රොෂාන්.... ආදරණීය තාත්තා කෙනෙක් වුණා. මුලින්ම හදසර අපේ සුබපැතුම්...!
බොහොම ස්තූතියි. දැන් අපේ පුතාට වයස මාස දෙකයි.
මේ අලුත් පදවිය ලැබීමත් එක්ක ඔය හිතට දැනෙන සතුට වචනවලින් විස්තර කරන්න බැහැ කියලා අපි දන්නවා. ඒත්... ඇත්තටම අද මොකද හිතෙන්නේ...?
ඇත්තටම ඒක කියන්න බැරි සතුටක්. ඒක දැනෙනකම් මේ සතුට මේ තරම් මහ විශාල සතුටක් කියලා මටවත් කුශ්ලානිටවත් තේරුණේ නැහැ. තාත්තා කෙනෙක් වෙන සතුට තාත්තා කෙනෙක් වෙන්න කලින් මේ තරම් මට දැනුණේ නැහැ. දරුවෙක් හම්බවුණාට පස්සේ දැනෙන සතුට දැනෙන්න නම් තාත්තා කෙනෙක් වෙන්නම ඕනේ. ඇත්තටම දැන් මට වගකීමක් තියෙනවා. ඒ වගකීමට මං හරි කැමැතියි.
කුශ්ලානිට දරුවා ලැබෙද්දී රොෂාන් ළඟ හිටියා. අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරද්දී දැනෙන වේදනාවත් එක්ක එන අපූරු සතුට එදා රොෂාන් අත්වින්දා..?
ඔව්... කුශ්ලානිට දරු පැටියෙක් ඉපදෙන්න හිටපු දවසේ ඉඳන් අපි දෙන්නම ඒ අපූරු සතුට වින්දා. මට පුළුවන් හැම මොහොතකම මම කුශ්ලානි ළඟටම වෙලා හිටියා. එදා පුතා ලැබෙන්න හොස්පිට්ල් එකට ගිය මොහොතේ ඉඳන් පුතා ලැබෙනකම්ම මම කුශ්ලානිත් එක්ක තියටර් රූම් එකේ හිටියා. ඒ මොහොතේදීත් හිතට පුංචි තිගැස්මක් නොදැනුණාම නොමේ. මගේ දරුවා වෙනුවෙන් කුශ්ලානි විඳින ඒ වේදනාව මම දැක්කා. අම්මා කෙනෙක් දරැවෙක් බිහිකරන්න වෙන මහන්සිය මම එදා දැක්කා. ඒ හැම වේදනාවක්ම යටපත් කරගෙන පුංචි පුතා මෙලොවට බිහිවෙද්දී ඇහුණ පුතාගේ කෑගැහිල්ලට මගේත් කුශ්ලානිගේත් ඇස්වලට කඳුළු ආවා. කුශ්ලානි ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැනගත්තු දවසේ ඉඳන් දරුව ඉපදෙන දවස දක්වා ඒක අපූරු අත්දැකීම් එකතුවක් වුණා. ඇත්තටම ඒ කාලය හරි ලස්සන ගමනක් වගේ දෙයක්. පුතා කුශ්ලානිත් කුස ඇතුළේ ඉඳගෙන එයාගේ කුසට පයින් ගහද්දී දැනෙන හැඟීමේ ඉඳන් පුංචි පුතා ඉපදුණු ගමන් අඬපු ඇඬිල්ල දක්වාම හරි අපූරු අත්දැකීම් ගොන්නක් වුණා. කිසිම මොහොතෙක මේ කිසිම වේදනාවක් කුශ්ලානි දුකක් කියලා හිතුවේ නැහැ. හැම අම්මා කෙනෙක්ම ඒ වේදනාව විඳදරා ගන්නේ සතුටින් කියලා මම දන්නවා. ඒ හැම දෙයක්ම මායි කුශ්ලානියි හරිම සතුටින් බාරගත්තා. අම්මා කෙනෙක් හිත හයිය කරගෙන ඒ වේදනා හැම දෙයක්ම විඳ දරාගත්තු හැටි මම බලාගෙන හිටියා. හැම අම්මා කෙනෙක්ම මේ අපූරැ ගමන යනවා. ඒ සුන්දර අත්දැකීම මමයි, කුශ්ලානියි වින්දා.
චූටි පුතාව මුලින්ම අතට ලැබුණ මොහොතේ ඇත්තටම මොකද හිතුණේ...?
අනේ... එයා හරිම චූටියි. ඇත්තටම ඒ අතට ලැබුණ මොහොතේ දැනුණ හැඟීම වචනවලට කියන්න මට තේරෙන්නේ නැහැ. ඇත්තටම පුතාව වඩාගත්තු ඒ මොහොතේ මගේ ඇස්වලට කඳුළු ආවා. තමන්ගේම ලේ වලින්, හැදුණු පුංචි පුතෙක් අත උඩ කියලා හිතෙද්දී.... අනේ මන්දා.... (ඇත්තටම ඒ අපූරැ අවස්ථාව මතකයට නංවන විටත් අදටත් රොෂාන් හරි හැඟීම්බර වෙනවා) ඔයාට පුංචි පුතෙක් කියලා ඩොක්ටර්ලා කියලා මට පුතාව අතට දෙද්දි ඒක කියන්න බැරි සතුටක්. මුළු ලෝකයම මට ලැබුණා වගෙයි මට දැනුණේ.
රොෂාන්ගේ නිර්මාණ කටයුතුවලට ඇය ලබාදෙන දායකත්වය කොහොමද?
මේ දිනවල මම දායක වුණ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ Face to Face චිත්‍රපටය තිරගත වෙනවා. මේ දිනවල මට ආරාධනා ලැබුණ නිර්මාණ කිහිපයක්ම මම බාරගත්තේ නැහැ. ඔය අතරේ තවත් බාරගත්තු නිර්මාණ කිහිපයකම වැඩ කරගෙන යනවා. බාරගත්තු දේවල්වලට මම උපරිමයෙන්ම මගේ දායකත්වය ලබලා දෙනවා. ඒ වැඩකටයුතු කිසිම දෙයක් මම පැහැර හරින්නේ නැහැ. හැබැයි මම බොහෝ නිර්මාණ බාරගත්තේ නැත්තෙත් කුශ්ලානිටයි පුතාටයි කාලය ලබලා දෙන්න ඕන නිසා. පුතා නිසා දැන් මට එළියට යන්න පවා ලෝභයි. හැබැයි යන්න ඕනේම දේවල්වලට නොයාත් බැහැනේ. පසුගිය දවසක Face to Face චිත්‍රපටය මුලින්ම තිරගත වුණු දවසේත් මම ඒකට සහභාගී වුණා. අපි විවාහ වුණාට පස්සේ මාත් එක්ක මම රඟපාපු හැම චිත්‍රපටයක්ම බලන්න මුලින්ම කුශ්ලානිත් ගියා. නමුත් මේ වතාවේ තමයි මුල්ම වතාවට කුශ්ලානිට ඒක බලන්න යන්න බැරිවුණේ. උත්සවවලට සහභාගි වනවාට වඩා එයාට පුතාව තනිකරලා පොඩි වෙලාවක්වත් එළියට යන්න පවා එයා අකමැති වුණා. මේ මාස දෙක ඇතුළත කුශ්ලානිවවත් කවුරුත් දැක්කේ නැහැ. එයා ගොදරටම වෙලා පුතා එක්කම හිටියා.
දැන් ඉතින්.... තාත්තා කෙනෙක්. වගකීමක් ජීවිතයට එකතු වුණා නේද?
ඔව්.... ඇත්තටම. ඒක ලොකු වගකීමක් කියලා මම දන්නවා. ඒ වගකීම බාරගන්න මමයි කුශ්ලානියි සූදානම් වුණාට පස්සේ තමයි අපි දරැවෙක් හදන්න සූදානම් කළේ. අපි හිතපු කාලයේදීම අපිට දරුවාත් ලැබුණා. දැන් අපි දෙන්නගේ ජීවිතේ සම්පූර්ණයි.
ඔන්න ඔහොම තමයි රොෂාන්.... පුංචි පුතා ගැන අපිට කිව්වේ. දරුවෙක් ලැබෙන්න ඉඳිද්දී... දරුවා ලැබෙද්දී හිතට දැනෙන හැඟීම තාත්තා කෙනෙකුට වගේම අම්මා කෙනෙක්ට විස්තර කරන්න අමාරුයි තමයි. හැබැයි ඉතින් මේ පුංචි පුතා ඉපදීමෙන් රොෂාන් වගේම තවත් කෙනෙක් හරියට සතුටු වෙනවා. ඒ තමයි රොෂාන්ගේ ආදරණීය බිරිඳ කුශ්ලානි. ඉතින්... මේ ගැන අපි කුශ්ලානිගෙනුත් අහලා බැලුවා.
කුශ්ලානි... අලුත් පුංචි පැටියා එක්ක ගතකරන අලුත් ජීවිතේ කොහොමද?
ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා... අලුත් ජීවිතයක් පටන් ගත්තා වගේ තමයි දැන් තේරෙන්නේ. අපි හුරුවෙලා හිටපු දේවල් ඔක්කොම වෙනස් වෙලා අලුත්ම අලුත් ජීවිතයක් අපි දෙන්නාට ලැබුණා වගෙයි අපිට තේරෙන්නේ. මේක අලුත්ම අත්දැකීමක්. රොෂානුයි මමයි දෙන්නා එකතුවෙලා අලුත්ම ජීවිතයක් පටන් ගත්තා කියලයි මට නම් හිතෙන්නේ.
චූටි පුතාට දැන් වයස මාස දෙකයි... එහෙම නේද?
ඔව්... දැන් අපේ පුතාට වයස මාස දෙකයි.
පුතා ඉපදෙන්න රෝහලට යද්දී රොෂානුත් ළඟ හයියට හිටියනේ නේද...?
ඔව්... පුතා ඉපදෙන්න දින කිහිපයකට කලින් ගෙදරදි මට චුට්ටක් අමාරු වුණා... ඒ නිසා මගේ අම්මයි, රොෂානුයි මාව හොස්පිට්ල් එක්කගෙන ගියා. අනපේක්ෂිත මොහොතක ඒ වේදනාව දැනුණ එකත් සුන්දර අත්දැකීමක් වුණා. ඒ හැම මොහොතකම රොෂාන් මාත් එක්ක හිටියා. කොහොමටත් පුතා ඉපදෙන්න දින ළංවෙද්දී සුමාන දෙක තුනකට කලින් රොෂාන් එයාගේ වැඩකටයුතු හැම දෙයක්ම ඉවරකරලා මාත් එක්කම හිටියා. ලැබුණ ආරාධනා කිහිපයක්ම මේ කාලයේදී රොෂාන් බාරගත්තේ නැහැ. මේ හැම මොහොතකම මගේ ළඟට වෙලා ඉන්න රොෂාන්ට ඕනැ වුණා. ඉතින් මාව සීසර් කරද්දීත් රොෂාන් මගේ ළඟටම වෙලා හිටියා. ඒක මට ලොකු හයියක්. තවමත් මේ මාස දෙක තුළදීත් රොෂාන් වැඩිපුර කාලයක් වෙන් කරන්නේ පුංචි පුතා වෙනුවෙනුයි.
පුතා ඉපදිලා.... මුලින්ම ඒ කටහඬ ඇහෙද්දී අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට දැනෙන හැඟීම වචනවලට පෙරලන්න අමාරුයි... එහෙම නේද?
ඔව්.... ඇත්තටම ඒක එහෙමම තමයි. පුතා ඉපදිලා එයාගේ කටහඬ මුලින්ම ඇහිච්චි මොහොතේ මායි රොෂානුයි දෙන්නම ඇඬුවා. ඊට පස්සේ එතන හිටපු නර්ස්ලා අපි දෙන්නටම හිනාවෙවී ටිෂූ දුන්නා. ඇත්තටම දැනිච්චි සතුට අපි දෙන්නම කඳුළුවලින් පිටකළා. මට දැනිච්චි ඒ සතුට හැම අම්මා කෙනෙකුටම දැනෙන්න ඇති. පුතාව ගන්න සෑහෙන්න වෙලාවක් යයි කියලා හිතුවට පුතා ඉක්මනටම එළියට ගත්තා. හැමදේම ඉතා සුබවාදීව වුණා. ඒ නිසාම ඒ හැමදේම එක්ක පුතාව දකිද්දී හිතට දැනුණේ කියාගන්න තේරෙන්නේ නැති ලොකු සතුටක්. රොෂාන්ගෙයි මගෙයි ජීවිතවල පළවෙනි අත්දැකීම.
මුලින්ම වෛද්‍යවරු පුතාව අතට දුන්නේ රොෂාන්ටද?
ඔව්... ඉස්සෙල්ලාම පුතාව රොෂාන්ට දුන්නා. ඊටපස්සේ පුතාව මගේ පපුව උඩින් තිබ්බා. ඒ වෙලාවේත් දැනිච්චි හැඟීම මට කියන්න තේරෙන්නේ නැහැ.
පුතාව දවස් කීයකින් ඔය දෙන්නාගේ අපූරැ ගෙදරට එක්කගෙන ආවාද?
පුතා ඉපදිලා දවස් දෙකකින් ගෙදර ගෙනාවා. දැන් ඉතින් හැමදේම වෙන් කරලා තියෙන්නේ එයා වෙනුවෙන් තමයි.
දැන් ආච්චිලාගේ ආදරේත් අඩුවක් නැතිව ඇති?
අම්මෝ ඔව්... රොෂාන්ගේ අම්මා වගේම මගේ අම්මත් පුතාට හරි ආදරෙයි. ආච්චිලාගේ ආදරෙන් එයාගේ ලෝකය පිරිලා. අපේ අම්මා තමයි අපිත් එක්ක ගෙදර ඉන්නේ. ඉතින් මුල් මාසයේදී මට වඩා අම්මා තමයි පුතාගේ හැමදේම වගේ කළේ. මට ඒ හැමදේම නුහුරු නිසා අම්මා තමයි ඒ හැමදේම මාව ළඟට කරගෙන කළේ. සීසර් එකත් එක්ක මට ටිකක් අපහසු නිසා මුල් කාලයේදී ඒ හැමදේම කළේ අම්මයි. හඬන හැම වෙලේම අම්මා ඉක්මනට දරුවා ගාවට එනවා. පුතාව මුල්කාලේදී නෑව්වේ අම්මයි. මම අද වෙනකන් පුතා ඉපදුණාට පස්සේ වැඩිය එළියටවත් ගිහින් නැහැ. අඩුම ගාණේ රොෂාන් රඟපාන අලුත් Film එක බලන්නවත් එයා එක්ක මම ගියේ නැහැ.
පුතා රාත්‍රී කාලයේදී ඇහැරිලා අඬද්දී.... රොෂානුත් නැගිටිනවාද?
ඔව්... ඔව්... අනිවාර්යයෙන්ම පුතා රූට ඇහැරෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ... ඒ බොහෝ වෙලාවල්වලදී රොෂානුත් නැගිටිනවා. හැබැයි සමහර දවස්වලට රොෂාන්ට පහුවදා උදේ පාන්දර මොකක් හරි වැඩකට යන්න තිබුණොත් මායි අම්මයි රොෂාන්ට නිදාගන්න කියනවා. ඒ වෙලාවටත් රොෂාන් නෑ කමක් නැහැ කියල පුතා ආයේ නිදාගන්නකම් ඇහැරගෙන ඉන්නවා. අම්මා අපිත් එක්ක ඉන්න නිසා පුතාගේ වැඩවලට අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා.
අම්මා කෙනෙක්වීම ජීවිතේ පළවෙනි අත්දැකීමනේ... පුතාගේ වැඩ මුලින්ම කිරීමත් ටිකක් නුහුරු වෙන්න ඇති...?
ඔව්... පුතාව නාවන්න... පුතාට කිරි දෙන එක මුලදී මට ටිකක් නුහුරු වුණා... හැබැයි රෝහලෙන් ඒ හැමදේම මට කියලා දුන්නා. ගෙදර ආවම පුතාව නාවන එක, පුතාව වඩාගන්න එක, අඬද්දී නලවන එක ඒ හැමදේම අම්මා මට කියලා දුන්නා. ආච්චි අම්මා කෙනෙක් ඒක අම්මා කෙනෙක්ට වඩා මුලදී හොඳට කරනව කියල මම විශ්වාස කරනවා. දැන්නම් මටත් ඒවා ටික ටික හුරුයි.
රොෂාන්ගේ මල්ලිගේ දරැවන් ඔය දෙන්නට හරි හිතවත්. ඔය දෙන්නගේ ජීවිතවලට එකතු වුණ පුංචි පුතාව ඒ දෙන්නා පිළිගන්නේ කොහොමද?
මල්ලිගේ ලොකු පුතාට දැන් වයස අවුරැදු දෙකයි. දුවට වයස අවුරුද්දයි. ලොකු පුතා තමයි අපි දෙන්නාට ගොඩක් ආදරේ. දුවට තාම ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මල්ලිගේ පුතාට මේ අලුත් මල්ලි ගැන කියන්න අපි ටිකක් බයවුණා. අපි හෙමීට මහීත්ට මල්ලිව පෙන්නුවා. එයා මල්ලී දිහා බලාගෙන ඉඳලා මුලදී හෙමීට ඇල්ලුවා. තාමත් එයා ඉස්සරහ අපි අපේ පුතාට ආදරේ පෙන්නන්නේ නැහැ. මල්ලිගේ පුතා මටයි, රොෂාන්ටයි හරි ආදරේ නිසා මහීන්ට තමයි අපි අපේ ගෙදර ආවාම ආදරේ කරන්නේ. තාම එයාට හොඳටම කතා කරන්න බැහැ. ඉතින් අපේ පුතා ළඟට ගිහින් Little Brother කිය කියා පුතාව බලනවා. හැබැයි අපි දෙන්නා පුතාව වඩා ගන්නවාට මහීත් කැමති නැහැ. එයා කැමැති අපි හැමෝගෙම අවධානය එයාට තියෙනවාට තමයි.
පුංචි පුතාගේ නම මොකක්ද?
පුතාගේ නම මිනිත් රණවන (Mineeth) අපි පුතාට දිග නමක් දාන්න කැමැති වුණේ නැහැ. දරුවාටවත් කියවගන්න බැරි දිග නම් දාන්න රොෂාන් කැමැති වුණේ නැහැ. ඒ නිසා අපි මිනිත් කියන නම තමයි පුතාට දැම්මේ. රොෂාන්ගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෝ අපිට නම් කිහිපයක්ම එව්වා. ඒ අතරේ ඔය නමත් තිබුණා. රොෂාන්ගේ මල්ලිගේ පුතාගේ නම මහීත්, දුවගේ නම මිහිලි. ඉතින් දුවගේ මුල්ම අකුරු වුණ මි නමත් පුතාගේ නමේ අන්තිම ත් අකුරත් එකතු කරගෙන තමයි අපි මිනිත් කියන නම දැම්මේ. දැන් ඉතින් මගෙයි රොෂාන්ගෙයි ලොකුම බලාපොරොත්තුව අපේ පුංචි පුතායි.
► Text - Dishani / Pic –Sumudu & Intarnet