2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජීවිතය වගේම හඬත් කෙටි කාලීන දෙයක්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 140

රිදුණු හදවත්, බිඳුණු හදවත් සුවපත් කරන්නට ඇගේ  ‍ළෙන්ගතු හඬට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. විරහා වේදනාවෙන් කැකෑරෙන දැවෙන හදවත් කොයිතරම් නම් ඒ ගී හඬින් සැනසිල්ලක්, සිසිලසක් ලබන්නට ඇත්ද?
වචනයෙන් වචනයක් පාසා ඇගේ ගී හඬ තුළින් ගලා එන්නේ දිව ඔසුවක් දැයි සිතෙන වාර අනන්තය. විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. පසුගිය කාලය තුළ ඇය තවත් නැවුම් ගීත කීපයකටම ඇගේ හඬ මුසු කර ඇත.
අපි දීපිකා මුණගැසුණේ ඒ අලුත් ගීත ගැන අපූරු කතාබහක යෙදෙන්නටය. 

ඇගේ සුමියුරු ගීත වගේම ඈ කියනා මේ කතාවත් වචනෙන් වචනය රස විඳින්නට අපි ඔබට ආරාධනා කරමු.

රාත්‍රිය කිසිදා හමු නොවන බව
දහවලත් නොකියම ඉඳී
සයුර වෙරලට හිමි නොවන බව
දැන දැනම වෙරළත් හිඳී
නුඹත් මා හට හිමි නොවන බව 
දැන දැනත් නොකියා හිඳී*

නෙලුකා එස්. ප්‍රනාන්දු විසින් රචිත මේ ගීතය දීපිකා පසුගිය දිනවල ගායනා කළ අලුත් ගීත ගොන්නට එකතු වූ තවත් ආදරණීය නිර්මාණයකි. මෙහි සංගීත නිර්මාණය කළිඳු වීරසිංහගෙනි.
පසුගිය කාලේ මගේ මව අසනීප වෙලා හිටිය නිසා පටිගත කිරීම් මඟහැරැණා. ඒත් අලුත් ගීත 30ක් විතර නිර්මාණය කරලා තිබුණා. අලුත් පරපුරේ හොඳ රසිකත්වයක් තියෙන පරිසරයක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි අලුත් නිර්මාණ කළ යුතුයි. 
නෙලූ ප්‍රනාන්දු ලියූ කළිඳු වීරසිංහ සංගීතවත් කළ නොකියම ඉඳී වගේම තවත් බොහෝ අලුත් ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ මැණිකේ වීරසේකර පද රචනා කළ මට තනියම ගීතවත් තනත් අපූරු නිර්මාණයක්.

මට තනියම පිය නගින්න
බෑනේ දිවි මග
හිත ඇති හිතකට වඩින්න
දෙනු මැන අවසර...

මේ වගේ අපේ අලුත් නිර්මාණ අද ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරගන්න තියෙන ඉඩකඩ සීමා වෙලා තියෙනවා. ඉස්සර එවැනි මාධ්‍ය හා කලාකරුවන් අතර තිබුණා සුහද ගනුදෙනුවක්. මේ වනවිට ඒ පාලම බිඳිලා කියලයි මට හිතෙන්නේ. දැන් මම මේ අලුත් ගීත මුදාහරින්නේ සමාජ ජාලා අඩවිවල හා අන්තර්ජාලයේ. ඒවට තිබෙන උනන්දුව හා ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. මගේ අලුත්ම මට තනියම ගීතයේ cover නිර්මාණයක් තරුණ දරුවෙක් මේ තරම් ඉක්මනට කරලා තිබුණා. මට පුදුම හිතුණා. මම ඒ ළමයට කතා කළා. ඒ ගැන ඇත්තටම සතුටුයි. අපේ රසිකත්වය පලුදු වෙලා නැහැ. ඉතින් ඒ අය වෙනුවෙන් අපට නිර්මාණ නොකර ඉන්න බැහැ.

මම ප්‍රතිපත්තියක් හැටියට රියැලිටි වැඩසටහන්වලට යන්නෙ නැහැ. ඒ නිසාම මට ඇතැම් මාධ්‍යයන් එක්ක තියෙන සම්බන්ධතා අඩු වෙනවා. අපි වගේ නිර්මාණකරුවන් එක්ක අපේ නිර්මාණ ගැන සාකච්ඡා කරන වැඩසටහනුත් හරි අඩුයි. ඉතින් අපට ලොකු හිස්තැනක් තියෙනවා. අපට අපේ රසික රසිකාවියන් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ මේ වගේ පරිසරයක ඉඳගෙන. මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි, සමහර අයට හිතෙනවා ඇති අපි නිහඬව ඉන්නවා කියලා. මේක නිහඬතාවයක් නෙවෙයි. අපි නිර්මාණවල යෙදෙනවා. ඒත් එවැනි නිර්මාණ සමාජගත වීමේදී එදා තිබුණු පාලම අද බිඳිලා ගිහින්. ඉතින් අන්තර්ජාලය හා සමාජජාලය තුළ සැරිසරන අයට තමයි අපේ අලුත් නිර්මාණ ගැන දැනගන්න, ඒවා රසවිඳින්න හැකියාව තියෙන්නේ.

මොහිදින් බෙග් මාස්ටර් කියන්නෙ මම ගොඩක් ආදරය කරපු කෙනෙක්. මම එයාව හම්බවෙලා නැතිවුණාට, බෙග් මාස්ටර් නැති දන්සැලක්, වෙසක් එකක් නැහැ. බෞද්ධයෝ හැටියට අපිට ඔහු ගැන තියෙන්නේ විශාල ගෞරවයක්. මීට අවුරුදු ගණනකට කලින් මම බෙග් මාස්ටර්ගේ පුතා ඉෂාක්ට කියලා තිබුණා ඔයා එක්ක කවදහරි දවසක බුදු දහම ගැන වැදගත් නිර්මාණයක් කරන්න ඕන කියලා. ඒ අවස්ථාව පෑදුණේ මේ අවුරැද්දේ. අපි දෙන්නා වටිනා ගීතයක් නිර්මාණය කළා. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළා. රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ඒ ගීතය ලිව්වේ. මේ ලෝකෙ හරිම භයංකාරයි. මේකෙන් මිදෙන්න උත්සාහ ගන්න කියලා තමයි මේ ගීතය තුළින් ලබාදෙන පණිවිඩය.
දීපිකා මට පොරොන්දුවක් දුන්නා අවුරැදු දහයකට විතර කළින්. ඒ පොරොන්දුව අද ඇය විශිෂ්ඨ ලෙස ඉෂ්ඨ කරලා තියෙනවා කියලයි ඉෂාක් අපිට කිව්වේ.

ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරන්න කලාවෙන් අපට කොයිතරම් දේවල් කරගන්න පුළුවන්ද?
බුදු හිමි මතකය අමතක වී යන

කාලය එළැඹී ඇතැයි සිතේ
සමාජ සත්වයකු හැටියට අපි ජීවත් වෙනකොට අපිට ප්‍රශ්න ගොඩකත් මූණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම කලාව පැත්තෙන් ගත්තත් අපට තෘප්තියක් නෑ. දශක ගාණක් ඉඳලම තියෙන අපේ ඇතැම් ප්‍රශ්නවලට තවමත් විසඳුම් හොයලා නැහැ. කලාකරුවන්ට තාමත් අපේ රටේ නිසි වටිනාකමක් ලබාදීලා නැහැ.

සමහර කලාකරැවෝ දේශපාලන පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා වැඩ කළත් කලාකරුවෝ ගැන අවංකව හිතලා තියෙන දේශපාලනඥයෝ මේ රටේ ඉන්නවද?
අපේ කටහඬ කියන්නේ තාවකාලික දෙයක්. අපේ ශාරීරික ශක්තිය එක්ක තමයි අපට මේක ලැබිලා තියෙන්නේ. අපේ ජීවිතය වගේම මේ හඬත් කෙටි කාලීන දෙයක්. අපේ නිර්මාණ මතු පරපුරට රසවිඳින්න ඒවා සංරක්ෂණය කරන්න වැඩපිළිවෙළක් තියෙනවද? අපේ රටේ නිර්මාණ ගැන අධ්‍යයනය කරන්න ඒවායේ ඉතිහාසය තැන්පත් වෙලා තියෙන්නේ කොහෙද? මේවට විසඳුම් දෙන්නේ කවුද?
පුළුවන් තරම් අාධ්‍යාත්මිකව මිනිස්සු පෝෂණය කරන්න පුළුවන් නිර්මාණ කිරීම තමයි දැන් මගේ අභිප්‍රාය.

විශිෂ්ඨ ගේය පද රචකයකු වන මහින්ද චන්ද්‍රසේකරයන්ට ඇවිටිලි කරලා සම්බුද්ධ පරිනිර්වාණය ගැන මම ගීතයක් රචනා කරගෙන එය පටිගත කළා. මෙතෙක් බුද්ධ පරිනිර්වාණය ගැන ගීතයක් ලියැවිලි තිබුණෙ නැහැ. මුළු ජීවන චාරිකාවම මිනිස්සු වෙනුවෙන් කැප කරපු බුදු හාමුදුරුවන්ගේ අවසාන මොහොත ගැන ගීතයක් ලියැවී නැති වීම ගැන මම හිටියෙ පසුතැවිල්ලකින්.

මේ ගීතයට රූප රචනාවක් කරනවනම් ඒකට විශාල පිරිවැයක් දරන්නට වෙනවා. ඒක මට දරාගන්නත් බැහැ. මෙවැනි සද්කාරයකට ඉදිරිපත් වෙන කවුරු හරි කෙනෙක් ඉඳියි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මම ඉතාම ආදරයෙන් ඉල්ලන්නේ මේ සඳහා කවුරුහරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් මාත් එක්ක කතා කරන්න. මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ ගීතය එළි දැක්වීම මගේ හීනයක්.

දිනේෂ් සුභසිංහ සංගීතවත් කළ තවත් සින්දුවක් මම මෑතකදී හදිසියේ පටිගත කළා. ඒ ගීතය රචනා කළේ පූජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවෝ. මේ ගීතය අම්මා ගැන, මහ පොළව ගැන නිර්මාණය වුණු අර්ථවත් ගීතයක්. අදැනට අසනීප තත්ත්වයෙන් පසුවන ප්‍රවීණ රංගනවේදී ජයලත් මනෝරත්නයන් රෝගී වීමට පෙර මට ලියා දුන් අවසාන ගීතයත් මම මෑතකදී පටිගත කළා.

මම නව පරපුරක් එක්ක ගොඩක් වැඩ කරන්නේ මම ගුරැවරියක් හැටියට ලැබූ ආභාෂය නිසා කියලයි මට හිතෙන්නේ. මගේ ගෝලයෙක් වන සචිත් මහානාම එක්ක තවත් ලස්සන ගීතයක් කළා. ඒක ලිව්වේ මගේ ආදරණීය සැමියා චාමික.

 

► Text — Ramesh Uvais /   Pic -Internet