2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

හැමදේම පිච්චුවත් ජීවිතය පුච්චන්න බෑ

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

Art එකේ කැරට්ටුව..
හඬ: දිලූක ප්‍රසාද්

ආයුබෝවන්...
අපි මුණගැහෙන්න ආවේ තරැණ අධ්‍යක්ෂකවරයෙක්..

අපි ඔහුව මුලින්ම හඳුනාගන්නෙ ගැහැනු ළමයි ටෙලිනාට්‍යයෙන් අධ්‍යක්ෂවරයා ලෙස... ඊට පස්සෙ අළු බඳුන, සයුරි, කළු සෙවණැල්ල වගේ නිර්මාණ කිහිපයකින්ම ඔහු පුංචි තිරයට ආවා.. තව ටෙලි චිත්‍රපට, ඒකාංගික ටෙලි කිහිපයකුත් මොහුගේ නිර්මාණ ගොන්නේ තියෙනවා... ඒ නිර්මාණ රාජ්‍ය සම්මානවලින් ඇගයීමටත් ලක්වුණා.. වර්තමානයෙත් මෙයාගේ නිර්මාණයක් ගැන හුඟ දෙනෙක් කතා කරනවා.. ඒකට හේතුව තමයි පුංචි තිරයේ මෙයාගේ ලස්සන වැඩක් විකාශය වෙනවා.. ඒ තමයි  පාවෙලා වළාකුලේ ඒවිද අම්මා කියන ටෙලිය... දිලූක ප්‍රසාද් ගුණතිලක තමයි ඒ තරුණ අධ්‍යක්ෂවරයා..

වචන ඇතුළට කිඳාබැහැලා කැමරාවේ ඇක්ෂන් කට් එක්ක හිටපු දිලූකට මොහොතක්  හිතන්න ඉඩ ඇරලා මම ආගිය කතාවලින් වැඩේ පටන් ගත්තා...

පහුගිය දවස් ටිකක් විතර කාර්යබහුල වුණා... මේ දවස්වල විකාශනය වෙන ටෙලිනාට්‍ය රූපගත කිරීමක් එකක්.. තව පෝය ටෙලිනාට්‍ය වැඩ කිහිපයකුත් තියෙනවා... ඒ ඇරෙන්න සාමාන්‍ය විදියට ජීවිතය හෙමින් ගලා යනවා 

සරල උත්තරයක් අපිට හම්බවුණා..

දිලූක කියන්නේ හැකියාවන් ගොඩක එකතුවක්. ඒ වගේම හොඳ රසවින්දනයක් තියෙන නිර්මාණකරුවෙක්. කියමුද බලන්න හිතට තදින් වැදුණු නිර්මාණයක විස්තර ටිකක්... හැබැයි ඒක දිලූකගේ නිර්මාණයක් වෙන්නම බෑ... 

හරි...

තදින්ම හිතට දැනුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා... මම වැඩිපුර චිත්‍රපට බලන  කෙනෙක්.. ඒ නිසා මම චිත්‍රපටයක් තෝරගන්නම්... ඒ චිත්‍රපටය බටහිර චිත්‍රපටයක්.. Citizen kane තමයි චිත්‍රපටයේ නම. මම සිනමාව ගැන ඉගෙනීම් කරන කාලේ තමයි මට මේ චිත්‍රපටය මුණගැහෙන්නේ.. තිස්ස අබේසේකර මහත්මයා තමයි මට කියන්නෙ Citizen kane ලස්සන ෆිල්ම් එකක් තියෙනවා බලන්න කියලා... කළු සුදු චිත්‍රපටයක් විදියට 1941 වසරේ ඔර්සන් වෙල්ස් කියන අධ්‍යක්ෂවරයා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ.. විශේෂත්වය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙත් ඔර්සන් වේලස් කියන මේ අධ්‍යක්ෂකවරයාමයි.. Citizen kane චිත්‍රපටයේ පිටපත රචනයටත් ඔහු ප්‍රධාන වශයෙන් දායකවෙලා තියෙනවා. මේ චිත්‍රපටය ඔහුගේ පළමුවැනි නිර්මාණය.. මීට කලින් ඔහු ගුවන්විදුලි නිවේදන ශිල්පියෙක් විදියට තමයි වැඩකරන්නෙ.. සිනමාවේ එක්තරා විදියක අත්පොතක් විදියට තමයි තිස්ස අබේසේකර මහත්මයත් ඔර්සන් වේල්ස්ගේ  Citizen kane කියන මේ චිත්‍රපටය හැඳින්වූයේ..  ඇමෙරිකාවේ ෆිල්ම් ඉන්සිටියුට් ආයතනයත් ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ඉගැන්වීම් වටල භාවිත කරන්නෙ Citizen kane චිත්‍රපටය. ඇත්තටම මේ නිර්මාණය විශිෂ්ට නිර්මාණ්‍යක්.. සම්මාන උළෙලවල් කිහිපයකම ඇකඩමි සම්මාන පවා මේ චිත්‍රපටය හිමිවුණා..

කේන් කියන චරිතය වටා තමයි මේ චිත්‍රපටය විහිදෙන්නෙ... කේන් කියන්නෙ ඇමෙරිකාවේ ෆ්රීඩා ප්‍රාන්තයේ ජීවත්වෙච්ච ධන කුවේරයෙක්. කුඩා අවදියේ සිට මරණය දක්වා කේන් මුහුණදෙන සිදුවීම් සමුදායක් තමයි මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ..  
චිත්‍රපටය පටන්ගන්නෙ කේන්ගේ අභාවයත් එක්ක.. මොහුගේ අතේ තියෙනවා පළිඟු බෝලයක් වගේ දෙයක්.. අවසන් හුසුම් හෙළන මොහොතේ ඔහුගේ අතින් මෙය ගිලිහෙනවා. ඒ පළිඟුව ගිලිහෙනවත් එකක්ම ඔහුගේ කටින් කියවෙනවා රෝස් බඩ් කියලා වචනයක්... සාමාන්‍ය මිනිහෙක්ගේ අවසාන මොහොතේ යම් යම් දේවල් කියවෙන්න පුළුවන්.. නමුත් මොහු ධන කුවේරයෙක්.. ඔහුගේ කටින් මෙවැනි වචනයක් කිසිකෙනෙක් බලාපොරොත්තු වුණේ නෑ. මේ සිද්ධියෙන් පස්සේ. තරුණ මාධ්‍යවේදියෙක් උත්සුක වෙනවා රෝස් බඩ් කියන වචනයේ තේරුම හොයන්න. ඇයි කේන් අවසාන මොහොතේ මේ වචනය පාවිච්චි කරේ කියන කාරණාව දැනගන්න. එතන තමයි මේ චිත්‍රපටයේ මුල.  මාධ්‍ය‍ෙව්දියා කේන්ගේ සමකාලීනයන් සහ සමීපතම අය මුණගැසෙන්න තීරණය කරනවා.. මාධ්‍ය‍ෙව්දියා කේන්ගේ බිරිඳව හමුවෙනවා.. අවාසනාවක බිරිඳ මොහු සමඟ අදහස් ප්‍රකාශනයට කැමැත්තක් දක්වන්නෙ නෑ. ඊටපස්සේ කේන්ගේ මිත්‍රයෙක් මුණගැහෙනවා.. ඔහු කේන් ගැන යම් යම් කාරණා, තොරතුරු රැසක් මාධ්‍යවේදියාට ලබාදෙනවා. කේන්ගේ දෙමාපියන් දෙදෙනා කේන් කුඩා කාලේම දික්කසාදෙ වෙනවා.. දෙමාපියන්ගේ දේපල වයසින් වැඩීමත් සමඟ කේන්ට හිමිවන විදියට දෙමාපියන් වැඩකටයුතු සලස්වනවා... කොහොම වුණත් කේන් දැඩි ලෙස විරෝධය පලකරනවා දෙමාපියන්ගේ වෙන්වීමට.. නමුත් ඔවුන් වෙන්වෙනවා.. පසුව ඩොලර් මිලියන ගාණක දේපලක් ඔහු සතුවෙනවා. කේන් වෘතිය වශයෙන් තෝරගන්නෙ පත්‍රකලාවේදය. ඔහුගේ පුවත්පත් විශාල වශයෙන් අලෙවි වෙලා කේන් සෑහෙන ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔහු ජීවිතේ බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් ළඟාකර ගන්නවා. නමුත් ඔහුගේ පවුලේ ජීවිතේ යම්කිසි කඩාවැටීමකට ලක්වෙනවා.. පළවෙනි විවාහය බිඳවැටෙනවා.. පසුව ඔහුට සුෂෑන් කියන තරුණියක් මුණගැසෙනවා. ඇය ඔපෙරා ගායිකාවක්. හැබැයි ඇයට ගීත ගායනයට ලොකු හැකියාවක් නෑ. නමුත් කේන්ට තිබුණු ජනප්‍රියත්වය, මිල මුදල්, සහ බලය පාවිච්චි කරලා සුෂෑන්ව මුල් පෙළේ ඔපෙරා ගායිකාවක් කරන්න කේන් උත්සාහ කරනවා. කේන් තියටර් එකක් පවා ඇය වෙනුවෙන් නිර්මාණය කරනවා.. නමුත් කේන්ට මේ දේවල් කිරීමෙන් ලැබුණේ අවලාද, අපහාස, ගැරහුම් විතරයි... කේන්ගේ තිබුණු අවාසනාවකටද මන්දා මෙච්චර කේන් ආදරය කරන මේ තරුණිය කේන්ව අත ඇරලා යනවා.. ඒ දේ කේන් කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමේ. එතනදී සෑහෙන්න මේ මනුස්සයා මානසිකව වැටෙනවා..  අවසානයේ මොහු තීරණය කරනවා.. එයාගේ කාමරයේ තියෙන හැමදෙයක්ම පුච්චලා විනාශ කරන්න. එයා ඒ දේ කරනවා. කාමරයේ තිබුණු සියල්ල පිච්චුනත්.. එක දෙයක් එයාගෙ අතේ ඉතිරිවෙනවා.. ඒ තමයි අර පළිඟු බෝලේ... ඒක අතට අරගෙන තමයි රෝස් බට් කියන්නෙ.. එතනින් පස්සේ තමයි මියයන දර්ශනය තියෙන්නෙ...
කොහොම හරි මාධ්‍යවේදියා දැනගන්නවා රෝස් බඩ් කියන එකේ තේරුම.. මම කිව්වොත් මේ චිත්‍රපයට බලන කෙනෙකුට ඒ කුතුහලය නැතිවෙන නිසා මම ඒක නොකියා ඉන්නම්.....

තව කියන්නම ඕන දෙයක් තියෙනවා.. මේ චිත්‍රපටයේ ආලෝකකරණය, ශබ්ද පරිපාලනය, කැමරාකරණය වගේ දේවල් අති විශිෂ්ඨ මට්ටමක තියෙනවා... 1941 වසරේ නිෂ්පාදනය වුණ චිත්‍රපටයකින් බලපොරොත්තු වෙන්න බැරි තාක්ෂණයක් මේ චිත්‍රපට ඇතුලේ තියෙනවා.. සිනමාව ගැන ඉගෙන ගන්න කෙනෙක් බලන්නම ඕන චිත්‍රපටයක් මේක.. 

Citizen kane චිත්‍රපටයේ දිලූක සමීපවෙච්ච චරිතයක් තියෙනවාද?

ඔව් පැහැදිලිවම මම කැමතිම කේන් ගේ චරිතයට.. ඒකට සුවිශේෂි හේතුවක් තියෙනවා.. මම කලිනුත් කිව්වනේ කේන්ට රඟපාන්නෙ ඔර්සන් ‍වේල්ස් කියලා... මේ චිත්‍රපටයේ කේන්ගේ චරිතයේ අවදි කිහිපයක් තියෙනවා.. කේන්ගේ තරුණ අවදිය, සහ මැදිවිය සහ මහළු විය කියන අවදි තුනම නිරූපණය කරන්නෙ ඔර්සන් වේල්ස්.. ළමා අවදිය විතරයි ළමා නළුවෙක් නිරූපණය කරන්නෙ.. ඒක හරි සුවිශේෂි  කරුණක්. 

ඔබ කී වතාවක් ඔබ මේ චිත්‍රපට බැලුවද?

මම මේ චිත්‍රපටය දහවතාවකට වැඩිය බලලා ඇති...

ඔබට හෘද සංවේදිතාව වැඩියෙන්ම දැනුණු රූප රාමු  ඕන තරම් තියෙන්න ඇති.. එකක් දෙකක් මතක් කරමුද?

ඔව් එහෙම අවස්ථා කීපයක් තියෙනවා.. එකක් මම කියන්නවම්.. අර ගීත ගායනා කරන සුෂෑන් කියන යුවතිය කේන්ව අත ඇරලා යන අවස්ථාව.. ඒ අවස්ථාව හරිම සංවේදීයි.. කේන් සහ සුෂෑන් අතර වචන හුවමාරුවක් ඇතිවෙනවා.. අවසානයේ කේන් සුෂෑන්ට කම්මුල පහරක් ගහනවා.. කේන් සමාව ඉල්ලවා.. සුෂෑන් කියනවා සමාව ඉල්ලන්න එපා කියලා.. ඒ දර්ශනය එතනින් ඉවරවෙනවා.. පස්සෙ සේවකයෙක් ඇවිත් කේන්ට කියනවා සුෂෑන් මහත්මිය ඔබ තුමාව  මුණගැහෙන්න ඕන කියනවා කියලා.. සුෂෑන් ඒ වෙනකොටත් ගෙදරින් පිටවෙන්න සියලුම දේවල් පැක්කරගෙනයි ඉන්නෙ..  කේන් ඒ වෙලාවේ හරිම අසරණ විදියටම කියනවා.. අනේ මාව දාලයන්න එපා කියලා.. ඔයාට බෑ මාව අත ඇරලා යන්න කියලා... ප්‍රේක්ෂයාටත් හිතෙනවා.. සුෂෑන් ඒ සිද්ධිය අමතක කරලා නවති තමයි කියලා. නමුත් සුෂෑන් නවතින්නෙ නෑ... දිග කොරිඩෝවක් දිගේ ඇය යනවා..  කිසිම වෙලාවක ඇය හැරිලත් බලන්නෙ නෑ.. ඒ දර්ශනය ඇත්තටම සංවේදීයි.. 

මේ චිත්‍රපටයක් තුළින් දිලූකගේ ජීවිතේට මොනවගේ දෙයක් එකතුකරගන්න පුළුවන් වුණාද?

මම පෞද්ගලිකව විශ්වසකරන දෙයක් තමයි.. අපේ ළමා කාලේ අපි ලබන අද්දැකීම් තුළින් තමයි තරුණ වයස සහ මැදිවයස තීරණය වෙන්නෙ කියන එක.. ගැඹුරු දර්ශනයක් මේ නිර්මණය ඇතුළේ ගැබ්වෙලා තියෙනවා.. අපේ බෞද්ධ දර්ශනයත් එක්ක පහසුවෙන් ගලපාගන්න පුළුවන්...  දුරදිග නොබලා ගන්න තීරණ එක්ක තමයි කේන්ගේ අවසාන කාලේ හුදකලාවෙන්න සිද්ධවෙන්නෙ.. ඕනෑම පුද්ගලයෙක්ට මේ සිද්ධි ටික යථාර්ථවාදීයි. 

මේ චිත්‍රපටයෙන් අවසානයේ ඔබට දැනුණු දේ පොඩ්ඩක් කියමුද බලන්න.....

මට අැත්තටම හිතුෙණ් මුදල්, බලය, තිෙයන ෙකනෙක් වුණත් තමන්ට ඕන විදියටහැම දේම කරන්න බෑ කියන එක. කේන් ගැන දුකක් තමයි හිතුණේ. ඔහු විසින් ඔහුගේ ජීවිතය පුච්චගන්න බැරි නිසා.. කාමරයේ තිබුණු සියලු මතයන් කේන් පුච්චනවා.. මිනිස්සු සතුට වෙනුවෙන් එකතුකරන දේවල් අවසානයේදී දුකටම හේතුවෙන්න පුළුවන් නේද?  

එහෙම තමයි දිලූක කතාව නැවැත්තුවේ...

►Text - Danushka Wijesiri   /   Pic - Internet