“සාදය මාරයි සල්ලි හමාරයි” කරපු ධර්මප්‍රිය ඩයස් ඔන්න තවත් අපූරු වැඩකට අතගහලා. මේ දවස්වල ධර්මප්‍රිය වගේම අපි දන්න කියන කිහිප දෙනෙක්ම එකතුවෙලා “මම නෙවෙයි වෙන කෙනෙක්” කියලා අලුත් වැඩකට සෙට්වෙලා. ඇත්තම කිව්වොත් මේකත් ධර්මප්‍රියගේ “සාදය මාරයි සල්ලි හමාරයි” වගේම අපූරු වේදිකා නාට්‍යයක්.
මේ දිනවල ධර්මප්‍රියගේ අලුත්ම වේදිකා නාට්‍ය බොරැල්ල පුංචි තියටර් එකේදී වේදිකාගත වුණත් අපි ගිය දවසෙනම් කට්ටියම එකතුවෙලා මේ අලුත් වැඩේ පුහුණුවීම් කටයුතුවල නිරත වුණා. “මම නෙවෙයි වෙන කෙනෙක්” කියලා කිව්වට ඇත්තටම මේකත් හරි අපූරු වේදිකා නාට්‍යයක්.
වේදිකාවෙත් සිනමාවෙත් පුංචි තිරයෙත් අපිට ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ජයනි සේනානායක අපි යද්දීත් වේදිකාවේ පුහුණුවීම් කරනවා. ඔය අතරේ තවත් පැත්තත ශ්‍යාම් ප්‍රනාන්දු සහ සම්පත් ජයවීර කටහඬ පුහුණුවීම්වල නිරත වෙනවා.
හැමදේටම කලින් ධර්මප්‍රියගෙන් මේ අලුත් වේදිකා නාට්‍ය ගොඩනැගෙන්නෙ කොහොමද කියලා අහන්න ඕනනෙ. ඒ නිසාම පුහුණුවීම් මඳකට නතර කරලා ධර්මප්‍රිය හදසර වෙනුවෙන් කටහඬ අවදි කළා.
"මම නෙවෙයි වෙන කෙනෙක්" කියන්නෙ මම අධ්‍යක්ෂණය කරන අලුත්ම වේදිකා නාට්‍යයයි. මීට කලින් මම නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මේ වේදිකා නාට්‍ය දෙකම අපේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයා බොහොම ආදරයෙන් වැළඳ ගත්තා. ඊට පස්සෙ අලුත් අත්දැකීමක් ඒ ආදරය වෙනුවෙන් දෙන්න මට ඕන වුණා. ඒ හින්දා තමයි මම මේ නාට්‍ය තෝරාගත්තෙ.
"මම නෙවෙයි වෙන කෙනෙක්" කියන්නෙ අනුවර්තන නාට්‍යයක්. ඒ නිසාම ඒ පිළිබඳවත් අපි ධර්මප්‍රියගෙන් අහලා බැලුවා.
"මේක රේකූනිගේ නාට්‍යයේ අලුත්ම සිංහල අනුවර්තනයක්. මේ නාට්‍ය මීට අවුරුදු 23කට උඩදී බන්දුල විතානගේ මහත්මයා "රෝමය ගිනිගනී" කියන නමින් අනුවර්තනයක් කළා. ඒක ඉතාම ලස්සන නාට්‍යයක්. ලංකාවේ ප්‍රවීණම නළු නිළියන් මේකට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයට මම සහාය වේදිකා පරිපාලකවරයෙක් විදිහටත් සම්බන්ධ වුණා. ඒ නිසා මේ නාට්‍ය ගැන මට හොඳ අදහසක් වගේම කැමැත්තක් තිබුණා. ඇත්තටම මේක කරන්න හිතාගෙන හිටියෙ නැහැ. හැබැයි රේකූනිගේ වෙනත් නාට්‍යයක් මම කළා. ඒ "සාදය මාරයි සල්ලි හමාරයි" කියන නාට්‍යයයි. ඒ නිසා මට එවැනිම අත්දැකීමක් දෙන්න හිතුණා. රේකූනිගේ කොමඩි නාට්‍ය ස්ටයිල් එක රෝමයෙන් පස්සෙ අපේ සිංහල වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් හරියට රස වින්ඳෙ නැහැ. ඒ නිසා "සාදය මාරයි සල්ලි හමාරයි" නාට්‍යයෙන් පස්සෙ මේක කරන්න හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒ විදිහට තමයි "මම නෙවෙයි වෙන කෙනෙක්" කියන නාට්‍ය මුලින්ම ගොඩනැගුණෙ. "මම නෙවෙයි වෙන කෙනෙක්" වේදිකා නාට්‍යයට රංගන ශිල්පීන් ශිල්පිනියන් අට දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. ජයනි සේනානායක, ශ්‍යාම් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, තුසිත ලක්ශාන්, අනුරාධ මල්ලවආරච්චි, පසන් රණවීර, තෙරුණි ආශංසා සහ කුසල් මධුරංග තමයි මේ කට්ටිය. ජයනි, ශ්‍යාම්, සම්පත් වගේම අනිත් හැමෝමත් පුංචි තිරයෙන්, වේදිකාවෙන් ඔබට නිතර නිතර ඇස ගැටෙන උදවියයි.
මේ කණ්ඩායම ගැන ධර්මප්‍රියගෙන් අහපු වෙලාවේ ධර්මප්‍රිය කිව්වෙ මෙන්න මේ විදිහටයි.
"මේ අය අතරේ මාත් එක්ක අවුරුදු විස්සකට එහා ඉඳන් එකට වැඩ කරපු නළු නිළියනුත් ඉන්නවා. ඒ වගේම නාට්‍ය කරගෙන යන අතරතුරේදී කලින් නිෂ්පාදනවලදී මට මුණගැහුණු නළු නිළියන් සහ ශිල්පීන් ඉන්නවා. ඒ වගේම අලුතින් මේ වැඩේට සම්බන්ධ වුණු අයත් ඉන්නවා. ඒ කෙසේ වෙතත් ඒ අය සියලු දෙනාම මොන යම් පැත්තකින් හෝ දක්ෂ පිරිසක්. රංගන ශිල්පීන් ශිල්පිනියන්ට අමතරව මේ වැඩේට එකතු වෙව්ව වේදිකා නිර්මාණකරුවන් රාජ්‍ය නාට්‍ය උළෙලවල සම්මාන උළෙලවල දක්ෂතා පෙන්නපු ශිල්පීන්. ඒ අය ඇගයීම්වලට ලක්වුණු අයයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෝ වෙන යම් විශ්වවිද්‍යාලයක ඉගෙනුම අයයි. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක උගන්වන අයයි. ඒ හැමදේම පැත්තකින් තිබ්බත් මේ නාට්‍යයට සම්බන්ධ වුණු හැමෝම මගේ නිර්මාණයට ආදරය කරන අය කියලා මම විශ්වාස කරනවා."
"මම නෙවෙයි වෙන කෙනෙක්" වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණු බොහෝ දෙනා පුංචි තිරයේදීත් අපිට මුණගැහෙනවා. ඇතැම් විට පුළුල් තිරයේදීත් අපිට මුණගැහෙන චරිතයි. මේ නිසාම මේ බොහෝ දෙනා කලාවේ කාර්යබහුල චරිත. ඇතැම් රංගන ශිල්පීන් ශිල්පිනියන් වේදිකා නාට්‍යවලට සම්බන්ධ නොවන වකවානුවක මොවුන් වේදිකා නාට්‍යයකට සම්බන්ධවෙලා මාස ගණන් පුහුණුවීම් කරලා ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීමත් අගය කරන්නම ඕනෙ.
ධර්මප්‍රිය කියන විදිහටනම් ජයනියි ධර්මප්‍රියයි කලා ක්ෂේත්‍රයේ දැන හඳුනාගෙන දැන් අවුරුදු විස්සකටත් වැඩියි. මේ නිසාම මේ අතිදක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය කිසිම විටකත් පටලවාගෙන නැහැ. ඔවුන් නියමිත කාලසටහනකට අනුව තම කාලය වෙන් කරගෙන තියෙනවා. ඒ නිසාම පුහුණුවීම් කටයුත්තකට පොරොන්දුවක් වෙනවානම් ඒ දිනයට ඔවුන් අනිවාර්යයෙන්ම පැමිණෙනවා. සියල්ලටම පහසු දිනයක් හා වෙලාවක් යොදාගනිමින් ඒ කටයුතු කළමනාකරණය කර ගන්නවා. වර්තමානයේ දී එක් ටෙලිනාට්‍යයකට හෝ දෙකකට සහභාගි වන ඇතැම් නවක නළු නිළියන් බොරු බිසී වෙද්දී, "අයියෝ ටයිම් නැහැ" කියද්දී සිනමාවේදීත් පුංචි තිරයේදීත් අති දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් වුණු ජයනි, ධර්මප්‍රිය, ශ්‍යාම්, සම්පත් වැන්නන් සැබෑම ආදර්ශයක්.
"මම නෙවෙයි වෙන කෙනෙක්" කතාව ටිකක් වෙනස් විදිහේ අපූරු නිර්මාණයක්. කතාව කියන්නනම් බැහැ. ඒක දකින්නම ඕනෙ. හැබැයි ඉතින් පුංචි ඉඟියක් දෙන්නද? අධිවේගී මාර්ගය ලෝකයට මහ ලොකු අලුත් අත්දැකීමක් නෙමේ. නමුත් අධිවේගී මාර්ගය කියන දේ ලංකාවට තාමත් අලුත් අත්දැකීමක්. තවමත් මේ අධිවේගී මාර්ගයට ඡන්ද ප්‍රතිඵල පවා වෙනස් කරන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ අධිවේගී මාර්ගයේ අලුත් අත්දැකීම් නිසා ජීවිතයම අධිවේගී කරගත්ත මනුස්සයෙක් වටා සිදුවන රසවත් සිදුවීම් මාලාවක් තමයි මේ වේදිකා නාට්‍යයෙන් කතා කරන්නෙ. මාස හතරක් පමණ පුහුණුවීම් කිරීමෙන් පසුව ඔන්න දැන් මේ වේදිකා නාට්‍ය බොරැල්ල පුංචි තියටර් රඟහලේදී වේදිකාගත වෙනවා.
“මම නෙවෙයි වෙන කනෙක්” වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්නෙ ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධන. අරුණ ජයසේන වේදිකා පරිපාලනය, ආලෝකකරණය හා ශබ්ද පරිපාලන කටයුතු රංග සමරකෝන් සහ ඇඳුම් නිර්මාණය ගයනි චතුරිකා සිදු කරනවා. මෙය සංගීතවත් කරන්නෙ රුවන් වල්පොල විසින්. පිටපත පරිවර්තනය කරන්නෙ සමන් පුෂ්ප ලියනගේ.
ඔන්න ඔහොම කට්ටිය ගැන ධර්මප්‍රිය කියද්දී වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන කෙනෙක් එක්කත් අපි පොඩ්ඩක් කතා කළා. ඒ සම්පත් ජයවීරයි.
“ධර්මප්‍රියගෙ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආයෙ දෙපාරක් හිතන්න ඕන වෙන්නෙ නැහැ. ධර්මප්‍රිය වගේම මේ නාට්‍යයේ රඟපාන අනෙක් අයත් අපි කාලයක් තිස්සෙ දන්න කියන අයයි. ඉතින් අපි කට්ටියම එකතුවෙලා හොඳ වැඩක් කළා. මම රඟපාන්නෙ උපාලි වත්තේගෙදර කියන චරිතය. වත්තේ කියන්නේ හොඳ යාළුවෙක්. තමන්ගේ යාළුවා කරන ඕන දේකට උදව් කරනවා. ඒ නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිදුවෙනවා. වත්තේගේ යාළුවා කරන දේවල්වලට පරිප්පුව කන්නෙ මේ වත්තේගෙදරයි.”
ඔන්න ඔහොම වත්තේ ගැන සම්පත් කියද්දී කවුද මේ වත්තේගේ යාළුවා කියලා හිතෙනවනෙ. එයා තමයි රාමනායක. ඒ චරිතය රඟපාන්නෙ වේදිකාවේත් සිනමාවෙත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන ශ්‍යාම්.
“ධර්මප්‍රිය කලින් කරපු නාට්‍යයට පස්සෙ පුළුවන්නම් විනෝදාත්මක නාට්‍යයකට මට පොඩි අවස්ථාවක් දෙන්න කියලා මම ඉල්ලීමක් කළා. ඊට මාස කිහිපයකට පස්සෙ ධර්මප්‍රිය මට මුණගැහුණු වෙලාවක “අර කියපු ඉල්ලීමට ලොකු අභියෝගයක් මම බාරදෙනවා. ඊළඟට මගේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට මම ආරාධනා කරනවා.” කියලා කිව්වා. ඇත්තටම එවැනි ප්‍රධාන චරිතයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. ඉතින් ඒ ආරාධනාව බාරගත්ත වෙලාවේ ඉඳන්ම අද වෙනතුරු ඒක මට ලොකු අභියෝගයක්. මම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණවලටයි ගොඩක් සම්බන්ධවෙලා හිටියෙ. මේක අනුවර්තන පිටපතක්. මම රාමනායක කියන චරිතයයි රඟපාන්නෙ. ඒ චරිතය වටා තමයි මේක දිව යන්නෙ. ජීවිතේ යම් ආකාරයක දෙබිඩි ස්වභාවයක චරිතයක්.”
ඔන්න ඉතින් ඔහොම රාමා ගැන ශ්‍යාම් කිව්වාම රාමාගේ නෝනාගේ චරිතය රඟපාන ජයනි කිව්වෙ මෙහෙම කතාවක්.
“වේදිකාවේ වැඩ කරන්න මම කොහොමත් ආසයි. අවුරුද්දකට දෙකකට සැරයක් මම කොහොමත් එක වේදිකා නාට්‍යයක් කරනවා. ධර්මප්‍රිය කරපු මුල් නාට්‍ය දෙකේම මම රඟපෑවා. කවුරු නාට්‍යයක් කරන්න කතා කළත් ඒක මම කැමති පිටපතක් නම්, මම කැමති අධ්‍යක්ෂකවරයෙක් නම්, ඒ වෙනුවෙන් වෙලාව වෙන්කර ගන්න පුළුවන්නම්, මම ඉතා කැමැත්තෙන් බාරගන්නවා. මම හරි ආසයි වේදිකාවට. මම මාවම හොයන්නෙ, මාව අධ්‍යයනය කරන්නෙ, මම අලුත් වෙන්නෙ වේදිකාවෙදියි. ධර්මප්‍රියගේ මේ වේදිකා නාට්‍ය හරි අපූරු වේදිකා නාට්‍යයක්.”
මෙන්න මෙහෙම කතා කරන ගමන් “මම නෙවෙයි වෙන කෙනෙක්” පුහුණුවීම් අතරතුරේදී රසවත් තේ එක්කුත් බොන ගමන්ම අපි මේ පුහුණුවීම් කටයුතුත් නැරඹුවා. කතාව කියන්නෙ නම් නැහැ. හැබැයි හරිම අපූරු නිර්මාණයක් කියලානම් කියනවා. ඒ නිසාම මේ මස 25, 26, 27 දිනවල සවස 6.45ට බොරැල්ල පුංචි තියටර් එකට ඇවිත් යන්න.
►Text - Dishani / Pic – Sumudu