2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

නොකරපු දෙයක් කරන්න මම කොහොමත් කැමතියි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

- ඉන්දිකා සජීවනී - සයුම්ලි අර්චිනා

තරගයට අම්මයි දුවයි වෙනුවෙන් ඉල්ලුම් කළේ කවුද?
මෙම තරගයට අපි දෙන්නව ඉදිරිපත් කළේ මගේ සැමියා. මම නාවික හමුදාවේ නර්තන කණ්ඩායමේ වසර පහලොවක් සේවය කරලා තමයි විශ්‍රාම ගියේ. මගේ සැමියත් නාවික හමුදාවේ සේවය කරන්නේ. කුඩා කල සිටම මම නර්තනය හැදෑරුවා. උසස්පෙළ කළෙත් නර්තන විෂයෙනුයි. මම උඩරට නර්තනය හදාරලා තියෙනවා. මගේ දුවගේ වයස දැන් අවුරුදු නවයයි. පුංචි කාලේ ඉඳන්ම එයත් නර්තනයට හරි කැමතියි. නර්තනයට හැකියාවක් තියෙනවා. දූත් උඩරට පහතරට හා භරත නැටුම් හදාරනවා. ඒ නිසාම තමයි මේ රියැලිටි වැඩසටහනට අපි දෙන්නම ඉදිරිපත් වුණේ.

අද වනවිට රියැලිටි වැඩසටහන් බොහෝමයක් විවිධ නාලිකා ඔස්සේ විකාශය වෙනවා. මේ බොහෝමයකට ඇතැමුන් විවිධ චෝදනා කරනවා. රියැලිටි වැඩසටන් රැල්ලට යන කාලයක එවැනි වැඩසටහනකට සම්බන්ධ වීම ගැන ඉන්දිකා අද මොකද හිතෙන්නේ?
මමත් නාවික හමුදාවෙන් විශ්‍රාම ගෙන අද ගෘහණියක් විදිහට තමයි කාලය ගතකරන්නේ. මට තව පුතෙක් ඉන්නවා. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ කරගෙන ඉඳිද්දි ඒකාකාරී ජීවිතයක් තමයි අපි ගතකරන්නේ. මම හිතන්නේ රුකියාවක් නොකරන බොහෝ අම්මලා ගත කරන්නේ එවැනි ඒකාකාරී ජීවිතයක්. ඒ ඒකාකාරී ජීවිතයෙන් මිදිලා අපේ තියෙන දක්ෂතා පෙන්නන්න මේක හොඳ අවස්ථාවක් කියලා මට හිතුණා. දුවයි මමයි එකතු වෙලා අලුත් නිර්මාණ කරන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා තමයි අපි දෙන්නා මේ super mom රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වුණේ.

මාස ගාණක් පුරා පැවති මේ තරගය නිසා දියණියගේ අධ්‍යාපන කටයුතු අතපසු වුණේ නැද්ද?
නැහැ. දුව ඉගෙනගන්නේ මාරවිල කන්‍යාරාමයේ. ඒ පාසලේ සිස්ටර් එක්ක වගේම පන්තියේ ගුරුතුමිය එක්ක කතාබහ කරගෙන දුවගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා නොවන විදිහට අපි පුහුණුවීම් කළා. දුවගේ පන්තියේ ඉගෙනුම ලබන දුවගේ යාළුවන්ගේ අම්මලා මට ගොඩක් උදව් කළා. එදිනෙදා ඒ දරුවන්ට උගන්වන දේවල්වල පිටපත එදිනෙදා මට එව්වා. මම ඒවා දුවට කියලා ලියවනවා. සමහර දවස්වල ෆොටෝකොපි ගහලා දුවට ඒවා කියලා දුන්නා. කොහොමහරි ඒ දේවල් මම කරලා දුන්නා. ඒ නිසා දුවගේ ඉගෙනීමේ කටයුතු මේ තරගය නිසා අතපසු වුණේ නම් නැහැ.

පුහුණුවීම් කටයුතු කළේ කොහොමද?
මුල් කාලෙදි මම තමයි තනියම ඒ නැටුම් අංග නිර්මාණය කරලා අපි දෙන්නා පුහුණුවීම් කළේ. ඊටපස්සේ වට හතරක් පහක් විතර යද්දි මගේ නර්තන නිර්මාණ ඒකාකාරී වේවි කියලා හිතුණ නිසාම අපේ හිතවත් මල්ලි කෙනකුත් පුහුණුවීම්වලට එකතු කරගත්තා. ඊටපස්සේ අපි දෙන්නා එකතු වෙලා තමයි ඒ නිර්මාණ කටයුතු කරගත්තේ.

මේ තරගයට දුවගේ තිබුණු උනන්දුව කොහොමද?
දුව චූටි කාලේ ඉඳන්ම නර්තනයට හරි ආසයි. ඒ නිසාම මේ තරගයට ඉදිරිපත් වුණ දවසේ ඉඳන්ම එයාගේ තිබුණේ ලොකු ආසාවක්. හැමවෙලේම අපි ප්‍රැක්ටිස් වෙමුකෝ කියලා තමයි කිව්වේ. ඒ උනන්දුව හා ආසාව නිසාම ඒ දේවල් කියලා දෙන්න මටත් හරි ලේසියි. සමහර දවස්වල එකදිගට පැය කිහිපයක් පුහුණු වෙද්දි එයාට ගොඩක් මහන්සියි කියලා මටම තේරෙනවා. ඒත් එයා ඒ කිසිම මොහොතක උදාසීන වුණේ නැහැ. ඒ නිසාම අපි හරිම ආසාවෙන් මේ පුහුණුවීම් කළා. එයාට දෙයක් කියලා දුන්නු ගමන්ම එයා ඒ දේ මතකතියා ගන්නවා. සමහර වෙලාවට මට අමතක වෙලා තියෙන නර්තන අංග එයාට මතකයි. අපි පුහුණුවීම් කළෙත් අපේ ගෙදරමයි. ඉතින් ටිකක් හරි මහන්සියක් තදින්ම දැනුණොත් එයා ආස කරන වැඩක පොඩ්ඩක් නිරත වෙලා ආයෙත් පුහුණුවීම් කටයුතුවලට එකතු වෙනවා.

අවසන් මහා තරගය වනතුරු වට කීයක් ඉන්දිකා තරග වැදුණද?
කොහොමත් මට මතක හැටියට මුල ඉඳන්ම අපි නර්තන අංග විස්සක් විතර ඉදිරිපත් කළා. ඔය අතරේදී අපිට එක වටයකදී විවිධ රටවල්වල ඇති නර්තන අංග ඉදිරිපත් කරන්න සිදුවුණා. ඒ වෙලාවෙදී අපි ස්කොට්ලන්තයේ සහ ප්‍රංශයේ නැටුම් අංග දෙකක් ඉදිරිපත් කළා. ස්කොට්ලන්තයේ නර්තනය ඇත්තටම ටිකක් අමාරැයි. ඒ තර්තනවලදී වැඩිපුරම පාවිච්චි කරන්නේ පාදයි. ඉහළට එසවෙමින් කරන ඒ පාද නර්තන ඇත්තටම අමාරැයි. කොහොමටත් මම ටිකක් නොකරපු දෙයක් කරන්න කැමතියි. ඒ නිසා දුවයි, මමයි, මල්ලියි එකතු වෙලා ඒ නර්තනය නිර්මාණය කරගත්තා. ඇත්තටම ඒ නිර්මාණය ඉතා සාර්ථක වුණා. එදා මටයි දුවටයි තමයි වැඩියෙන්ම ලකුණු හිමිවුණේ. හැමෝම ඒ නර්තනය අගේ කළා. 

අවසාන මහ තරගයේදී ඔබටත් දුවටත් හිමිවුණේ තුන්වැනි ස්ථානයයි. ඇත්ත කියන්න. ඉන්දිකා මීට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණාද?
ඇත්තටම මීට වඩා ජයග්‍රහණයක් අපි බලාපොරොත්තු වුණා. තුන්වැනි ස්ථානය හිමිවෙන නම කියද්දි මටයි දුවටයි ඇත්තටම අදහගන්න බැරිවුණා. ඇත්තටම අපි ගොඩක් කැපවීමෙන් නර්තනය පුහුණුවීම් කළා. ඇඳුම් නිර්මාණය කරගත්තා. ඉතින් දන්න හඳුනන හැමෝම අපේ ජයග්‍රහණය බලාපොරොත්තු වුණා. කොහොමවුණත් තුන්වැනි ස්ථානය අපිට ලැබුණා. කොහොමවුණත් මාස ගණනක් තිස්සේ මහන්සි වෙලා ලබපු මේ ජයග්‍රහණය ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. 

 

► Text - Jayamali  /   Pic -Internet