2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

දොස්තරගෙ ෂොක් එක

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

සමහර අයට චිත්‍රපටවල විතරක් නෙවෙයි, ක්‍රිකට් මැච් එකක පවා උද්වේගකර අවස්ථා දරා ගන්න බැහැ. අන්තිම ඕවරේ පීඩනය දරාගන්න බැරි අය හාට් ඇටෑක් හැදිලා මැරිලත් තියෙනවනෙ.

ඒ වගේම තමයි දේශපාලන කරලියේ හදිසි වෙනස් වීම් සමහරුන්ට දරාගන්න ශක්තියක් නැහැ.
අපේ කලා ශිල්පියෙක් මේ වගේ සිද්ධියක් ගැන අපූරු කතාවක් පහුගිය දවසක අපට කිව්වා.

ඔන්න මැදිවියේ මනුස්සයෙකුට කෝටි දෙකක ලොතරැයියක් ඇදිලා. මිනිහට හාට් ප්‍රශ්නෙකුත් තියෙන නිසා මේ දිනුම ගැන ආරංචි වෙලා දරාගන්න බැරිවේවිදෝ කියලා හිතුණ නිසා දරුවෝ ටික මෙයාගෙ දොස්තර මහතා ලවා උපක්‍රමශීලීව ඒ පණිවිඩේ කියන එක හොඳයි කියලා හිතලා. දැන් දොස්තර ඇවිත් මෙයාගේ හිත ටික ටික හදාගෙන යනවා.

“මහත්තයාට දැන් ලක්ෂයක විතර ලොතරුයි දිනුමක් ඇඳුණොත් මොනවද කරන්නේ. කිය කියා ටිකෙන් ටික ගාණ වැඩි කරගෙන එයත් එක්ක සුහද කතා බහක යෙදෙනවලු.
“දැන් හිතමුකෝ කෝටියක් ඇදුණා කියලා.

“අයියෝ එහොම ලැබුණොත් මගේ පොඩි බැංකු ලෝන් එක ගෙවලා ඉවර වෙලා, ඉතුරු මුදල ළමයි එක්ක බෙදාහදා ගෙන සන්තෝසෙන් ජීවත් වෙනවා.
“එතකොට රුපියල් කෝටි දෙකක් ඇදුණොත්?
“අපෝ මට එච්චර මුදලක් මොකටද? එහෙම ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඩොක්ටර්ට කෝටියක් දෙනවා..
ඒත් එක්කම ඇසුණු විශාල ශබ්දය නිසා හැමෝම කලබල වුණාලු. බැලින්නම් අර කෝටියේ කතාව දරාගන්න බැරුව දොස්තරට හාට් ඇටෑක් එකක් හැදිලා එයා ඇදගෙන වැටිලලු.

කිසි දෙයක් මතක නැහැ

අපේ සමාජයේ ඉන්නවනේ විවිධාකාර පිස්සො. ක්‍රිකට් පිස්සො, සින්දු පිස්සො, චිත්‍රපට පිස්සො. ඔන්න ඒ වගේ හිටියලු බරපතළ ක්‍රිකට් පිස්සෙක්.
ඒ පිස්සුව කොච්චර තදේට තියෙනවාද කියලා කියනවා නම් හැමදාම ගෙදර නෝනා එක්ක කචල්ලු.

දවසක් එයාගෙ දුවගෙ උපන් දිනේ දවසේ නෝනා මහත්තයා ගෙන් ඇහුවලු ඔයාට අඩුම තරමේ ඔයාගේ දුවගේ උපන් දිනේවත් මතකද? කියලා.
“අයියෝ ඇයි නැත්තේ. මට අද වගේ මතකයි. නවසීලන්තෙට එරෙහිව ජයසූරිය එදානේ ලකුණු 200ක් ගැහුවේ. කියලා ඔහු උත්තර දුන්නලු.

පණ දෙන්න කොල්ලො කොච්චර හිටියද?

කලා කේෂ්ත්‍රයට අලුතින් එන කෙල්ලො කොල්ලො ඉතින් මුල් කාලෙ කොහේ හරි පැටලෙනවනේ ආදරේ නිසා. ඒත් කාලයක් ගියාට පස්සේ තමයි ගැලපීම්, නොගැලපීම්, සත්‍ය, අසත්‍ය සියල්ල ඉස්මතු වෙන්නෙ.
ඔන්න ඔය වගේ කෙල්ලෙක්ගෙන් හොඳ බූට් පාරක් කාපු කොල්ලෙක්, අර කෙල්ලත් එක්ක අවසාන වතාවට එක්තරා අවන්හලක හම්බ වුණාලු. 

“ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් ඔයා මගෙන් ඈත් වෙන්න. හැබැයි කවදාහරි දවසක ඔයාට තේරෙයි මම ඔයාට කොච්චර හදවතින්ම ආදරේ කළාද කියලා. එදාට මතක තියාගන්න ඔයාට පණ වුණත් දෙන්න ලෑස්ති වෙලා මම වගේ කොල්ලෙක් ඔයාට හිටියා කියලා. කොල්ලා කිව්වලු.

“පිස්සුද අනේ මට පණ දෙන්න හිටපු කොල්ලො කොච්චර හිටියද? මට ඒ හැම කෙනෙක්ගෙම නම් මතක තියාගන්න බැහැ.

 

► Text - Mithra