පහුගිය කාලයේ රට අනාරක්ෂිත තත්ත්වයකයි තිබුණෙ. මේ තත්ත්වයෙන් රට මුදවාගෙන සෞභාග්‍යමත් රටක් කරන එකයි මූලික බලාපොරොත්තුව විය යුත්තේ. මේ ලැබුණු විජයග්‍රහණය ඇතුළේ අන්තවාදීන් බලය ලබාගැනීමේ කෑදරකමින් නැවත වතාවක් මේ කරන්න යන සංවර්ධන කටයුතු අඩපණ කරන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා රට සෞභාග්‍යමත් කරන අතරේ එවැනි අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩ නොදී ඉදිරියට යන එකයි රටේ පුරවැසියෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නෙ.
කලාකරුවෙක් විදිහට යමක් කතා කරනවාට වඩා රටේ පුරවැසියෙක් විදිහට කටයුතු කිරීමටයි අපි හැමෝම බලාපොරොත්තු විය යුත්තේ. කලාකරුවෙක් විදිහට ජීවත් වෙන්න රටක් තියෙන්න පෙර පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න අපිට රටක් තියෙන්න ඕනෙ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමස්ත රටට යමක් කරන්න උත්සාහ කිරීම සම්බන්ධව මම සතුටු වෙනවා. එහෙම දෙයක් වුණොත් තමයි කලාකරුවෙක් විදිහට අපිට මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වෙන්නෙ. කොයිම මොහොතකවත් අපි මේ පත්වන රජයෙන් කලාවට යමක් කරන්න කියලා ඉල්ලන එක අසාධාරණයි. කලාකරුවා තමන්ගෙ ගමන හදාගන්න දැනගන්න ඕනෙ. පුරවැසියෙක් විදිහට අපිට රට තුළ ජීවත් වීමට අවශ්‍ය අවකාශයයි අපි එතුමාගෙන් බලාපොරොත්තු වෙන්නෙ. චිත්‍රපට හෝල් එකකට මිනිස්සු යන්නෙ රට තුළ ආරක්ෂාව තිබුණොත් විතරයි. ඒ නිසා අවශ්‍ය හොඳ නිර්මාණ කරන්න ඒ අවකාශය හදලා දෙන්න කියලයි අපි එතුමාගෙන් ඉල්ලා සිටින්නෙ.
මිනිස්සු බලාපොරොත්තු වුණු ප්‍රාර්ථනාවක් තමයි මේ ඉෂ්ඨ වුණේ. අපිට අපේ මිනිසෙක් ලැබුණා. අපි සැමට එක රූනක, එක ගොන්නක, ධජයක් යටතේ එකට ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් ඕන වුණා. අපි කලාකරුවන්. නමුත් කලාව ගැන කතා කරනවාට වඩා අපි මුලින්ම රට ගැන කතා කළ යුතු වෙනවා. පහුගිය දිනවල භයානක ගිවිසුම්වලින් මේ රට දෙකඩ කරන්න ගත්ත උත්සාහයක් අපි දැක්කා. ඒ නිසාම හැමෝම ඈත්වෙයි කියලා මිනිසුන්ට බයක් ඇතිවුණා. හිටපු රජය යම්කිසි විදිහකින් මේ භයානක තත්ත්වයේ හවුල්කාරයෝ වුණා.
ඒක මිනිස්සු තේරුම් ගත්තා. ඒ නිසාමයි ඒ ගිවිසුම්වලට එරෙහි වෙලා මේ රට බේරාගන්න ඕනෙ කියලා මිනිස්සු කල්පනා කරලා මේ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලබා දුන්නෙ. මිනිස්සුන්ට මොනවා නැතිවුණත් රට ඕන වුණා. ඒ සංකල්පය එතුමාටත් තිබුණා. ඒ නිසාමයි එතුමා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තෙ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජාතිය අමතලා කිව්වෙත් බහුතර සිංහල ජනතාවට මට ජනාධිපතිකම දෙන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා කියලා. එතුමා අනිත් අයටත් මේ පුණ්‍යකර්මයට අතගසන්න කියලා ඉල්ලීමකුත් කළා. මේ පින්වත් මල් වට්ටියට අතගසා ඔබත් මෙහි කොටස්කරුවෙකු වෙන්න කියලා එතුමා ඉල්ලීමක් කළා. නමුත් ඒකට අවශ්‍ය පසුබිම සම්පූර්ණයෙන්ම එතුමාට ලැබුණෙ නැහැ. නමුත් එතුමා රටේ පුරවැසියන්ට එකම විදිහට සලකන්න පොරොන්දු වුණා. මේකයි රාජ්‍ය නායකයකු විසින් කරන ලද ඉතා වටිනාම කතාව වෙන්නෙ. එක ධජයක්, එක රටක් යටතේ එක හැඩයකට We are the Sri Lankan කියලා අද අපිට කියන්න පුළුවන්. ඒක හොඳ සුබ පණිවිඩයක්. ඒ පණිවිඩය මල්පල දැරුවොත් අපිට ඊළඟට සියලුම යහපත් දේවල් පිළිවෙලට කරන්න පුළුවන් වේවි.
මේ රටට හොඳ සුබවාදී දෙයක් කළොත් හොඳයි. හොඳ ක්‍රමවේදයක් ඇති කරලා නීතිය සම්පූර්ණයෙන්ම හැමෝටම එක හා සමානව බෙදන රටක් තමයි මමනම් බලාපොරොත්තු වෙන්නෙ. කවුරු පත් වුණත් මේ රටේ නීතිය හැමෝටම එක හා සමානයි, හැමෝටම පොදුයි කියලා තේරැම් ගන්න ඕනෙ.
දඬුවම් කළ යුත්තන්ට දඬුවම් කළ යුතුයි. තමා වටා ඉන්න උදවිය වුණත් වැරුද්දක් කළොත් තරාතිරම නොබලා ඒ අයටත් අන් අයට මෙන් දඬුවම් කළ හැකි ශක්තියක් තියෙන්න ඕනෙ. හැමෝටම නීතිය එක වගේ හදන්න පුළුවන් වාතාවරණයක් රට තුළ හදන්න පුළුවන්නම් ඒක ගොඩක් හොඳයි.
සෑම ජාතියකටම සෑම ආගමකටම හිමිවිය යුතු නිසි තැන ලබා දිය යුතුයි. ජාතිවාදී ආගම්වාදී ආකල්ප දැඩිව ප්‍රතික්ෂේප කරන අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් කටයුතු කරන සමාජ පසුබිමක් ගොඩනැඟීම අනිවාර්යයි. ශ්‍රී ලාංකික පොළෝතලය තුළ ජීවත්වන සියලු ජනතාවට අයිතිවාසිකම් සමානව ලැබිය යුතු වුවත් ශ්‍රී ලංකාව කියන භූමිය කිසි දිනක දමිළ හෝ මුස්ලිම් කලාප වශයෙන් නොබෙදිය යුතුයි. රටක ආර්ථිකය ගොඩනැගීමටනම් දේශීය ආර්ථිකය ගොඩනැගීම මූලිකවම සිදුවිය යුතු දෙයක්.
ආනයනය මත යැපීමේ පරාදීන සංකල්පය වෙනුවට දේශීය කර්මාන්ත නගාසිටුවීමටත් ඒ ඔස්සේ ස්ව ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය පදනම සකස් කළ යුතුයි. ඒ වගේම තවත් සිදුවිය යුතුම දෙයක් වන්නේ අධ්‍යාපනය තුළින් දරුවන්ගේ චින්තනය උසස් තැනකට ගෙන ඒමට අවශ්‍ය අඩිතාලම දැමීමයි. තාක්ෂණය පිළිබඳව සාක්ෂරතාවය වගේම දරුවන් තුළ ඉතිහාසය සාහිත්‍ය වැනි විෂය ධාරාවන් තුළින් තමන්ගේ රට ජාතිය ආගම පිළිබඳව උතුම් හැඟීම් ඇති කිරීමත් සංවේදීතාවයන් මෙන්ම උසස් වින්දන පරාසයන් ඇති කිරීමත් ඉතා වැදගත්. ජාත්‍යන්තරය සමඟ සුහදශීලී පිළිවෙතක් රජය විදේශ ප්‍රතිපත්තියේදී අනුගමනය කළ යුතු වුවත් කිසිදු විටක රටේ ස්වෛරීත්වයට හානිදායක වන අයුරින් විදේශ බලපෑම් හෝ අතපෙවීම්වලට ඉඩ නොදිය යුතුයි. එමෙන්ම හොරකම දූෂණය වංචාව සෑම ක්ෂේත්‍රයකින්ම තුරන් කර දැමිය යුතු අතර රට පිළිබඳව සැබෑ ආදරයක් හා කැක්කුමක් ඇති පිරිසක් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම සඳහා ජනතාව සබුද්ධිමත් කිරීමත් ආණ්ඩුවේ වගේම මාධ්‍යයේත් වගකීමක් විදියට මම දකිනවා. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එසේම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල සිටින ඩොලර්වලට යට වී රට ජාතිය ආගම පාවාදෙන ලෝක බලවතුන්ගේ වුවමනාවන්ට අනුව නටන ජාතිද්‍රෝහීන් හා එම සංවිධාන තුරන් කිරීමටත් අවශ්‍ය පියවර ගත යුතුයි. අදටත් ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ නිසා සියලු අනවශ්‍ය නාස්තිකාර වියදම්වලින් තොරව රටේ අනාගතය වෙනුවෙන් දැක්මක් දර්ශනයක් ඇති නායකයකු ලෙස අප විශ්වාසය තැබූ නව ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා අප දැඩිව විශ්වාස කරනවා.
රටේ පුරවැසියන් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පළමුවෙන්ම බලාපොරොත්තු වන දේ තමයි රාජ්‍ය ආරක්ෂාව. යුද්ධයක් තිබුණු රටක් හැටියටත්, එයින් බොහෝ බැටකාපු ජාතියක් හැටියටත් මේ රටේ අංක එක විය යුත්තේ රාජ්‍ය ආරක්ෂාවයි.
එතුමාගේ දැක්ම හරි අපූරුයි. එතුමා දේශපාලන වේදිකාව තුළ පසුගිය කාලය තුළ දැක්වූ මහත්මා ගතිගුණවලින්ම විනයගරුක බව, සාධාරණ බව, අවංකකම, විශ්වාසනීය බව, කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නායකත්වයක සියලු ගුණාංග නොඅඩුව දැකගන්න පුළුවන් වුණා. එතුමාට නායකත්වය ගන්න බොරු කියන්න අවශ්‍ය වුණේ නැහැ. බොරු පොරොන්දු දෙන්න ඕන වුණේ නැහැ. එතුමා වටා රටේ මිනිසුන් එකතු වුණේ ඒ විශ්වසයත් එක්කයි. දේශපාලනයට සම්බන්ධ නොවුණු කාලයේ සිටම එතුමා කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් රටේ පුරවැසියෙක් බව පෙන්වලා දුන්නා. එතුමා රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇපකැපවෙලා වැඩ කරපු නිලධාරියෙක්. ජනාධිපති කාලය තුළ අවුරුදු පහ අවසන් වන විට නැවත ඔහුට පක්ෂ වේදිකාවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. එතුමාට ජනතාවම නැවත වතාවක් වේදිකාවක් හදලා දෙන බව මට විශ්වාසයි. සියලු මිනිසුන් එතුමා කෙරෙහි ලොකු විශ්වාසයකින් අද ජීවත් වෙන්නෙ. දැන් ඒ ආරම්භය අරගෙන තියෙනවා. අපි එතුමා කෙරෙහි තිබූ විශ්වාසය එතුමා ඉටු කරාවි කියලා අපි දැඩි සේ විශ්වාස කරනවා. එතුමා දිව්රුම් දුන්න රුවන්වැලි මහ සෑයට මම හරි කැමතියි. ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන තැනක්. ඒ හැම දෙයක් ගැනම එතුමා අපූරුවට හිතුවා. ඒ නිසා එතුමා ගැන ලොකු විශ්වාසයක් රටේ මිනිසුන්ට තියෙනවා. ඒ ගමන අපිත් එක්ක යන්න අපි එතුමාට සහාය දැක්විය යුතුයි. මේ රට ගොඩනගන්න අපි එතුමාට උදව් කරමු. එවිට සුරක්ෂිත, කිසි කෙනෙකුට අත නොපාන, සතුටින් ජීවත්වෙන රටක් අපිට ලැබේවි.
මම මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. මම යම්කිසි දෙයක් කරනවානම් ඒ දේ හැංගිලා කරන්න කැමති නැහැ. වැරදි කියන්න තරම් දෙයක් අපි අතීතයේදීවත් කරලා නැහැ. කලාකාරියක් විදිහට හරි පෞද්ගලික ජීවිතයේ හරි මගේ අතින් වැරදි දෙයක් මේ රටට වෙලා නැහැ.
කලාකාරියකට වඩා මම මේ රටේ පුරවැසියෙක්. කලාකාරිය කියන්නෙ මගේ රස්සාව විතරයි. සමහරු කලාකරුවෙක් වුණාම ඇයි මේවට සම්බන්ධ වෙන්නෙ? කියලා මගෙන් ඇහුවා. ඇත්තටම ඒක හරිම අසාධාරණ කතාවක්. කලාකරුවෙක් වෙන්න කලින් අපි හැමෝම මේ රටේ පුරවැසියෝ. හැමෝටම තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. තමන් කැමති පක්ෂයකට සහයෝගය දක්වන්න අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම මම මේ රටේ දේශපාලනය ගැන කතා කළේ අප්‍රේල් විසි එක් වැනිදා සිදුවූ මහා ඛේදවාචකයෙන් පසුවයි. ඊට පෙර මම එහෙම පක්ෂයකට වැඩ කළේ නැහැ. බෝම්බ පිපිරීමෙන් පසුව මේ රටේ මිනිස්සු අසරණ වෙද්දී නැවතත් යුද්ධයකට අත වැනීමක් නේද කියලා හිතුවා. ඒ සම්බන්ධව දැන සිටි පිරිස මුණිවත රකිද්දී, තමන්ගේ ජීවිත පමණක් පරිස්සම් කර ගනිද්දී මෙවැනි පිරිසකට අනාගතය බාර දෙන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා මේ මොහොතේ මේ රට ගලවාගන්න පුළුවන් මිනිසා ඉදිරියේ අපි රටේ පුරවැසියන් විදිහට අත්වැල් බැඳගත්තා. සමහරු සංජීවනී ඡන්දය දාන්න ලංකාවට ආවා කියලා කිව්වා. මම ලංකාවට හේතු කිහිපයක් නිසයි ආවේ. හැබැයි ඡන්දය දාන්නම මේ රටට බොහෝ ලාංකිකයන් ආවා. මම ඒක ගොඩක් අගය කළා. සමහරු ඒ ආපු මිනිසුන්ට හිනා වුණා. ඇත්තටම ඒක හරි කුහක සිතුවිල්ලක්. ඒ වගේ කුහක කලාකරුවනුත් අපි අතරේ ඉන්නවා. සමහරු අපි දේශපාලනඥයන්ට කඩේ යන්නෙ නැහැ කියලා කියනවා. කඩේ බැරිනම් ෂොපින් ගිහින් හරි අපේ රට බේරාගන්න තිබුණානම් කොච්චර හොඳද? සමහරු අපි හම්බ කළොත් අපි කනවා. අපිට මොකටද ඕවා. කියලා කිව්වා. ඒකත් හරිම මෝඩ කතාවක්. හම්බ කරන්න හරි රටක් තියෙන්න ඕනෙ. අපිට නිදහසේ ජීවත් වෙන්න, හම්බ කරන්න, දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනෙ.
සමහර කලාකරුවන් අපිට කලාකරුවන් හැටියට දේශපාලනය කරන්න බැහැ. අනිත් අය ඕවට යන්නෙ අපරාදෙ කියලා කිව්වා. ඒක හරිම ආත්මාර්ථකාමීයි. කලාකරුවන් විදිහට අපි මෙහෙම ජීවත් වෙන්න රටේ මිනිස්සු නිසයි. මේ මහපොළොව නිසයි. මේක කෑලි කඩනකොට අපි අහක බලාගෙන ඉන්නෙ කොහොමද? අපේ අම්මට, තාත්තට කරදරයක් වෙද්දී බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ සෙනෙහස, තමන්ගේ සුවඳ දැනුණු නිසාමයි පිටරට හිටිය ශ්‍රී ලාංකිකයන් අතින් ලොකු මුදලක් වියදම් කරගෙන ඡන්දය දාන්න ලංකාවට ආවෙ. අපි මේ ඡන්දය වෙනුවෙන් කිසි මුදලක් අරගෙන නැහැ. රට විකුණලා අපි බිස්නස් කරන්නෙ නැහැ. අපිට ඕන වුණේ රට බේරාගන්නයි. ඒ නිසා මේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගත්ත පුරවැසියන් දිහා කුහකත්වයෙන් නොබලා හැමෝම සුබවාදී අනාගතයක් වෙනුවෙන් ජනාධිපතිතුමා සමඟ එකතු වන්නැයි මම ඉල්ලීමක් කරනවා.
► Text - Dishani / Pic –Sumudu & channa & Intarnet