මේකත් පහුගිය දවසක ටෙලිනාට්‍ය දර්ශන තලයක ඇසුණ ලස්සන කතාවක්. එක්තරා කෙනෙක් මහ රෑ දොස්තරවරයෙකුට කතා කරලා කිව්වලු “මගේ නෝනට හරිම අමාරුයි. ඉවසන්න බැරි බඩේ කැක්කුමක් කියලා.” දොස්තර කිව්වලු වහාම ඉස්පිරිතාලෙට එයාව අරං එන්න කියලා.
“මෙයාට තියෙන්නෙ ඇපෙන්ඩික්ස්. ඕක පොඩි ඔපරේෂන් එකකින් අයින් කරන්න පුළුවන්. පැය භාගයක්වත් යන්නෙ නැහැ ඒකට. දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන්,” ලෙඩා පරීක්ෂා කළ දොස්තර මහතා කිව්වලු.
සාර්ථක සැත්කමකින් පස්සෙ ලෙඩා රෝහලෙන් ගෙදර ගියාලු. ඔන්න හරියට අවුරුද්දකින් පස්සෙ මේ මනුස්සයම අර දොස්තරටම රෑ කතාකරලා අර වගේම කතාවක් කියනවලු.
“මගේ වයිෆ්ට හරිම අමාරුයි. බඩේ කැක්කුම ඉවසන්න බැහැ.” “හරි හරි... එයා මොනවද කෑවෙ?” දොස්තර ඇහුවලු.
“එහෙම ප්‍රශ්නයක් නැහැ දොස්තර මහත්තයෝ. මෙයාට තියෙන්නේ ඇපෙන්ඩික්ස්. ඔපරේෂන් එකට පැය භාගයක්වත් යන්නෙ නැහැනේ. දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන්නෙ...”දොස්තරට යකා නැග්ගලු.
“තමුසෙ මට මගේ ජොබ් එක උගන්වන්න එනවා. හොඳට මතක තියාගන්නවා ඕනෙම කෙනෙකුට තියෙන්නෙ එක ඇපෙන්ඩික්ස් එකක්. ඉතිං ඒ නිසා මේකට හේතුව ඇපෙන්ඩික්ස් නෙවෙයි...”
“දොස්තර මහත්තයෝ ඕනම කෙනෙකුට එක ඇපෙන්ඩික්ස් එකක් ගියොත් පුළුවන්... ඒක මම පිළිගන්නවා. ඒත් මිනිහෙකුට වයිෆ්ලා දෙන්නෙක් ඉන්න බැරිද?”
දොස්තරගේ මාර කතා
කලා ක්ෂේත්‍රයේ ඉන්නවා විවිධ වෘත්තීන්වල නියැලෙන අය. හැබැයි සිංදු කියන කට්ටිය තමයි වැඩි. ඒ අතරත් සිංදු කියන දොස්තරවරු තමයි වැඩි.
කලාකරුවන් සමඟ විවිධ වෘත්තීන්වල නියැලෙන අය එකට මුණ ගැහෙනකොට එතැන රස ගුලාවක්. ඔන්න ළඟදී ඔය වගේ සිංදු කියන දොස්තර කෙනෙකුගෙන් කලා ශිල්පියෙක් ඇහුවලු සමහර දොස්තරවරු ඔපරේෂන් කරන ගමනුත් සිංදු කිය කියා වැඩේ කරනවා කියලා කියන කතාවෙ ඇත්තක් තියෙනවද කියලා.
වැඩේ ඇත්තලු. තව කෙනෙක් ඇහුවලු ඔපරේෂන් කරද්දි දොස්තරවරු මුහුණු ආවරණය කරන්නේ ඇයි කියලා.
ඕකට නම් ඒ දොස්තර දීලා තියෙනවා පට්ට උත්තරයක්.
“අපි ඔපරේෂන් කරද්දි ලෙඩ්ඩුන්ව කපන විදිහට, ඒ ලෙඩා අපේ මුහුණ හඳුනගත්ත නම් ලෙඩේ සනීප වුණාට පස්සෙ ඇවිත් අපිව කපයි. ඒකයි.”
මංද - බුද්ධික
පහුගිය දිනක රූගත කෙරුණු චිත්‍රපටයක් සඳහා නර්තන දර්ශන කීපයක්ද යොදා තිබුණ නිසා එදා වෙනදට වඩා ලොකේෂන් එකේ කට්ටිය වැඩියිලු.
නර්තන කණ්ඩායමේ තරුණ ශිල්පීන් ඔවුන්ගේ වාරය එනතුරු තම තමන්ගෙ ෆෝන්වල කොට කොට ඉන්නවලු, කාටත් කරදරයක් නොවී.
බොහෝ වෙලාවට හෑන්ඩ්ස් ෆ්‍රී කනේ ගහගෙන කට්ටියම ඉන්නෙ. නර්තන අධ්‍යක්ෂකවරයා අවශ්‍ය දර්ශන සඳහා ශිල්පීන් කතා කළේ නම්වලින්.
ඔය නටන ළමයි අතර හිටියා බුද්ධික කියලා ශිල්පියෙක්. නර්තන අධ්‍යක්ෂක ‘බුද්ධික’ කියලා කතා කරපු ගමන් ඒ ළමයා කනේ ගහගෙන ඉන්න වයර් එක ගලවලා අහනවා “මංද?” කියලා.
ඒ නිසාම දර්ශන තලයේ එයාට හොඳ කාඩ් එකක් වැදුනලු “මංද - බුද්ධික” කියලා.
►Text - Mithra