ඔබේ ළමා කාලය හා ඒ ගෙවුණු වටපිටාවත් එක්ක අපි මුලින්ම කතාබහ පටන් ගනිමු..?
මගේ ගම පාමංකඩ. ඒක මගේ පියාගේ ගම. මගේ අම්මා මාතර වැසියෙක්. 1960 ගණන්වලදී අපි පාමංකඩින් මහරගමට පදිංචියට ආවා. මම මුලින්ම ඉගෙන ගත්තෙ බොරලැස්ගමුව ආනන්ද විද්‍යාලයේ. ඒ පාසලේ මූලික අධ්‍යාපනය ලබපු මම පසුකාලීනව මහරගම බුවනෙකබා විද්‍යාලයට ඇතුළත්වෙලා ඒ පාසලේ අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල එන කාලසීමාව තුළදී ඒ කාලේ හේවුඩ් එක ලෙස හඳුන්වන වර්තමානයේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ විභාගයක් පැවැත්වෙනවා කියලා මගේ බාප්පා කිව්වා. මගේ බාප්පත් සංගීත ගුරුවරයෙක්. ඒ වෙලාවෙම මම අයදුම්පතක් පුරවලා බාප්පට දුන්නා.
සංගීතයට ඇල්මක් දැක්වූවාට ඔබේ ළමා කාලයේදී හීනය වුණේ දුම්රිය රියැදුරෙක් වීම.. එහෙම නේද..?
ඔව්.. ඒක ඇත්ත. මගේ මාමා කෙනෙක් දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරෙක් විදිහට සේවය කළා. ඒ කාලේ මම ගොඩක්ම පොඩියි. හැබැයි මට තාම මතකයි ඒ කාලේ ඒ මාමා අපේ ගෙදර ආවම මාව ළං කරගෙන කෝච්චියේ ගිය ගමන් ගැන කතා කියනවා. ඒ කාලේ පුංචි කෝච්චිය රේල් පාරේ යද්දී මම හරි ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටපු කාලයක් තිබුණා. ඒ තරම්ම කෝච්චි පෙට්ටි ගොඩක් එකපාර ඇදගෙන යන මාමා ඒ කාලේ මට වීරයෙක් වුණා. ඒ නිසාම පුංචි කාලෙදී කවදාහරි දවසක මම කෝච්චියක් පදවනවා කියන හීනයක් මට තිබුණා. හැබැයි ටිකෙන් ටික ලොකු වෙද්දී ඒ හීනය නොදැනීම මගේ හිතින් ඈත්වෙලා ගියා.
ඔබේ ගෙදර වටපිටාවත් සංගීතයට බොහෝ නැඹුරු වුණු තැනක්. පියා සංගීතවේදියෙක්. ඔහුගේ ගුරුහරුකම් ඔබට මුල් කාලෙදී ලැබුණේ නැද්ද..?
මගේ තාත්තා සංගීතඥයෙක්. ඒ නිසාම ගෙදර සංගීත වටපිටාව හොඳටම තිබුණා. මගේ තාත්තගේ ගුරුතුමා වුණේ රූපසිංහ මාස්ටර්. තාත්තා තමයි එතුමාගේ පළවෙනි ගෝලයා. තාත්තා නිතරම ඒ ගුරුතුමාව මුණගැහුණා. එතුමා කොළඹට ආපු හැම දවසකම වගේ අපේ ගෙදරත් ආවා. අද වගේ නෙමෙයි ඒ කාලේ වැඩසටහනක් තිබ්බොත් දවස් ගණන් එකතුවෙලා ශිල්පීන් ඒ වෙනුවෙන් හොඳට මහන්සි වුණා. පුංචි කාලේ තාත්තා සහ මාස්ටර් සංගීතය පිළිබඳ කතා කරන දේවල් මම හොරෙන් අහගෙන හිටියා. හැබැයි මගේ තාත්තා කවදාවත් මට සංගීතය උගන්වන්න උත්සාහ කෙරුවෙ නැහැ. අපේ ගෙදර තබ්ලා, වයලීන්, සර්පිනා ඇතුළු හොඳම වර්ගයේ සංගීත භාණ්ඩ කිහිපයක්ම තිබුණා. ඒ කිසිම සංගීත භාණ්ඩයක් මට තාත්තා අල්ලන්නවත් දුන්නෙ නැහැ. හැබැයි මගේ අම්මා මම සංගීතය ඉගෙන ගන්නවට හරි ආසා වුණා. අද මම සංගීතය පැත්තෙන් යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවානම් ඒ මඟට මාව යොමුකළ මුල්ම කෙනා වෙන්නෙ මගේ අම්මයි. මට තාම මතකයි ඒ කාලේ තාත්තා කොහේ හරි ගියොත් අම්මා තාත්තට හොරෙන් මාව සර්පිනාව ළඟට එක්කගෙන ගිහින් පුටුවට කොට්ටයක් දාලා මාව කොට්ටය උඩින් වාඩි කරවලා අර සර්පිනාව මට වාදනය කරන්න ඉඩ ලබා දෙනවා.
පාසලේදීත් ඔබ සංගීතය හැදෑරුවද..?
ඔව්.. මම බුවනෙකබා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදී පාසලේ සංගීත ගුරුවරයෙක් හිටියෙ නැහැ. හැබැයි මම සාමාන්‍ය පෙළ ඉගෙන ගනිද්දී විෂයක් විදිහට සංගීත විෂය කළා. එවකට විදුහල්පති ලෙසින් කටයුතු කරපු ඩයස් සර් මාව කාර්යාලයට ගෙන්වලා සර් කෙනෙක්වත් නැතුව ඔයා සංගීතය කරන්නෙ කොහොමද? ඒක කරන්න දෙන්න බැහැ. ඔයාට පුළුවන්ද කරන්න කියලා කිව්වා. මම ඒ වෙලාවේ මට මේක කරන්න පුළුවන්. අපේ බාප්පගේ සංගීත පන්තියේ මම ඉගෙන ගන්නවා. ඒ නිසා මම කරන්නම් කියලා කිව්වා. ඒ වෙලාවේදී මට පාසලේ විදුහල්පතිතුමා සංගීතය කරන්න අවසර ලබා දුන්නා.
හේවුඩ් කලායතනයට ඉල්ලුම් කරපු ඔබට එයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණද..?
ඔව්.. මගේ තාත්තගේ හොඳම මිතුරෙක් වුණු ලයනල් එදිරිසිංහ මහතාත් සම්මුඛ පරීක්ෂණය දා හිටියා. එයා තාත්තගේ සින්දුවක් කියන්න කියලා කිව්වා. ඒ කාලේ බොදු ගී බොහොමයක් තිබුණා. අද කාලේ වගේ වල්පල් ඒ කාලේ කිව්වෙ නැහැ. මොහිදින් බෙග් වැනි විජාතිකයන් පවා ඒ කාලේ ගායනා කළේ බොදු ගීතයි. මම පුංචි කාලෙදීම හින්දි ගීතවලට හරියට ආස කළා. ඒ ගීත ඇහෙද්දීත් මේවා ඉගෙන ගන්න මට ඕන වුණා. ගායකයෙක් වෙනවාට වඩා සංගීතය ඉගෙන ගැනීමේ පිපාසයක් මට තිබුණා. ඇත්තටම කිසිමදාක ගායකයෙක් වෙන හීනයක් මගේ ජීවිතේ කොතැනකවත් තිබුණෙ නැහැ. පසු කාලෙදී සංගීතයේ මට නොතේරෙන තැන් මම ගෙදර ඇවිත් තාත්තගෙන් අහගත්තා. ඊටපස්සෙ ටිකෙන් ටික තාත්තා මට ඒවා කියලා දුන්නා. මම අවුරුදු හයක පාඨමාලාවක් ඒ කාලායතනයේ හැදෑඑඅවා.
පාඨමාලාව දිගු කාලයක් හදාරද්දී අතරමඟ නතර කරන්න හිතුණෙ නැද්ද..?
නැහැ.. මම ඒ දේ හරිම ආසාවෙන් කරපු නිසා ඒ කාලය මට එච්චර දැනුණෙ නැහැ. හැබැයි පාඨමාලාව හදාරපු බොහෝ දෙනා අතරමඟ නතර කරලා ගිය අවස්ථා තිබුණා.
ඒ කාලය අතරතුරදී අමරදේව මාස්ටර් පවා ඔබට ඉගැන්වුවා..?
ඔව්.. අමරදේව මාස්ටර් බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට අපිට ඉගැන්වුවා. එතුමා කියලා දෙන සෑම පාඩමක්ම අපිට හරියට වටිනවා. එතුමා ගායනා කරලා පෙන්වන ටික අපිට මහමෙරක් තරම් වටිනවා. හේමවංශ හපුවලාන, අමරා රණතුංග, ශාන්ත ගීතදේව වැනි අයගෙන් මම ගායනය හැදෑරුවා. ගුරුවරුන් බොහෝ දෙනකුගෙන් සංගීතය හැදෑරැවා. ඒ නිසා අපේ දැනුම වැඩිදියුණු වුණා.
වසර හය අවසානයේම ඔබට රැකියාවක් ලැබුණා..?
ඔව්.. වසර හය අවසන් වුණාම අපිට හේවුඩ් කලායතනයට එන්න යන්න අවසර ලබා දුන්නා. ඉතින් අපි කලායතනයට ගිහින් අපි දන්න කියන දේවල් ළමයින්ට කියලා දුන්නා. ඔය ඉන්න අතරේ අන්න ගුවන්විදුලියට කට්ටිය අරගන්නවා. උඹලට රැකියාවල් ගන්න පුළුවන්. ගිහින් පොඩ්ඩක් බලපන් කියලා අපිට ගුරුවරු කියද්දී මමත් මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් ගුවන්විදුලියට ගිහින් නෙවිල් ජයවීර සර්ව මුණගැහුණා. ඔය ගමනට මාත් එක්ක විජේරත්න වරකාගොඩත් ගියා. අපිට කොන්ත්‍රාත් පදනමට සහාය වාදක තනතුරක් ලැබුණා. ඒ කාලේ අමරදේව මාස්ටර්ගේ වැඩසටහන් බොහොමයක් තිබුණා. එවැනි වැඩසටහන් සුමානයකට තුනක් කළා. ඒ නිසාම ලැබෙන පඩියට අමතරව අපිට මාසයකට රුපියල් හතළිස් පහක් ලැබුණා. ඇත්තටම ඒ කාලේ රුපියල් හතළිස් පහක් මාසයකට ලැබෙනවා කියන්නෙ ඒක ලොකු මුදලක්. ඊට වසර ගණනාවකට පසුව මම ගුවන්විදුලියේ ස්ථිර වාදකයෙකු ලෙස පත්වීම ලැබුවා. මම සංගීත අංශයේ වාදක මණ්ඩලයේ නායකයා වුණා. ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසින් අවසානයේ සේවය කළා.
වාදකයෙක් වුණු ගායකයෙක් වෙන්න හීන නොදැකපු ඔබ ගායකයෙක් වුණෙත් හරිම අහම්බෙන් නේද..?
ඔව්.. ගුවන්විදුලියේ හිටියත් ගායනය කරන්න මට කිසිම වුවමනාවක් ඇතිවුණේ නැහැ. හැබැයි මම හැමදෙයක්ම ඉගෙන ගත්තා. බටහිර සංගීතය ඉගෙන ගත්තා. කේමදාස මාස්ටර්ගේ ගීත බොහොමයකටම මම සංගීතය සැපයුවා. ඔය අතරේ දවසක් මාස්ටර් මේ ගීතය ඔයා කියන්නම ඕනෙ කියලා මට ළඳුනේ ගීතය දුන්නා. ඇත්තටම ඒක කවුරැත් නැති නිසා මට දුන්නා කියලා තමයි මට හිතුණෙ. මුලදී මම කැමති වුණේම නැහැ. නෑ.. නෑ මේක අද කරන්නම ඕනෙ කියලා කිව්වා. ඒ ගීතයෙන් පස්සෙ මාව බොහෝ දෙනෙක්ට ඕන වුණා. මම මුලින්ම ගායනා කළේ ළඳුනේ ගීතයයි.
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලක ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරන ළඳුනේ
ළඳුනේ ගීතයෙන් පසුව ඔබට චිත්‍රපට ගීත පවා ගායනා කරන්න අවස්ථාව ලැබුණා.. වාදකයාට වඩා ගායකයා ඉස්මතු වුණා කියලා හැඟෙන්නෙ නැද්ද..?
ඇත්තටම හිතෙනවා. මම මුලින්ම චිත්‍රපටයකට ගායනයක් කළේ සිරිමැඳුර චිත්‍රපටයේ මරණ තුනක් මැද මිනිසෙක් බලා සිටිනවා කියන ගීතයයි. එතනින් පසුව බොහෝ චිත්‍රපටවල තේමා ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ටෙලිනාට්‍යවල තේමා ගීත ගායනා කරන්න ලැබුණා. ආයාසයකින් තොරව ඒ අවස්ථා මට ලැබුණා. මම ඒ ගමන ආවා.
මේ සංගීත ගමනේදී මුණගැහුණු අපූරු චරිතයක් ඔබේ ජීවිත ගමනටත් එකතු වුණා..?
ඔව්.. ඒ මගේ දයාබර බිරිය. මම හේවුඩ් එකේ අධ්‍යාපනය අවසන් කරලත් නිතර හේවුඩ් ගිය ගමනේදී තමයි ඇයව මුලින්ම මුණගැහුණෙ. නන්දා ඒ වසරේදී හේවුඩ් එකට අලුතින් ආපු ශිෂ්‍යාවක්. අලුතින් ආපු ගැහැනු ළමයි කට්ටිය පේලියට යන දිහා තරුණ අපිත් බලාගෙන හිටියා. පසු කාලෙදී අපි ප්‍රේම කරලා විවාහ වුණා.
අපි ඔබේ දරුවන් ගැනත් කතා කරමු..?
මගේ ලොකු පුතා පදිංචිවෙලා ඉන්නෙ ඉතාලියේ. එයත් වයලීන් සහ ගිටාර් වාදනයට දක්ෂයි. මීට පෙර මගේ ඉදිරියේ පුතා කවදාවත් ගායනා කරලා නැහැ. මටත් දරුවන්ට ඒ දේවල් හුරු කරන්න ඕන වුණේ නැහැ. දවසක් පුතා විවාහ වුණු දුව ඉතාලියේදී පුතා ගීත ගායනා කරන වීඩියෝවක් මට එවලා මෙයාට ගයන්න පුළුවන්ද කියලා තාත්තා බලන්න කියලා කිව්වා. ඇත්තටම පුතාට හොඳ කටහඬක් තිබුණා. ඒ කටහඬ මම ඇහුවෙත් වීඩියෝවෙන්. ඒ නිසාම පුතාට සංගීතය තව ඉගෙන ගන්න කියන්න කියලා දුවට කිව්වා. මේ පාර පුතා ලංකාවට ආපු වෙලාවක මම පුතාගේ ගීත කිහිපයක්ම පටිගත කළා. ඇත්තටම එයාට හොඳ කටහඬක් තියෙනවා. මගේ ලොකු දුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා උපාධිය ලබාගෙන වර්තමානයේ දේවි බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. දෙවෙනි දුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නැටුම් විෂය හැදෑරුවා. දැන් දුව ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. තුන්වෙනි දුව ලංකා බැංකුවේ කළමනාකාරියක ලෙස සේවය කරනවා. බාල දියයණිය තවම රැකියාවක් කරන්නෙ නැහැ. ඇත්තටම දරුවන් ගැන තියෙන්නෙ ලොකු සතුටක්. ඒ හැමෝටම සංගීතයට හැකියාව තියෙනවා.
මිනිසා.. මරණ තුනක් ඇති
මිනිසා.. බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන් අසංවාදී සුසුම් වේගේ
රිද්මයෙන් වයන්න වීණා
► Text - Dishani / Pic –Dayan Witharana & FB