළා.

තේවාමුරයෙන් පසුව ඔබ අතින් ප්‍රේම ගීතයක් ලියවුණා?

ඔව්... බොහෝ කාලයකට උඩදී මගේ තිබුණු ප්‍රේමයක් මාව ප්‍රේම ගීත ලිවීමේ කලාවට යොමු කළා. මගේ හිතේ තිබුණු ජීවිත අත්දැකීමක් නිර්මාණයක් බවට පත්වුණා..

ඔබේ සුසුම් දවටා
මගෙ හැඟුම් කලතා
සිත මගෙ විකසිත වී
ඔබ ගැන සිතුම් මැවෙනවා
ප්‍රේමයේ නාමයෙන්... 

►Text - Jayamali  /   Pic - Internet