2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ලෝකයේ සතුටින්ම ඉන්න ක්වෝකා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 194

ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සයා කවුද කියලා ඇහුවොත් හරියට උත්තරයක් දෙන්න කිසිම කෙනෙක්ට පුළුවන් වෙයිද කියලා සැකයි. මිනිස්සු ඒ තරමටම සංකීර්ණයි. හැබැයි ලෝකෙ වඩාත්ම සතුටින් ඉන්න සත්ත්වයා කවුද කියලා ඇහුවොත් නම් දෙන්න තියෙන්නෙ හරිම පහසු උත්තරයක්. අද අපේ කතාබහ ඒ ගැනයි. 

නිරිත දිග ඕස්ට්‍රේලියාවේ ඒ කියන්නේ පර්ත් නුවර කිට්ටුව ජීවත්වන ක්වෝකා කියන සතා තමයි ලෝකෙ ඉන්න සතුටුම සත්ත්වයා විදිහට හැඳින්වෙන්නෙ. ඒකට හේතුව වෙන මුකුත් නෙමෙයි, මේ සත්ත්වයා හැමවෙලාවෙම සිනාමුසු මුහුණකින් හිඳීමයි. 
පර්ත් නුවර කිට්ටුව තියෙන රොට්නෙස්ට් කියන දූපත මේ වනවිට ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ක්වෝකා දිවයින විදිහටයි. මීට අවුරුදු කිහිපයකට කලින් මේ දූපතට ආපු සංචාරකයෙක් ක්වෝකා සතෙක් එක්ක ඉඳගෙන සෙල්ෆි ඡායාරූපයක් අරගෙන තිබුණා. සංචාරකයාත් ක්වෝකාත් දෙන්නම කට පුරෝලා හිනාවෙන මේ ඡායාරූපය ලෝකෙ පුරාම ජනප්‍රිය වුණා. ඒත් සමඟ ක්වෝකලා ගැන ලොකු උනන්දුවකුත් ගොඩක් දෙනෙක්ට ඇතිවුණා. 

මේ වෙද්දි ක්වෝකා බලන්නම සංචාරකයෝ රොට්නෙස්ට් දූපතට පැමිණෙනවා. ගිය අවුරුද්දේ පමණක් ක්වෝකා නරඹන්න ආපු සංචාරකයෝ ප්‍රමාණය ලක්ෂ හයකටත් වැඩියි. ඒ අය හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ක්වෝකා කෙනෙක් යාලු කරගෙන සෙල්ෆියක් ගන්නම තමා. 

කොහොම වුණත් ක්වෝකා එක්ක යාලුවෙන එකත් ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. එයාලා ස්වභාවයෙන්ම බොහොම මිත්‍රශීලී සත්තු ජාතියක්. හැබැයි ක්වෝකාලා හැම තිස්සෙම වගේ කෑම හොයමින් බිම තැනින් තැන ඉව කරන පිරිසක්. ඒ හින්දා කැමරාවට එයාලගේ හිනාව අහුකරගන්න එක එච්චරම ලේසිත් නැහැ.

ක්වෝකලා සාමාන්‍යෙයන් දවල්ට නිදිබරව කාලය ගත කරන පිරිසක් වුණත් එයාලාව හොයාගෙන සංචාරකයින් එන්න අරන් තියෙන නිසා එයාලා දැන් දවල්ට වැඩිපුර ක්‍රියාශීලීයි. සංචාරකයන් එන්නෙ තමන්ව බලන්න කියලා දැනෙන හින්ද ද කොහෙද එයාලා සංචාරකයන් ළඟම ගැවසෙමින් ඉන්නවා. අනික මෙයාලගේ ගමන් විලාසයත් හරිම අපූරුයි. කැන්ගරුවෝ වගේම එයාලාත් ගමන් කරන්නේ ඉස්සරහා අත් දෙක බැඳගෙන පසුපස ගාත් දෙකෙන් පැන පැන යමිනුයි. 
දාහත් වෙනි සියවසේදී ඕස්ට්‍රේලියාවට ආපු ලන්දේසි තමයි ක්වෝකාලාව ලෝකයට හඳුන්වා දුන්නා කියලා සැලකෙන්නෙ. හැබැයි ලන්දේසි හිතලා තියෙන්නෙ ක්වෝකා කියන්නේ තඩි මීයෝ ජාතියක් කියලයි. ඒත් පස්සෙ කරපු පර්යේෂණවලින් ක්වෝකා කියන්නේ වෙනම සත්ත්ව කොට්ඨාසයක් බවට හඳුනාගැනුණා. 

I National Geographic ඇසුරෙන්

Text - Suranga   /   Pic -  Internet