චන්ද්‍රකුමාර් කඳනආරච්චි Life
චන්ද්‍රකුමාර්.. අපි ඔබේ ළමා කාලය ගැන මුලින්ම මතක් කළොත්.. ඔබ ඉපදුණේ නුවර. එහෙම නේද..?
ඔව්.. මම ඉපදුණේ නුවර දළදා මාලිගාව ළඟ තිබුණු පෞද්ගලික රෝහලක. අපේ අම්මා කියන විදිහට මම ඉපදෙන මොහොතේ දී අපේ අම්මට මාලිගාවේ තේවාවේ සද්දය ඇහිලා තියෙනවලු. ඒ නිසාම අපේ අම්මා “උඹට කවදාවත් වරදින්නේ නැහැ” කියලා හිතින් හිතලා තියෙනවා. මම ඉපදෙද්දී පොඩ්ඩක්වත් අඬලා නැහැ. ඒ නිසාම එතන හිටපු වෛද්‍යවරයෙක් මාව කකුල් දෙකින් උස්සලා පිටට තට්ටු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මම එකපාරටම අඬන්න පටන් අරගෙන තියෙන්නේ.
ඔබට හැමෝම චන්ද්‍රකුමාර් කඳනාආරච්චි කිව්වට ඒ නම තියන්නත් හේතුවක් තියෙනවා නේද..?
ඔව්.. මගේ නම චන්ද්‍රකුමාර් ධන්වන්තරී කඳනාආරච්චි. චන්ද්‍රකුමාර් කියන නම මට දාලා තියෙන්නෙ මගේ ටියුඩර් අයියා. ඒ කාලේ ඉංග්‍රීසි නම් වැඩිපුරම දාන නිසාම අයියා මට චන්ද්‍රකුමාර් කියන නම දාලා තියෙනවා. ඒ වගේම මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර මහත්තයගේ තාත්තා ඒ කාලේ අපේ ළඟම හිතවතෙක්. ඒ මැල් මහත්තයා මට ‘ධන්වන්තරී’ කියන නම තියන්න කියලා තියෙනවා. ඒක ඉන්දියාවේ හිටපු ඍෂිවරයෙක්ගේ නමක් වගේම ආයුර්වේදයේ පියා හැටියටත් සලකන්නෙ ධන්වන්තරී කියන ඍෂිවරයායි. මගේ උප්පැන්න සහතිකයේ ඒ නම තිබුණත් මම පාවිච්චි කරන නමට ඒ කොටස නැහැ.
ඔබේ ළමා කාලය ගැන මතක් කළොත්..?
මම හැදී වැඩුණේ නුවර. ඒක හරිම සුන්දර ළමා කාලයක්. අපේ ගේ තිබුණු වත්ත උඩටම ගියාම මහවැලි ගඟ කිලෝමීටර් ගණනාවක් දිගට පේනවා. ඒක හරි අපූරු දර්ශනයක්. අපි මහවැලි ගඟේ නාන්න යනවා. සමහර දවස්වල පැය ගණන් ඇස් රතු වෙනකම් මහවැලි ගඟේ නෑවා.
පවුලේ කී දෙනෙක් හිටියද..?
අපේ පවුලේ ලොකු සාමාජික පිරිසක් හිටියා. ඔක්කොම පවුලේ දහ දෙනෙක් ඉන්නවා. අපේ අම්මාගේ තාත්තා නුවර කෙනෙක්. හැබැයි අපේ ආච්චි පානදුරේ කෙනෙක්. ඒ නිසා මගේ අම්මා ඉපදිලා තියෙන්නෙ පානදුරේ. අම්මා සංගීත ගුරුවරියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. අපේ තාත්තා විවාහ වෙලා ගුරු වෘත්තියෙන් සමුගනිද්දී ඒ පාසලේ සංගීත ගුරු පුරප්පාඩුවට එකතුවෙලා තියෙන්නෙ ආනන්ද සමරකෝන් මහත්තයයි. මගේ සීයා බෞද්ධ කතෝලික මිශ්‍ර පවුලක කෙනෙක්. ඒ නිසා අපේ අම්මත් මුලදී පල්ලියේ ගීතිකා එහෙම කියලා පසුකාලීනව බෞද්ධ ආගමට වැඩිපුර නැඹුරුවෙලා තියෙනවා. මගේ තාත්තගේ පරපුරේත් හරි අපූරු මතකයන් තියෙනවා. මගේ තාත්තගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා හොරණ වැසියෙක්. වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේ විවිධ ගෝත්‍රිකයන් ඉඳලා තියෙනවනෙ. රජ්ජුරුවන් රට වටේ යද්දී රජ්ජුරුවන්ට කූඩාරම් හදන පිරිසකුත් ඔය අතරේ ඉඳලා තියෙනවා. ඒ අයට කියන්නෙ කඳවුරු කුලය කියලයි. ඒ කඳවුරු කුලයේ අයට පසුකාලීනව වළගම්බා රජ්ජුරුවන් හොරණ ප්‍රදේශයේ කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ ගම ‘කඳාන’ කියලයි නම් කරලා තියෙන්නෙ. ඒ කඳාන ප්‍රදේශයෙන් තමයි ‘කඳනාආරච්චිලා’ බිහිවෙලා තියෙන්නෙ. ඉතින් මගේ සීයා කාලයකට පස්සෙ මොරටුවට පදිංචියට ඇවිත් තියෙනවා. මගේ තාත්තා පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නායකයා විදිහට කාලයක් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අම්මට වගේම තාත්තටත් සංගීත හැකියාව තිබිලා තියෙනවා. ඒ දෙන්නගේම ආභාෂයෙන් අපිටත් සංගීත හැකියාව ලැබුණා. මගේ අයියලාත් සංගීතයට දක්ෂයි. මම පුංචි කාලේ ඉඳන්ම අයියලා එක්ක ගීත ගායනා කරලා තියෙනවා.
පුංචි කාලේ දඟ චරිතයක්ද..?
ටිකක් දඟ ගතියකුත් තිබුණා. මගේ තාත්තට හොරෙන් තමයි අපි ඔක්කොම ඒ දඟකාරකම් කළේ. මට තාම මතකයි මහවැලි ගඟට යන්න අපේ ගෙදර ඉඳන් ටිකක් පහළට බහින්න ඕනෙ. ඉතින් ඉස්සර අපි අපේ තුවායයි සරමයි ඔක්කොම හොරෙන් ඔතාගෙන ගඟේ නාන්න ගියා. මහවැලි ගඟේ නෑම හරිම විනෝදජනකයි. එක වතාවක් මාව මහවැලි ගඟේ ගහගෙන යන්නත් ගිහිල්ලා තියෙනවා. මම ඉගෙන ගත්තෙ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. පාසලේ දී මම ක්‍රීඩා කළා. පාසල් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත්ත නිසා කලා කටයුතු අද තරම් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි තිබුණු බොහෝ නිර්මාණවලට මාත් සම්බන්ධ වුණා. අයියලා ගුවන්විදුලියේ සරල ගී වැඩසඩහන්වලට සහභාගි වෙද්දී මාත් ඒවට සම්බන්ධ වුණා. නමුත් මම සංගීතය වැඩිදුර ඉගෙන ගත්තෙ නැහැ. හැබැයි අයියලා එක්ක තිබුණු ආභාෂයත් එක්ක ස්වඋත්සාහයෙන්ම මම ඉගෙන ගත්තා.
පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔබේ ඉලක්කය වුණේ මොකක්ද..?
සංගීතය පැත්තට නැඹුරුවෙන ඉලක්කයක් මට තිබුණේ නැහැ. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. මගේ පියාගේ අභාවයත් සමඟම අපේ පවුලේ ආර්ථිකය ටිකක් අඩපණ වුණා. ඒ නිසා අම්මව බලාගන්නත් එක්ක රැකියාවක් කළොත් හොඳයි කියලා මට හිතුණා. මම විශ්වවිද්‍යාලයට යන්න උනන්දු වුණේ නැහැ. මම ඒ වෙලාවේ ගැසට් කරලා තිබුණු ගුවන් හමුදාවට අයදුම් කරලා ගුවන් හමුදාවට බැඳුණා. මම ගුවන් හමුදාවේ කාර්මික ශිල්පියෙක් විදිහට සේවයට බැඳුණා. ටික කාලයක් මම ගුවන් හමුදාවේ සේවය කරලා ලංකා ගුවන් සේවයට (එයාර් සිලෝන්) එකතු වුණා. මම ලංකා ගුවන් සේවයේ ගුවන්යානා කාර්මික ශිල්පියෙක් විදියට වැඩ කළා. ඒ රුකියාව මම හරිම ආසාවෙන් කළා. මම ලංකා ගුවන් සේවයේදී හරි අපූරු අත්දැකීම් ලැබුවා.
ඒ ලබපු අත්දැකීම් මොනවද..?
එක වතාවක් මට ලයිසන් නැතිවත් ගුවන් යානයක් පදවාගෙන යන්න අවස්ථාව ලැබුණා. 1970 කාලයේදී අනුරාධපුරේ හිටපු ප්‍රසිද්ධ ඇමැතිවරයකුට කොළඹ ඉඳන් අනුරාධපුරේට යන්න ගුවන් යානයක් ඉල්ලලා තිබුණා. ඒ කාලේ කැරුල්ල නිසාම ගුවන්යානා යාම සීමා කළා. ඔය වෙලාවේදී ඇමැතිවරයා ලංකා ගුවන් සේවයෙන් මේ පිළිබඳව අහද්දී මාත් එක්ක වැඩ කරපු එකල හොඳ නිර්භීත ගුවන් නියමුවෙක් වුණු කැප්ටන් රණබාහු මහත්තයා “කන්දා යමුද අපි flight එකක” කියලා ඇහුවා. “කමක් නැහැ. කැප්ටන් අපි යමු” කියලා මාත් ගුවන් යානයට ගොඩ වුණා. ඒ කාලේ මට ලයිසන් එකක්වත් තිබුණෙ නැහැ. අපි රත්මලානේ පොඩි පෙරහුරුවක් තියලා ඒ ගමන යන්න පිටත් වුණා. මට තාම මතකයි ඒ ගමනට ඇමැතිවරයා වගේම ඔහුගේ බිරියත් දියණියත් අනුරාධපුරේ යන්න අපිත් එක්ක ආවා. අපි කොහොමහරි අනුරාධපුරෙන් අමාරුවෙන් ගුවන් යානය ගොඩබැස්සුවා. ඒ වෙලාවේ ඒ ඇමැතිවරයා ඔහුගේ රියැදුරාට කියලා කහට තේ දෙකක් බීම බෝතලයකට ගෙන්නලා අපිට සංග්‍රහට කළා. ඒ කාලේ උණු වතුර බෝතලයක්වත් තිබුණෙ නැහැ. එකපාරක් මඩකලපුවේ ගිහින් එන ගමනේ දී එයාර්පෝට් එකේ වැඩ කරන අය අපිට කිරි හට්ටි, කකුළුවෝ එහෙම ගෙනියන්න දුන්නා. ගුවන් යානය උඩින් යද්දී අර කකුළුවන් ගුවන් යානයේ එහේ මෙහේ ඇවිද්දා. ඉතින් මට ප්ලේන් එකේදී කකුළුවෝ එකතු කරන්න සිද්ධ වුණා. “මගේ ගම මහනුවරයි” කියන ගීතය අතිශය ජනප්‍රිය වෙන කාලෙදී ප්ලේන් එක නුවර උඩින් යාත්‍රා කරනකොට එක වතාවක් මගේ කැප්ටන් “කන්දා.. මේ ඔයාගේ ගමනේ” කියලා කැප්ටන් සීට් එකේ මාව වාඩි කරවලා මට ගම උඩින් ප්ලේන් එක අරගෙන යන්න ඉඩ දුන්නා. එදා මම ගොඩක් සතුටු වුණා. දැන් කාලේ අහස්යානා ඕන තරම් ඉහළ අහසේ එහාට මෙහාට ගියාට ඒ කාලේ එහෙම පියාසර කළේ නැහැ.
ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයෙක් විදිහට හිටපු චන්ද්‍රකුමාර් ගායකයෙක් වුණේ කොහොමද..?
ඒ කාලේ ඉඳන්ම ටියුඩර් අයියා එක්ක මම ගුවන්විදුලියට ආවා ගියා. මම සංගීත කණ්ඩායමකත් හිටියා. ඒ කාලෙදී එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග් වගේ අයට අපි සංගීතය සැපයුවා. හැබැයි ඒ සංගිත කණ්ඩායමේදී මට සින්දු කියන්න අවස්ථාව ලැබුණෙම නැහැ. ඒ නිසාම “මම මගේම සින්දුවක් කරනවා” කියලා හිතාගත්තා. අයියලා එක්ක එකතුවෙලා මව්ගුණ ගීත ගායනා කළාට මම මුලින්ම මගේම කියලා ගීතයක් ගායනා කළේ “නෙළුම් විලේ කැළුම් පෙර්” කියන ගීතයයි. ඒ ගීතය පද රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතායි. සංගීතවත් කළේ උපාලි කන්නංගර මහතායි. ගුවන්යානා පියාසර ඉංජිනේරු ශිල්පියෙක් විදිහට කටයුතු කරන ගමන් කලාව මම විනෝදාංශයක් විදිහට කරගෙන ගියා. කාලයක් ඒ රැකියාව කරලා මම ඒකෙන් අයින් වුණා. කුලියාපිටිය පැත්තේ මගේ ඉඩමක් තිබුණා. මම ඒක පොඩ්ඩක් වගා කරලා වෙළෙඳ ව්‍යාපාර පැත්තට එකතු වුණා.
ඔබ දැවැන්ත කමිස නිෂ්පාදන ආයතනයක් පවා ආරම්භ කළා නේද..?
ඔව්.. මම ඉතා පොඩියට කමිස නිෂ්පාදන ආයතනයක් පටන් ගත්තා. ඒක ලංකාවේ ඉතා දැවැන්ත කමිස නිෂ්පාදන ආයතනයක් වුණා. ‘Polo Lanka’ නමින් ඒක හැඳින්වුවා. ඇත්තටම ඒ ව්‍යාපාරයෙන් මම ධනපතියෙක් වුණා. මම කුරුඳුවත්තෙන් ගෙවල් දෙකක් ගත්තා. වතුපිටි ගත්තා. යාන වාහන ගත්තා. වර්තමානයේ ඉන්න කැබිනට් ඇමැතිවරයෙක්ට තියෙන සියලුම පහසුකම් මම මගේ සල්ලිවලින් ඒ කාලේ වින්දා. අලුත් වාහන මම මගේ මුදලින් ගත්තා. හැබැයි ඒ කිසිම දේකින් මම ඔළුව උදුම්මා ගත්තෙ නැහැ. මම ඒ කාලෙදීත් හරි සරලව ජීවත් වුණා. වාහන තිබුණත් මම පාරේ බස් එකේ පවා ගමන් බිමන් ගියා.
ඒ දැවැන්ත ව්‍යාපාරයට මොකද වුණේ..?
මම පල්ලෙකැලේ වෙළෙඳ කලාපයෙත් අලුතින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හැදුවා. ඒකට වියදම් කරගන්න ගත්ත සල්ලි පියවන්න බැරි වුණා. බැංකුවල කළමනාකාරීත්වය වෙනස් වෙද්දී ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා බැංකුවෙන් මාව පුදුම විදිහට හිර කළා. ඒ නිසා මම මගේ කොළඹ හතේ තිබුණු ගෙවල්, අක්කර පනහක් තිබුණු කුලියාපිටිය ඉඩම, යාන වාහන විකිණුවා. අවසානයේ දී මගේ ව්‍යාපාරය මට නැතිවුණා.
ඔබේ ව්‍යාපාරය නැත්තටම නැතිවෙද්දී ඔබ හිත හදාගත්තෙ කොහොමද..?
ඉස්සර ඉඳන්ම මගේ හිත එක විදිහට තිබුණේ. දුක් වුණු වෙලාවල් ජීවිතේ තිබුණා. හැබැයි මොන දේ නැති වුණත් පවුලක් විදිහට අපි හතරදෙනා එකටම හිටියා. ඒ නිසාම මම මගේ හිත ශක්තිමත් කර ගත්තා. මගේ හිත කඩා වැටුණොත් ගෙදර තුන්දෙනාම මානසිකව ඇදවැටෙනවා කියලා මම දැනගත්තා. මම බුදු දහම වගේම සංගීතය දැඩි ලෙස විශ්වාස කළා. සංගීතය කරන නිසා මිනිසුන්ගෙන් ලැබුණු ආශිර්වාදය මාව ශක්තිමත් කළා. ඒ හැමදේම නැති වුණත් මගේ ගෙදර අයයි මගේ කටහඬයි මා ළඟ තියෙන බව මම විශ්වාස කළා. ව්‍යාපාරිකයාට වඩා මගේ ජීවිතය සතුටින් පිරෙව්වේ ඒ කලාකාරයයි.
ඔබේ දරුවන් දෙන්නා ගැනත් කියමු..?
ඔව්.. මගේ දරුවෝ දෙන්නා ගැන මට අද හරි සතුටුයි. මගේ පුතා දැන් විවාහකයි. ඒ දෙන්නා දැන් ලන්ඩන් නුවර පදිංචිවෙලා ඉන්නවා. පුතා ඉතා හොඳ ජීවිතයක් ඒ රටේ ගත කරනවා. එයා හොඳ කලාකාරයෙක්. ලංකාවේ ඉඳිද්දී පුතා මාත් එක්කත් සින්දු කිව්වා. දහම් එංගලන්තයේ එයාගේ බිරිය එක්ක හරිම සතුටින් ජීවත් වෙනවා. පුතා ඒ රටේ හොලිවුඩ් ෆිල්ම්වල රඟපානවා. ඒ වගේම ඒ රටේ ටෙලිනාට්‍යවල රඟපානවා. වෙළෙඳ දැන්වීම්වල රඟපානවා. මට නැතිවුණු ජීවිතය අද පුතා ඒ රටේදී භුක්ති විඳිනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. පුතා විවාහ වුණු දුව ඒ රටේ වෛද්‍යවරියක්. මට දුවෙක් ඉන්නවා. දුවත් ලංකාවේ හොඳ රැකියාවක් කරනවා. හිරංගිකා දුවත් බොහෝවිට එංගලන්තයට යන්න ඉඩ තියෙනවා. දරුවන් දෙන්නා ගැන හිතලා අද අපි ගොඩක් සතුටු වෙනවා.
ඔබේ විවාහය සිදු වුණේ කොයි කාලෙදීද..?
මම විවාහ වුණේ 1978 වසරේදීයි. වීණාව මට මුණගැහුණේ මගේ රසිකාවියක් විදිහටයි. ඒ කාලේ රසික රසිකාවියෝ මට ගෙදරට ලියුම් එව්වා. ඔය අතරේ හරි ලස්සන අකුරුවලින් ලස්සන ලියුමක් මට ලැබුණා. ඉතින් ඒ ලියුමේ ටෙලිෆෝන් අංකයක් තිබිලා මම ඒකට කතා කළා. ටික දවසකින් අපි පෙම්වතුන් වුණා. අවුරුදු හතරක් විතර පෙම් කරලා අපි විවාහ වුණා.
අද දවස ගෙවෙන්නේ කොහොමද..?
අද මගේ දවස වැඩිපුරම ගෙවෙන්නෙ සංගීතයෙනුයි ගෙදර ඉන්න සුරතල් සතුන් එක්කයි. උදේ පාන්දර ගෙදර ඉන්න බල්ලන්ට සහ පූසන්ට කන්න දීලා තමයි මම දවස පටන් ගන්නෙ. ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. ඒවාටත් සහභාගි වෙනවා. හැමදාම වගේ ජීවිතය සරලව ගත කිරීමෙන් දවස සැහැල්ලුවෙන් ගෙවෙනවා.
►Text - Dishani / Pic -Sumudu