මම දැන් සීයා කෙනෙක්. රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේ ආඩම්බරයෙන් එහෙම කිව්වේ ඇත්තටම රටේ මහ පුටුවේ කලක් වැජඹුණ අභිමානවත් මිනිසෙක්. ලංකාව කියන පුංචි රටේ අවුරුදු 30ක් දෙකොණ ඇවිලවපු යුද්ධයේ ගිනි දැල් හමාර කරපු සේනාධි නායකයා තමයි පහුගිය බදාදා පාන්දර තමන්ට හිතවත්, ළෙංගතු හැම කෙනෙක්ටම කතා කර කර හරිම ආදරණීය හැඟීමකින් මම දැන් සීයා කෙනෙක් කියලා කිව්වේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සීයා කෙනෙක් කරපු පුංචි සිඟිත්තට තාම නමක් නැති වුණාට මීට අවුරුද්දකට විතර ඉස්සර අතිනත ගත්ත රෝහිත රාජපක්ෂ - ටට්යානා යුවලට ලැබුණු පුංචි දරුවා තමා දැයක දරුවන්ට අනාගතයක් දුන්නු අප්පච්චි කෙනකුට සීයා කියන උතුම් පදවිය පිරිනැමුවේ.
පුංචි දරුවා ඉපදුණේ බදාදා අලුයම 3.00ට විතර. රාජපක්ෂ පවුලට අලුත් පරම්පරාවක පළමු නියෝජනය එකතු වන මොහොතේ ඒ හැමෝම රෝහිත සහ ටට්යානා සමඟ ඉන්න ඕන කියලා එයාලා කලින්ම හිතලා තිබුණා. ඒ නිසාම කොළඹ නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලය ටට්යානාට දරුවා ලැබෙන වෙලාව ළං වෙද්දි ඒ බව රාජපක්ෂ පවුලට දැනුම් දුන්නා. සීයලා, ආච්චිලා, මහප්පලා වෙන්න පෙරුම්පුරාගෙන හිටපු කට්ටිය හැකි ඉක්මනින් නවලෝක රෝහලට ආවේ අලුත් පරම්පරාවේ පළමුවැනියාගේ මූණ දකින ආසාවෙන්.
හරිම උණුසුම් හැඟීමකින් ඒ හැමෝම පුංචි සිඟිත්තව පිළිගත්තා. නාමල්, යෝෂිත සහ රෝහිත ඉපදුණෙත් කොළඹ නවලෝක රෝහලේ. විශේෂත්වය ඒ විතරක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ පවුලේ වැඩිමලා වෙච්ච චමල් රාජපක්ෂගේ උපන්දිනය යෙදුණෙත් ඉකුත් බදාදා එනම් ඔක්තෝබර් 30 වැනිදා. කොහොමද රෝහිත තමන්ගේ මහප්පට දුන්නු උපන්දින තෑග්ග.
තමන්ගේ සීයා වෙච්ච මහින්ද රාජපක්ෂ ගැන වගේම චමල්, ගෝඨාභය වැනි තමන්ගේ සීයාගේ පරම්පරාවේ අභිමානවත් නෑදෑයන් ගැනත් ඇඟිල්ල කටේ ගහගෙන අම්මගේ ළය මඬල උණුහුමේ තුරුලු වෙන පුංචි පුතා නම් තාම කිසිදෙයක් දන්නෙ නෑ.
රාජපක්ෂ පවුලේ සතුට දෝරෙ ගලන මේ මොහොතේ ඒ සතුටට දේශය හදසර අපෙත් ආදරණීය සුබපැතුම්..!!!
► Text - Sanju / Pic -FB