2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

විසේකාර අසහනකාරයන්ගේ පිස්සු කැහිල්ල

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ඔන්න සුදා අද ක්‍රීඩා Y Trend එකක්... ක්‍රීඩා කිව්වාට මේවා ජාත්‍යන්තර මට්ටමේ තරගකාරී ක්‍රීඩානම් නෙවෙයි මචෝ. ආයේ දිනන්න පරදින්න බලාගෙනම කරන ඒවත් නෙවෙයි. මෙව්වා ආතල් පිණිස රටේ ලෝකේ කෙල්ලො කොල්ලො කරන ත්‍රාසජනක ක්‍රීඩා. සීන් එක ලෝකෙ පුරා Young Generation එක ඇතුළේ පට්ටෙට Trend වෙලා තියෙන්නේ. සිරාවට කියනවානම් ලෝක මට්ටමෙන් මේ සීන් කෝන් එක දැන් උමතුවක් වෙලා. අපේ හිච්චෝනම් තාම ඉන්නේ ළදරු වියේ සත්තරං.

මචෝ එදිනෙදා ජීවිතයේ ඒකාකාරී අත්දැකීමක් නිසා හෙම්බත් වෙච්ච Young Gen එක තමා සීන් එකට මුල පුරන්නේ. ඉතිහාසය ගැන බැලුවොත්  පහුගිය දශක හතර පහ ඇතුළේ යුරෝපය කේන්ද්‍ර කරගෙන බිහි වුණා කියලයි කියන්නේ. ඒ වුණාට මේ වගේ පිස්සු කෙළපු කුමාරවරු රජ කාලෙත් ඉඳලා තියෙනවා සුදෝ. සාමාන්‍ය අත්දැකීම්වලින් ඔබ්බට ගිය අත්දැකීම් විඳින්න කැමති මිනිස්සු මේ ක්‍රීඩා නිර්මාණය කරලා තියෙනවා කිව්වොත් හරියටම හරි.

අද මේවා Extreme Sports නැත්නම් Adventurous Sports කියලා හඳුන්වනවා. අපි මුලින්ම කිව්වට ආතල් පිණිස කියලා ඒත් අද ලෝක මට්ටමට යනකොට පැංචෝ මේවා සෑහෙන්න දියුණුයි. නිසි පුහුණුවක් වගේම වෘත්තීය මට්ටමත් දැන් මේ සීන්වලදී සලකා බලන දෙයක්. ඒකට ප්‍රධාන හේතුව තමා ත්‍රාසජනක බව, හදිසි අනතුරුවලට අත වැනීම. ඒ වගේම සැලකිය යුතු ජීවිත ගණනක් මේ ක්‍රීඩා නිසා අහිමිවීම.

අපූර්ව  අනතුරු ඇඟවීම...
ආතල් සෙල්ලම් ලෙල්ලම් වෙන්න හැකියි. මෙවන් දෑ කිරීමේදී නැවත සලකා බලන්න.
බී බීප් බීප්...  බී බීප් බීප්... බී බීප් බීප්..

ඔන්න මචෝ එහෙනම් අපි ක්‍රීඩා කිහිපයක් ගැන බලමු. මුලින්ම ලංකාවේ අපේ උන්ට හුරුපුරුදු එකක්. රළ මත ලිස්සීම (Surfing). දන්නවානී සීන් එක.
මේ සීන් එක ටිකක් පැරැණියි. ලෝකෙ පුරා ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි. යෝධ රළ එක්ක surfing board එකෙන් ඔට්ටුවෙන මේ සෙල්ලම පේනවාට වඩා අවදානම් මචෝ. හොඳ පුහුණුවක් අනිවා ඕනා. පීනගෙන ගිහිල්ලා.. Board එකට නැඟලා... දණ ගහගෙන හරි දිගාවෙලා හරි ගිහිල්ලා... ඒක උඩ හිටගෙන ලොකූ රළ ගෙඩි අතරින් රිංග රිංගා ලිස්සලා යනවා. මේක එන්න එන්නම භයානක මට්ටමකට යන ක්‍රීඩාවක්. ත්‍රාසජනක බව අත්විඳීමේ ආශාව අසීමාන්තිකයි රජෝ... ඔන්න ඒ නිසා කුණාටුවලත් surfing යන අය ලෝකෙ ඉන්නවලු. ඒත් ඒවා අබිරහස් වැඩ... මහා භයානක පිස්සු වැඩ. කොහොම වුණත් ලංකාවේ අය ගොඩක්ම දන්න ත්‍රාසජනක ක්‍රීඩාව මේක කියලා කිව්වොත් හරි. අපේ ආරැගම්බේ මුහුදු තීරය සීන් එකට නම් දරාපු Beach එකක්. ආඩම්බරයි ආ... සීන් එකට ලොව පුරා ප්‍රසිද්ධ බීච් ගොඩක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ gold cost, දකුණු අප්‍රිකාවේ Jeffery’s bay මේ අතරින් ප්‍රධානයි.

ඊළඟට ලෝකේ කවුරුත් දන්න තවත් ජනප්‍රිය සීන් එකක් ගැන බලමු මචෝ. ස්කේටින් (Skating) අර රෝද තියෙන බෝඩ් ලෑල්ලක් උඩ නැඟලා වැඩ කිඩ දාන සීන් එක. අපේ ලංකාවේනම් මේ සීන් එක ජනප්‍රිය නෑ සුදෝ. ඒත් ඔය Films එහෙම බලලා අපේ උන් ඒක ගැන දන්නවා. Surfing සීන් එකෙන්ම තමා Skating බිහිවෙලා තියෙන්නේ. ඒක පට්ට කතාවක්.

1950 දශකයේ දී පටන් ගත්ත මේ ක්‍රීඩාව අමෙරිකාවේ කැලිෆෝනියා වෙරළ තීරයේ surfing තමා ප්‍රසිද්ධම. ඒ වුණාට හැමතිස්සේම මුහුදේ රැලි නෑනී. ඔන්න ඒ වුණාට මේ පළාතේ හිටපු උණකාරයෝ ටික බෝඩ්වලට රෝද හයි කරලා සෙල්ලම් දාන්න පටන් අරන්. පස්සේ සීන් කෝන් එක නැගලා ගිහිල්ලා skateboarding නිර්මාණ වෙලා. කොහොමද ඒක. මේකත් සරලව පෙනුණා වුණාට පට්ට ඩේන්ජර් සීන් එකක්. අද වෙනකොට විදුලි වේගයෙන් පාර පුරා යන මේ උමතුව තියෙන්නෙ ඉතාම භයානක තැනක. නව යොවුන් වයසේ පොඩ්ඩෝ තමා සීන් එකේ සැරට ඉන්නේ. ඔය කට්ටිය ගැන පොඩ්ඩක් හොයලා බලමුකෝ.. පඩිපෙළවල්, බිල්ඩින් වගේ අවදානම් බහුල තැන්වල මේ ක්‍රීඩාව කෙරෙනවා. ලිස්සුවොත් සෙට්ට පෝච්චි තමා.
ඊළඟට පියෑඹීම (Wingsuit flying) කියන ක්‍රීඩාව ගැන බලමු මචෝ. මිනිස්සු පියාඹන්න ආස වුණේ අද ඊයේ ඉඳලා නෙවෙයිනේ... මතකද තාත්තයි පුතයි පියාඹන්න ගිය ග්‍රීක කතාව. ඉතින් මේ පියාඹන පිස්සු නිසා ගොඩක් අය මළා. ඔන්න 1990 දී පැට්‍රික් ද ගෙයාහොන් (Patrick de Gayardon) කියන ඩයල් එක සොයාගත්තා හරියටම පියාඹන්න හරියන ඇඳුම. එතැනින් තමා මේ සීන් කෝන් එක පටන් ගත්තේ. මේ ඇඳුම  birdman කියන නමින් ලොකේ පුරා ජනප්‍රිය වුණා. පස්සේ මේක තව සංවර්ධනය වුණා මචෝ... අද වනකොට Wingsuit flying ක්‍රීඩාවට භාවිත කරන ඇඳුමේ නම wing suit. මෙම ක්‍රීඩාවේ යෙදෙන්නෙ මෙහෙම. කස්ටිය ප්ලේන් එකේ ගිහින් පහළට පනිනවා මේ ඇඳුම ඇඳගෙන. මෙයාලා ඇඳගෙන ඉන්න ඇඳුම නිසා කුරුල්ලෝ වගේම ඒ වායුගෝලයේ පාවෙන්න පුළුවන්. මෙහෙම පාවෙලා පාවෙලා අන්තිමට ඒ ඇඳුමේම තියෙන පැරෂුට් එකකින් ගොඩ බහිනවා. ආසාව වැඩිවෙලා පැරෂුට් එක ඉහළගන්න පරක්කු වුණොත් ජින්ජි බරස් තමා. කොහොම වුණත් මේවටනම් ටිකක් සල්ලි යනවා මචෝ...

පාකර් (Parkour) කියන්නෙත් තවත් මේ වගේම ත්‍රාසජනක ක්‍රීඩාවක්. සුදාලා දැකලා ඇති ඔය බිල්ඩින්වලින් ජනෙල්වලින් පැන පැන වඳුරෝ වගේ දුවන්නේ ගාල කඩාගෙන. පට්ට වැඩ කිඩ කෑලි දාන්නේ. මේකට Free running කියලත් කියනවා. පොඩ්ඩක් මතක් කරලා බලන්න චිත්‍රපටවල මේ සීන් එක ගොඩක් භාවිත වෙනවා. කොහොම වුණත් මේ ක්‍රීඩාවත් 1990 දී ප්‍රංශය පැත්තේ තමා පටන් අරන් තියෙන්නෙ. ලංකාවේනම් සීන් එක දකින්න නෑ. සුදෝ දිවීමට අමතරව අතරමඟදී හමුවන විවිධ වර්ගයේ බාධක පහුකරගෙන යන්නත් ඕනා. ලොකු පිමි පැනීම්, කවුළු අතරින් රිංගීම්, පැද්දීම් පෙරළීම් වගේම පට්ට කරණම් ගැසීම් හරිම වෙලාවට කරන්න ඕනා. චුට්ට මිස් වුණොත් වැලිගම්පිටියේ තමා.

මේ වගේ තව ක්‍රීඩා ගොඩක් තියෙනවා සුදෝ.. හැම එක ගැනම  ලියන්න ගියොත් පොතක් තමයි ලියන්න වෙන්නේ සත්තරං. Cliff diving ඒ කියන්නේ කන්දෙන් මුහුදට පනින සීන් එක, අර ගාලුකොටුවේ සීන් එක. Bungee Jumping ලණුවක් කකුලේ ගැටගහගෙන පනින එක වගේම ලංකාවේ කිතුල්ගල තියෙන රාෆ්ටින් වගේ දේවලුත් අයිති වෙන්නේ මේ සීන් එකට. මේවා නිසා ජීවිත ගොඩක් නැතිවෙලා තියෙනවා සුදෝ. මිනිසුන්ගේ පීඩනය පිටවෙන ක්‍රමයක් තමා මේ. සමහරුන්ට අනුවනම් චකිතය, මානසික ආතතිය පාලනය කරන්න මේ ක්‍රීඩා හේතු වෙනවා. ඕකේ අනික් පැත්තත් වෙන්න පුළුවන් කියලයි අපිටනම් හිතෙන්නේ. කොහොම වුණත් මේක මනුෂ්‍ය ස්වභාවයක් සුදෝ. මේ වැඩ කරන්න මනා ආත්මශක්තියක් වගේම හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියෙන්න ඕනෑ. ඒ වගේම පට්ට පිස්සෙක් වෙන්නත් ඕනෑ. පරිස්සමට ඈ...

 

► Text - Nisal   /  Pic – Internet