2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

වරකාපොල හන්දියේ කතාව

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

අපේ කලා ශිල්පියෙක් ඔහුගේ මිත්‍රයකුගේ මවක් මුහුණ දුන්නු තවත් අපූරු අත්දැකීමක් අපිත් එක්ක බෙදාහදා ගත්තා.

මිත්‍රයා ඉන්නෙ මහනුවර. මිත්‍රයාගෙ අම්මා ඉන්නෙ කොළඹ. අම්මා නුවරට ගිහින් තියෙනවා දවස් කිහිපයක් පුතාගෙ ගෙදර නවතින්න. දැන් අම්මා ගෙදර යන දවසෙ පුතා අම්මව නුවර බස් ස්ටෑන්ඩ් එකට ගෙනවිත් කොළඹ ඒ.සී. බස් එකකට නග්ගලා කොන්දොස්තර මහතාට කිව්වලු අපේ අම්මට නින්ද යයි, වරකාපොලදී එයාට කතා කරන්න කියලා.

ඔන්න දැන් බස් එක කොළඹ බලා පිටත් වුණා. වරකාපොලත් පහු වුණා. කොන්දොස්තරට අමතක වුණා වරකාපොලදී ඒ අම්මට කතා කරන්න. දැන් රූවෙලා. අම්මටත් නින්ද ගිහින්.
කොන්දොස්තරට මතක් වුණේ කිලෝමීටර් 10ක් 15ක් ගියාට පස්සෙ. රියැදුරු මහතාට කතාව කිව්වම එයා කියලා තියෙනවා බස් එකේ සේරටම නින්ද ගිහින් තියෙන නිසා අපි ආපහු හරවලා ගිහින් මේ අම්මව වරකාපොලින් බස්සමු කියලා. 
දැන් බස් එක ආපහු හරවලා වරකාපොලට ආවා. කොන්දොස්තර අර අම්මට කතා කළා.

අම්මෙ වරකාපොලට ආවා. බහින්න.

ඒත් අම්මා කළේ ඇගේ හෑන්ඩ් බෑග් එකට අත යවා බෙහෙත් පෙති දෙකක් අරන් වතුර ටිකක් බොන එක විතරයි. ඊටපස්සෙ සීට් එකේ හොඳට හරිබරි ගැහිලා නිදාගත්තලු.
අම්මා වරකාපොල නෙවෙයිද බහින්නෙ? 

මම බහින්නෙ කිරිබත්ගොඩ. මට රෑ බෙහෙත බොන්න තිබුණෙ බස් එක වරකාපොලට එන වෙලාවට. ඒකයි පුතා මට වරකාපොලදී කතා කරන්න කිව්වෙ.

 

මගෙ ඇස් අන්ධ කළේ ඇයි?

එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ යෞවන වයසේදී සිදුවූ අපූරු අත්දැකීමක් ගැන චිත්‍රපට දර්ශන තලයකදී පැවසුවේ කාටත් සිනා උපද්දවමින්.

අපි තරුණ කොල්ලො කාලෙ පොඩි විනෝද ගමනක් ගියා. එදා කට්ටිය ඉතින් ටිකක් සප්පායම්වෙලා හිටියෙ. හවස් වෙද්දී අපේ එක යාළුවෙකුගෙ ඇස් දෙකම රතුවෙන්න පටන් ගත්තා. ඒ පැත්තෙ හිටිය දොස්තර කෙනෙක් ගාවට එදා රෑම අපේ යාළුවාව ගෙනිහිල්ලා පෙන්නුවා. එතකොට ටිකක් රෑවෙලා. දොස්තරට අපි ඇත්ත විස්තරේ කිව්වම එයා කිව්වා, බය වෙන්න එපා, අපි ඇස් දෙකට බෙහෙත් බින්දු දෙකක් දාලා ටික වෙලාවක් ඉඳලා බලමු කියලා. ඔන්න දැන් ඇස් දෙකට බෙහෙත් බින්දු දෙකක් දාලා ඇස් දෙකම වෙළුම් පටියකින් බැඳලා, ටික වෙලාවක් හාන්සිවෙලා ඉන්න කිව්වා.

විනාඩි විස්සකින් විතර ඒ වෙළුම් පටි දොස්තර ගලවලා ඉවර වෙනවාත් එක්ක එකපාරටම ලයිට් ගියා. අද වගේ නෙවෙයි ඒ කාලෙ ජංගම දුරකතන ටෝච් තිබ්බෙ නැහැ. ලයිට් ගිය වෙලාවක ඉටිපන්දමේ පිහිට විතරයි. ඉතින් වෙළුම් පටි ගලවනවත් එක්කම අපේ මිත්‍රයා හොඳටම කලබලවෙලා ළඟ හිටිය යාළුවන්ටයි, දොස්තරටයි අතින් පයින් ගැහුවා.

මගේ හොඳට තිබ්බ ඇස් දෙක මේ දොස්තර ගාවට ගෙනල්ලා අන්ධ කළා නේද? උඹලට හොඳක්නම් සිද්ධවෙන්න එපා, කියලා මහ හයියෙන් කෑගැහුවා. 
පස්සෙ දොස්තර කිව්වා, ඔයාට විතරක් නෙවෙයි අපි කාටත් කිසිම දෙයක් පේන්නෙ නැහැ කරන්ට් ගිහින් තියෙන්නෙ. පොඩ්ඩක් ඔහොමම ඉන්න මම ඉටිපන්දමක් පත්තු කරගෙන එනකම් කියලා.
 

අද්භූත මිනිය

ඉස්සර ගම්පැතිවල කාලෙන් කාලෙට සැණකෙළි පැවැත්වුණානෙ නොයෙක් දේවල් සමරන්න. මාරක ළිඳ, ලෝකෙ අරුම පුදුම සතා වගේ දේවල් බලන්න ගමේ මිනිස්සු සිය ගණනකින් එක්රොක් වුණා.
එක්තරා ගමක තිබිලා තියෙනවා අද්භූත මළමිනිය කියලා අලුත්ම අංගයක්. ඒක වෙන්නෙ මෙහෙමයි. මිනීපෙට්ටියක මිනියක් තියෙනවා. සෙනඟ වටවෙලා බලන් ඉන්නවා. එකපාරටම මිනිය ඔළුව උස්සලා බලලා, ආයෙත් නිදාගන්නවා.
ඔය මිනීපෙට්ටියේ නිදාගන්න කොටස කරන්න පොරොන්දු වුණු කෙනා අන්තිම මොහොතෙ පොල්ලක් තියලා. දැන් සංවිධායකවරැන්ට ලොකු ප්‍රශ්නයක්ලු. ගමේ කිසිම කෙනෙක් වැඩේට කැමතිවෙලා නැහැ.

අන්තිමේදී එක්කෙනෙක් කැමතිවෙලා. හැබැයි මිනිහා ඔසුපැන් බෝතල් භාගයක්වත් නොබී වැඩේ කරන්නෙ නැහැ කියලා. කරන්නම දෙයක් නැති තැන භාගයක් පොවලා මිනිහව මිනීපෙට්ටියට දාලා.
පළවෙනි විනාඩි දහය පහළොව ඇතුළත මිනිහා වැඩේ සුපිරියට කරලා.

හැබැයි ඊටපස්සෙ පස්සෙ මේක බලන්න ආපු කට්ටිය අහනවලු පෙට්ටියේ ඉන්නෙ ඇත්ත මිනියක්ද? කියලා. බැලින්නම් හොඳට වැදිච්ච මිනිහා කට කපලා පෙට්ටියෙ නිදිලු, මළාට නැගිට්ටේ නැතිලු.

 

► Text - Mithra