2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඉක්මන් ගමනක් මට එපා - කාංචනා ඛාන්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

කාංචනා.. මේ දවස්වල මොනවාද කරන්නේ?

මේ දවස්වල මම රඟපාන “නිරාවරණය” ටෙලිනාට්‍යය සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී අටයි තිහට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වෙනවා. මේ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ “වත්සලා” කියන චරිතයයි. වත්සලා කියන්නේ ගෙදර ඉන්න ගෘහණියක්. වත්සලාගේ සැමියා මීට පෙර පාතාලයට වැඩකරපු කෙනෙක්. ඔහුගේ ජීවිතේ ඇතැම් දේවල් වත්සලා දන්නේ නැහැ. මේ නාට්‍යයේ වත්සලාගේ සැමියාට රඟපාන්නේ කුමුදු නිශාන්ත අයියයි. ඇත්තටම කුමුදු අයියා වගේම “නිරාවරණයේ” හැමෝම මට මේ චරිතය හොඳින් කරගෙන යන්න පුදුමාකාර විදිහට සහයෝගයක් ලබලා දෙනවා. ඒ හැමෝටම මම ස්තූති කරන්නම ඕනේ. තම සැමියාව දැඩි සේ විශ්වාස කරගෙන ඉන්න වත්සලාට පසුව ඔහු හා පාතාලයත් එක්ක තිබෙන සබඳකම් දැනගන්නට ලැබෙනවා. විවිධ හැලහැප්පීම් එක්ක තමයි වත්සලාගේ චරිතය මේ ටෙලිනාට්‍ය පුරාවට දිවයන්නේ. 

වත්සලාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඒකට නම් මේ දවස්වල ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරේ යද්දී වුණත් ළඟට ඇවිත් “ඔයා වත්සලා නේද කියලා අහන පිරිසකුත් ඉන්නවා. ඉතින් මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.” මම කරපු චරිතවලින් ප්‍රේක්ෂකයින් අතරට ගියපු චරිතය විදිහට මම වත්සලාව හඳුන්වනවා. 

පුංචි කාලේ ඉඳන්ම කාංචනා රඟපාන්න ආස කළාද?

ඔව්නේ... පුංචි කාලේ ඉඳන්ම මම නර්තනය හැදෑරුවා. හැබැයි මම පුංචි කාලේ ඉඳන්ම රඟපාන්නත් ආස කළා. මට අක්කලා දෙන්නෙකුයි, අයියලා දෙන්නෙකුයි ඉන්නවා. මම පවුලේ බාලයා. ඉතින් ඉස්සර මම අපේ අම්මාගේ ලිප්ස්ටික් ගාගෙන, ඒ ලොකු සපත්තු දාගෙන, අම්මාගේ සාරි ඇඳගෙන ටී.වී. එකේ යන චරිත විදිහට රඟපානවාලු. ඒ කාලේ සෙල්ලම් කරද්දී නර්ස් වුණෙත් මමයි, ඩොක්ටර් වුණෙත් මමයි. ලෙඩා වුණෙත් මමයි. ඒ තරමට එක එක චරිත එකම වෙලාවට මම ගෙදර රඟපාලා තියෙනවා. සමහර වෙලාවට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ටී.වී. එකේ විදිහට රඟපාලා තියෙනවා.

ඇත්තම කියන්න.. කාංචනාගේ නම මොකක්ද?

මගේ නම කාංචනා ජයලත්. හැබැයි මම නර්තනය කරන කාලේදී මගේ යාළුවෝ මට කතා කළේ “ඛාන්” කියලයි. ඉතින් අන්තිමට “කාංචනා ඛාන්” වුණා. දැන් මම පාවිච්චි කරන්නේ ඒ නමයි.

ඉගෙන ගත්තේ මොන පාසලේද..?

ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේදී. පුංචි කාලේ ඉඳන්ම නර්තන අංශයට තමයි නැඹුරු වෙලා හිටියේ. පුංචි කාලේ මම ටිකක් දඟයි. මම පාසලේදීත් ටිකක් දඟකාර චරිතයක්. හැබැයි පාසලේදී සෑම බාහිර ක්‍රියාකාරකම්වලදී මම මුලින්ම හිටපු කෙනෙක්. නර්තන මෙන්ම ක්‍රීඩාවටත් මම සම්බන්ධ වුණා. නාට්‍ය තරගවලට දායකවෙලා මම ජයග්‍රහණ පවා ලබලා තියෙනවා. මම පාසලේ තූර්යවාදක කණ්ඩායමේ හිටියා. මගේ අක්කත් මේ ක්ෂේත්‍රයේම නියැලිලා ඉන්න නිළියක් ඇය මනීෂා නාමල්ගම. හැබැයි මම කවදාවත් අක්කා හරහා මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. මම තනියම තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. හැබැයි මට අක්කාගෙනුත් අවවාද උපදෙස් ලැබෙනවා. මගේ අක්කා මනීෂා කියලා වැඩිය කවුරැත් දන්නේ නැහැ. මම කොතනකවත් අක්කාගේ නම පාවිච්චි කරලා වැඩකරලා නැහැ. අක්කා මට යම් යම් උපදෙස් ලබලා දුන්නාට මම තනියම මගේ මේ ගමන පටන් ගත්තේ.

කාංචනා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද?

මුලින්ම සිරස නාලිකාවේ නිර්මාණයකට දායක වුණා. ඊට පස්සේ චිත්‍රපට දෙකකට නර්තනයෙන් සහභාගී වුණා. ඒ එක චිත්‍රපටයක් ඉන්දියාවේ අධ්‍යක්ෂකවරයෙක් විසින් නිර්මාණය කළ “සූර්යා” කියන චිත්‍රපටයයි. ඊට පස්සේ මම මියුසික් වීඩියෝ හා වෙළෙඳ දැන්වීම් හරහා මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. ඔහොම ටික කාලයක් වැඩකරන යද්දී මම මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒවා ටික කාලයක් නතර කරලා ආයෙත් 2008 වසරේදී “Miss Sri Lanka” තරගාවලියකට සහභාගී වුණා. ඒකේ මම “Maz Queen” වුණා. ඊට අමතරව Miss Sri Lanka තරගාවලියෙන් “First Runner Up” වුණා. එතැනින් පසුව මට ටෙලිනාට්‍ය කිහිපයකටත් වෙළඳ දැන්වීම් කිහිපයකටත් ආරාධනා ලැබුණා. හැබැයි මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ටික කාලයක් නතර කරලා තමයි මම ආයෙත් ඒවාට සම්බන්ධ වුණේ. මුලින්ම මම “දාස්පෙතියා” කියන නාට්‍යයක රඟපෑවා. තාම ඒක විකාශනය වුණේ නැහැ. ප්‍රේක්ෂකයින් අතරට වඩාත්ම එකතු වුණේ. “නිරාවරණය” ටෙලිනාට්‍යයේ වත්සලාගේ චරිතයෙනුයි. ඊට අමතරව මේ දවස්වල තවත් නාට්‍යයකටත්, සිනමාපටයකටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ.

ඊළඟට තිබෙන බලාපොරොත්තු මොනවාද?

මම තාම මේ ක්ෂේත්‍රයට අලුත්. මට ඉක්මන් ගමනක් ඕනවෙන්නේ නැහැ. ඒ නිසා මේ හෙමින් යන ගමනේදී හොඳ නිර්මාණවලට දායක වෙලා හොඳ රංගන ශිල්පිනියක් වෙන්න මම ගොඩාක් කැමතියි. මේ දවස්වල තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ආරාධනා ලැබුණු සිනමාපටය. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කිත්සිරි හේවාවසම් මහතායි. ඉතින් ළඟදීම සිනමාවෙනුත් මාව දැකබලා ගන්නට පුළුවන් වේවී.   

►Text – Jayamali

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00