2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

රෙදි ගලවා අනාචාරයේ යැවීම කලාව නෙවෙයි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

Art එකේ කැරට්ටුව.. හඬ: දර්ශන රුවන් දිසානායක

මට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා....
කවදාවත් මතකයෙන් නොගිලිහෙන ඒ ගීතයේ සත්සර නිර්මාපකයා කවුද කියලා ඔබට මතකද? දර්ශන රුවන් දිසානායක... ඒ සොඳුරු තනු මවන්නාට තමා මේ සතියේ හඬට අපි ඇරියුම් කළේ..

දර්ශන මොකද වෙන්නෙ ඉතින්....?
පහුගිය දවස්වල ගොවි තාත්තා චිත්‍රපටයේ වැඩවලට තමයි මූලිකත්වය දීලා තිබුණේ.. මේක මගේ පළමුවෙනි සිනමා නිර්මාණය... දැන්නම් ඒ චිත්‍රපටයේ වැඩ ගොඩක් ඉවරයි.. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ චිත්‍රපටය ප්‍රදර්ශන කරන්න අවස්ථාවක් ලැබුණා... ඒකට වැඩ කටයුතු කරන අතර තව විදෙස් සිනමා උළෙලවල් කීපයකට චිත්‍රපටය ඉදිරිපත් කරන්න වැඩ කරගෙන යනවා... මගේ අලුත් ඇල්බම් එකේ නිර්මාණ කටයුතුත් කරගෙන යනවා.. මීට දින කිහිපයකට කලින් මමයි කසුන් කල්හාරයි එකතුවෙලා ගීතයක් රිලීස් කරා ඒකෙ නම තමයි කඳුළු බින්දුව සහ මගේ මවුරට කියලා... ඒක ජාතිකාභිමානී ගීතයක්... ඕවා තමයි ඉතින්. සාමාන්‍ය පරිදි අනිත් වැඩ ටික කරගෙන යනවා.

හරි එහෙනම් නමෝ විත්තියෙන් වැඩේට බහිමුද...? දර්ශනගේ ජීවිතයට සමීපවුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද? 
මගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරපු සහ මගේ ජීවිතය පැති ගොඩකට අරගෙන ගියපු නිර්මාණ ගොඩක් තියෙනවා... ජීවිතයට සමීප වුණ නිර්මාණයක් ගැන අහපු ගමන් මගේ ඔළුවට ආවේ චිත්‍රපට දෙකක්... එකක් තමයි මම මෑතකලේ බලපු ජෝකර් කියන සිනමා නිර්මාණය... අනිත් එක මීට වසර තුනකට හතරකට විතර කලින් බලපු එකක්... 2008 වසරේ ස්ටීවන් ඩෝල්ඩ්‍රි අධ්‍යක්ෂණය කරපු ඩේවිඩ් හාරේ විසින් තිරරචනය කරපු ද රීඩර් චිත්‍රපටය. මම මේ චිත්‍රපට දෙකෙන් අද කතාකරන්න කියලා හිතුවේ රීඩර් චිත්‍රපටය ගැන... 

රීඩර් චිත්‍රපටය තෝරගන්න මට විශේෂ හේතුවක් තියෙනවා... ඕනම සත්වයෙක් විරුද්ධ ලිංගිකයාට ආකර්ෂණීයයිනෙ... ඒ සංසිද්ධිය මානවයාටත් පොදුයි. ඒ අතර ගැහැනිය කියන්නෙ මිනිස් ලෝකයේ නිර්මාණය වුණ සුන්දරතම ආකර්ෂණීයම ජීවියෙක්. ඇගේ තියෙන ආදරය, කරුණාව, දයාව, ළඳබොළඳකම, සෞන්දර්යය ගත්තාම පිරිමියෙකුට වඩා පැති ගණනාවකට විහිදෙනවා... ගැහැනිය තමයි පෙම්වතියක්, මවක්, ගුරුවරියක්, මිත්තනියක් වෙන්නෙ... ජීවිතේ අවස්ථා හතරක ගැහැනියක් විදියට ඇය හැසිරෙන අන්දම මේ චිත්‍රපටයෙන් කතා කරනවා. රීඩර් සිනමා සිත්තම ගෙතෙන්නෙ මෙන්න මේ කියන ගැහැනිය වටා ඇයගේ නම හැනා... දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ යුගයේ ජීවත් වෙච්ච අධ්‍යාපනය හදාරණ තරුණයෙක් හිටියා... එයාගේ නම මයිකල්... ඔහු හිරිමල් තාරුණ්‍යයට ආගන්තුකයෙක්... එවකට තිබුණු සමාජ සංස්කෘතියත් එක්ක මයිකල් අයාලේ යාමට ලොකු ඉඩකඩක් තිබුණා. මොකද ඒ වෙද්දි මයිකල් තම විරුද්ධ ලිංගිකයා සොයමින් සිටි කාලයක් ඒක... අන්න ඒ කාලේ තමයි මේ දෙදෙනා මුණගැසෙන්නෙ... හැනා අවුරුදු 36ක ගැහැනියක්... ඇයට මේ සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා... මොකද ඇය මේ නගරයේ තමයි රැකියාව කරන්නෙත්. මේ දෙදෙනා අතර ඇතිවෙන සම්බන්ධය එන්න එන්න ස්ථාවර වෙනවා. පිටින් ඉඳන් බලන කෙනෙකුට හිතෙන්නෙ මේ ගැහැනිය තරුණ මයිකල් සමඟ වැරදි ලෙස හැසිරෙනවා කියලා. මට හිතෙන විදියට නම් එහෙම නෑ. ඇය එක වෙලාව හිතනවා මයිකල් ඇගෙන් මිදුණොත් සමාජයේ තියෙන දුරාචාරවලට ලේසියෙන්ම  ගොදුරුවෙන්න පුළුවන් කියලා. ඇය  හැමවෙලේම මයිකල්ව අධ්‍යාපනයෙන් උඩට ගන්න විදියට තමයි හිතන්නෙ... හැනා මයිකල්ව පොත් කියවීමට හුරැකරනවා. ඇයට තියෙන ආකර්ෂණය නිසා මයිකලුත් කැමැත්තෙන් අධ්‍යාපනයට නැඹුරැවෙනවා. හැනා මයිකල්ගේ ජීවිතය ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඇගේ මුළු ජීවිතයම මේ බාල තරැණයා වෙනුවෙන් කැපකරනවා. 

මයිකල් විශ්වවිද්‍යාලයට තේරී පත්වෙනවා. කාලයත් එකක් ඔහු අධ්‍යාපනයෙන් ඉහළටම යනවා. මේ අතරතුර යම්කිසි හේතුවක් නිසා හැනාට සිරගතවෙන්න සිද්ධවෙනවා. ඇය හිරේ හිඳගෙන මයිකල් ගැන මතකයන් එකතුකරනවා.. පසුකාලීනව මයිකල් විවාහ වෙනවා. ඔහුගේ නමින් දරුවන් පවා ලැබෙනවා. නමුත් මේ ගැහැනිය ඔහුගේ පවුල් ජීවිතයට බලපෑමක් කරන්න යන්නෙ නෑ.. ඇය ඈතට වෙලා ඔවුන් දිහා බලාගෙන ඉන්නවා. අවශ්‍ය ගමන මයිකල්ව එක්කගෙන ගිහින් මේ ගැහැනිය පැත්තකට වෙනවා. මට තදින්ම දැනුණු එක කාරණයක් තිබුණා.... ඒ තමයි ආදරය ප්‍රේමය කියන්නෙ පරිත්‍යාගයයි. අනිකාගේ සතුට වෙනුවෙන් ඕන දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් කියන අදහස හරියට දැනුණු නිර්මාණයක් තමයි ද රීඩර් කියන්නෙ... හැනා මුළු හදින්ම මයිකල්ට ආදරෙයි. ඒ ආදරේ තුළින්ම තමයි මයිකල්ව අධ්‍යාපනයෙන් ඉහළට අරගෙන යන්නෙ... ඒ වුණාට හැනා ගොඩක් ඉහළට ඉගෙනගත්ත කෙනෙකුත් නෙමේ. නමුත් ඇයට බුද්ධිය තිබුණා මේ තරුණයා විනාශ වෙන්නෙ නොදී රැකගන්න... තරුණ්‍ය සහ කාන්තාව පිළිබඳ හරියට අධ්‍යනය කරලා කරපු නිර්මාණයක් විදියට මම මේ චිත්‍රපටය දකිනවා. පුදුමාකාර පිලෝසොපිකල් කියවීමක් මේ චිත්‍රපටයේ ගැබ්වෙලා තියෙනවා.   

මේ නිර්මාණය ඇතුළේ දර්ශන කැමතිම චරිතයක් ඉන්න ඇති නේද? 
හැනා කියන ගැහැනියට තමයි මම ගොඩක්ම කැමති... ඇයගේ චරිතයට පණ පොවන්නෙ කේට් වින්ස්ලට් කියන සුප්‍රසිද්ධ නිළිය. ඇයගේ රංගනයට මම වශි වුණා.. මේ චිත්‍රපටය වෙනුවෙන් නිළියකට කරන්න පුළුවන් උපරිම කැපකිරීම ඇය කරනවා. චිත්‍රපටයේ ඇගේ ප්‍රේමයට ලොබ හිතෙනවා. මේ චිත්‍රපයට බලනකොට ඇතිවෙන්නෙ ගැහැනිය පිළිබඳ ආදරයක්... ඒකට මූලික හේතුවක් කේට්ගේ හැඟීම්බර රංගනය.. ලංකාවේ නිර්මාණකරැවන්ටත් මේ චිත්‍රපටය ලොකු ආදර්ශයක් දෙනවා... මොකද අපේ රටේ ඉන්න සමහර නිර්ම‍ාණකාරයෝ ගැහැනියගේ රෙදි ගලවලා අනාචාරයේ යවනවනේ.. මේ නිර්මාණයෙත් ගැහැනියගේ නිරුවත පෙන්නනවා... නමුත් නිරැවතට යටින් තියෙන සුන්දර උතුම් හදවත විවර කරලා ආදරය කරුණාව ඉස්මතු කරනවා.... අන්න ඒකයි වැදගත්ම කාරණය. හරිම සංයමයෙන් අධ්‍යාක්ෂකවරයා සියලු චරිත මෙහෙයවනවා... තව කියන්න ඕනම දෙයක් තියෙනවා... මේ චිත්‍රපටයේ සංගීතය මෙහෙයවලා තිබුණු ආකාරයත් හරිම ආකර්ෂණීයයි...  රීඩර් සිනමා කෘතිය තරම් ගැහැනිය ගැන සමීපව කියවපු වෙනත් නිර්මාණයක් තාම මට හමුවෙලා නෑ. 

මේ නිර්මාණය නරඹද්දී දර්ශන වැඩියෙන්ම සංවේදී වෙච්ච තැන් කිහිපයක්ම මුණගැහෙන්න ඇති... එකක් දෙකක් මතක් කරමුද?
මම සංවේදී වුණ එක තැනක් තමයි හැනාට මයිකල්ව අතඇරෙන තැන... ඊට වඩා මම ගොඩක්ම සංවේදී වුණේ වියපත් වූ හැනා ඇගේ ඩයිරිය අරගෙන මයිකල්ට ලියුමක් ලියන්න උත්සාහ කරනවා.. අන්න ඒ අවස්ථාව මාව ගොඩක් කම්පනය කරා... සමස්තයක් විදියට ගත්තාම ගොඩක් දර්ශන සංවේදී ඒවා තමයි... මොකද හැනාගේ එක බැල්මක් පවා හරිම සංවේදීයි... කොටින්ම කිව්වොත් ඇගේ රංගනය මට නම් විස්මයක්..

දර්ශනට මෙච්චර ලස්සන නිර්මාණයක් කොහොමද මුණගැහෙන්නෙ... ඒක අහම්බයක්ද ? 
මට මේ නිර්මාණය මුණගැහෙන්නෙ පිටරටකදී... එංගලන්තයට මං මාසෙකට විතර සංචාරයකට ගිය අවස්ථාවේ යෙහෙළියක් මගෙන් අහනවා ද රීඩර් කියන ෆිල්ම් එකක් තියෙනවා... ඔයා ඒක බැලුවද කියලා. ඊටපස්සෙ තමයි මම මේ චිත්‍රපටය ගැන දැනගන්නෙ... පස්සෙ මම ඒ ෆිල්ම් එක හොයාගෙන බැලුවා...

දර්ශන දැනට කීවතාවක් මේ චිත්‍රපටය බැලුවද?
ඒකනම් මට මතක නෑ.. විසි තිස් වතාවක් මම මේ චිත්‍රපටය බලලා ඇති. 

මේ චිත්‍රපට තුළින් ඔබට ඔබේ ජීවිතයට මොන වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් වුණාද...?
අයිතිකර ගැනීම ඇතුළේ ආදරය කියන දේ ඉතුරුවෙන්නෙ නෑ.. පරිත්‍යාග තමයි වටින්නෙ.. ඒක එකක්... ගැහැනියක් තේරැම් ගන්න පිරිමියෙකුට මේ චිත්‍රපටය බලන්නම ඕනෙ.. ගැහැනු අය ගැහැනු අය තේරුම් ගන්නත්, පිරිමි අය පිරිම අය තේරුම් ගන්නත් මේ ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා. 

මේ ෆිල්ම් එකේ අවසාන මොහොතේ දර්ශනයට ඇතිවෙච්ච හැගීම වචනවලට පෙරළමුද?
ඇත්තම මට දැනුණේ ගැහැනිය පිළිබඳ පහන් සංවේගයක්.. මට හිතුණා යශෝධරා සිද්ධාර්ථ වෙනුවෙන් මීටත් වඩා කැපකිරීම් කරන්න ඇති... ජීසස් වෙනුවෙන් මග්දලේනාත් කැපවෙන්න ඇති... හැම සාර්ථක මිනිහෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා... ඒ කාන්තාව හොයාගන්න  ද රීඩර් බලන්න...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet