මේ කියන්න හදන කතාව සිද්ධ වෙන්නේ වියළි සුළං හමා යන අව් කූටකේ ඉවසන්න බැරි තරම ගතට වදදෙන මොණරාගල. 1984 අවුරුද්දේ මනරම් දවසක මොණරාගල පොල්ගහගම ගමේ එක ගෙදරක මහා යුද්ධයක් වගේ. මොණරාගල නගරයට කිලෝ මීටර් විසිපහක දුරින් තමයි මේ සුන්දර ගම්මානය පිහිටලා තියෙන්නේ. මේ ගම්මානයේ එක නිවසක නිවැසියන් ලහි ලහියේ ඒ ගෙදර ඉන්න ගර්භනී මාතාව ළඟම තියෙන රෝහල වෙත ගෙනයන්න උත්සුක වෙනවා. කොහොමින් කොහොම හරි ඒ මාතාවට රෝස මලක් වගේ කිරි කැටි දියණියක හම්බ වුණා. ඇයව දැක්ක වෙලේ මේ කෙලි පැටියගේ තාත්තාගේ මූණේ ආඩම්බර හිනාවක් හීනියට ඇදී ගියා. ඒත් ගමේ ගොඩේ ඈයෝ මේ සිඟිති දියණිය දැක්ක වෙලේ පටන් පසෙකට වෙලා කසු කුසු ගාන්න පටන් ගත්තා. ඒ ඇගේ වම් අතේ වැලමිටෙන් පහල පේන්න නොතිබුණු හින්දයි. ඒත් ඒක ඒ කිරිකැටි දියණියගේ මෑණියන්ටවත් පියාණන්ටවත් ඒක ගැන එච්චර තැකීමක් තිබුණේ නැහැ. මේ කෙල්ලගේ පවුලේ ඇයට වැඩිමහල් එක් සොයුරියකුත් නංගිලා දෙන්නෙකුත් එක මල්ලි කෙනෙකුත් පවුලට එකතු වුණා.
ඒ ගොල්ලෝ දකිද්දි මේ කියන කෙල්ලගේ හිතට දුකක් ඇති වුණේ අක්කට නංගිලා දෙන්නට සහ මල්ලිට අත් දෙකම තිබුණට මගේ එක අතක් මට නැහැනේ කියන හැඟීමක් එක්ක. මේ කෙල්ල කෙමෙන් කෙමෙන් උස් මහත් වෙලා පාසැල් යන වයසට ආවට පස්සේ ඇය මොණරාගල විද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපනය හදාරලා 2000 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා එයින් සමත් වෙනවා. අපොස සාමාන්‍ය පෙළ සමත් වුණත් ඒ පළාතෙන් රැකියාවක් හොයාගන්න ඇයට ලැබුණේ නැහැ.
අක්කා කොළඹ ඇවිල්ලා රැකියාවේ නිරත වෙලා නිවසේ හැමෝටම තෑගි සහ බඩු මුට්ටු අරගෙන එද්දී ඉන්දුමතී හිටියේ හූල්ල හූල්ලා.
අනේ මටත් රැකියාවක් කරලා ගෙදර අයට තෑගි බෝගයි ගෙදරට බඩුමුට්ටුයි ගේන්න තියෙනවනම්. ඒත් කොහේද මගේ වම් අතේ පහල කොටස නැහැනේ. ඇයට එහෙම හිතුණු වාර අනන්තයි අප‍්‍රමාණයි. ඒ වගේම කඩේට ගියත් බස් එකේ ගියත් කොහේට ගියත් තමන්ගේ අතේ පිහිටීම ගැන මිනිස්සු බල බලා ඒ ගැන කතා කරන එකත් ඇයට වදයක් වුණා. අත නැති වුණාටත් වඩා ඇයට පීඩාවක් වුණේ අතට මොකක්ද වුණේ? කොහොමද වුණේ පුංචි කාලේ ඉඳලම අත නැද්ද ඔය වගේ නානා ප‍්‍රකාර ප‍්‍රශ්නවලට උත්තර දෙන එකයි. ඔන්න දවසක් ඉන්දුමතීගේ තාත්තා ගෙදරට එන්නේ ඉන්දුමතීගේ හිතට පුංචි බලාපොරොත්තුවක් දෙන ආරංචියකුත් අරගෙනයි.
පුතේ ආබාධ තියෙන අයට හෙට මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා. මගේ පුතා ඒකට යන්න ලැහැස්ති වෙන්න. මම ඔයාව එක්කරගෙන යන්නම්
ඉන්දුමතීගේ හිතට ප‍්‍රශ්න ගොඩාක් ආවා. ඒත් ඒ එකක්වත් ඇය තාත්තගෙන් ඇහුවේ නැහැ. පහුවෙනිදා නියමිත වෙලාවට ඇය මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යලයට ගියාමයි ඇය දැක්කේ ආබාධිත මහත්මයෙක් ඇවිල්ලා ආබාධිත අයව දැනුම්වත් කරන හැටි. ඔහු ප්‍රේමදාස සර්.
අපි ආබාධිත අය පුනරුත්ථාපනය කිරීමේ පදනමෙන්. අපේ ආයතනය පවත්වාගෙන යන්නේ කොළඹ.
ඔය විදියට විස්තර කියන්න පටන් ගත්ත ප්‍රේමදාස සර්ගේ කතාව ඇසිපිය නොහෙලා අහගෙන හිටිය ඉන්දුමතීත් ප්‍රේමදාස සර්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන ගාමන්ට් එකේ මහන රස්සාවට කොළඹ එනවා. එක අතකින් මහන්නෙ කොහොමද කියලා ඔබගේ හිතට ප‍්‍රශ්නයක් ආවා නේද? ඔබට අපට ඒක ප‍්‍රශ්නයක් වුණාට ඉන්දුමතීට ඒක ප‍්‍රශ්නයක් වුණේ නැහැ. ඇය මහන රස්සාව කරන ගමන් ක‍්‍රීඩාවටත් යොමු වුණා.
මැහුම් සේවිකාවන් වෙන්න තාත්තා එක්ක කොළඹ ආව ඉන්දුමතී හා හා පුරා කියලා 2002 වසරේදී සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වුණු පැරා ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩා කරන්න ඉදිරිපත් වුණා. ඊටපස්සේ 2006 වසරේදී මැලේසියාවේ පැවැත්වුණු පැරා පැසිෆික් තරගාවලියට ඉදිපත් වෙලා ලෝකඩ පදක්කමකුත් තමන්ගේ නමට වෙන් කරගත්තා. ඇයගේ දක්ෂතා දැක්ක ඇයට ගුරුහරුකම් දෙන අය සහ තේරීම් කමිටු සාමාජිකයන් ඇයව 2010 වසරේදී ආසියානු තරගාවලියට චීනයට යවනවා. ඇයට ඒ තරගයෙන් ජයක් ලබා ගන්න නොහැකි වෙනවා. ආ.. තව දෙයක් ඇය මැහුම් සේවිකාවක් විදිහට වැඩ කළ ආයතනයේ රැකියාවත් ඇයට 2008 වසරේදී අහිමි වෙනවා. ඒ ඇය සේවය කරන ආයතනයට මැහුම් ඇනවුම් එන්නෙ නැති වෙන නිසා. ඊටපස්සේ ඇය 2008 වසරේදී පන්නා තියෙන පෞද්ගලික ආයතනයකට මැහුම් සේවිකාවක් විදිහට එකතු වෙන්න යනවා. එතන ඉන්න හැමෝම ඇය දිහා පුදුමයෙන් බලන්නේ එක අතක් නැති මේ කෙල්ල කොහොමද මැහුම් සේවිකාවක් වෙන්නේ කියලයි. ඒත් ඇය ඒ ආයතනයේ රැකියාවේ නිරත වෙන ගමන් ක‍්‍රීඩා පුහුණු වීම් පවා අඛණ්ඩව කරගෙන ගියා. ඒත් 2013 පෙබරවාරි 13 වැනිදා මෙච්චර කාලයක ජීවිත ගමනේ මග කියා දුන් ඉන්දුමතීගේ ආදරණීය පියාණන්ගේ ජීවිතය පිළිකාවක් විසින් උදුර ගන්නවා. ඇයට ක‍්‍රීඩාවත් එපා වෙනවා. හැමදෙයක්ම එපා වෙනවා. ඒත් ඇයව යහ ආකල්පවලින් පුරවා ක‍්‍රීඩාවට යොමු කරවන්න ඩයන් ගෝමස් සහ ප්‍රේමදාස මහතා කටයුතු කරනවා. ඒ හින්දා අදටත් ඇය ක‍්‍රීඩාව අතහැර නැහැ. 2014 දකුණු කොරියාවේ පැවති ආසියානු පැරා ක‍්‍රීඩා උළේලේදී මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ඇය 2016 වසරේදී බ‍්‍රසීලයේ රියෝ අගනුවර පැවැත්වූ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වෙන් ලෝකයෙන්ම 05 වැනි ස්ථානය සහ මීටර් 200 ඉසව්වේන් ලෝකයේ 06 වැනි ස්ථානයත් දිනාගන්න සමත් වුණා.
2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වුණු ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේදී දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් අමරා ආසියානු ක‍්‍රීඩා උළෙලේදී අපගේ ලක් මෑණියන් රනින් බබළවන්න සමත් වුණා.
මම මගේ රටට බරත් නැහැ ණයත් නැහැ කියලා අමරා ඉන්දුමතී කරුණාතිලක මේ කතාබහ අතරතුර කිව්වේ නිකම් නොවන බව ඇගේ ජීවිත කතාව කියවූ ඔබ පිළිගන්නවා ඇත.
පසු සටහන - මම විවාහ වුණා. මම විවාහ වුණේ බොක්සින් ක‍්‍රීඩාවේ නිරත වුණු කෙනෙක් එක්ක. මම වගේ අතක් ආබාධිත කෙනෙක් විවාහ කරගන්න කෙනෙක් කැමති වෙන්නේ නැහැනේ. ඒත් එයා මාව විවාහ කරගත්තා. යනුවෙන් අපගේ කතාබහ අතරතුර ඇය පැවසුවාය. අතපය හතර මනාව තිබිලත් එය මනාව පාවිච්චි නොකරන බොහෝ අය අපේ රටේ ඉද්දීත් කුඩා අවධියේ පටන්ම අතක් අහිමි ඇය ජීවිතය සාර්ථක කරගෙන ඇති සැටි ඇත්තටම ආදර්ශයක්.
ජීවිතය කියන්නේ කිසිම විටෙක කිසිම මොහොතක අත්හැර දැමිය යුතු දෙයක් නොවේ. දහසක් බාධක මැද ආදරයෙන් දැඩි ලෙස අල්ලා ගත යුතු දෙයක්.. කවුරු ඔබට ආදරය නොකළත් ඔබ ඔබට ආදරය කරන්න. ඔබ ඔබට ගරු කරන්න. ඔබ ඔබේ වටිනාකම් තේරුම්ගන්න ජයග්‍රහණයේ සමාරම්භය එතැනය.
► Text — Chandana Waravitage