2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

මිනිසුන්ට හැමදාමත් වරදින්නෙ නෑ....

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

සුරංගි.. නිවේදන කලාවෙන් ටිකක් බැහැරවෙලා රංගනයට එකතු වුණා කියලයි ආරංචිය.. මේ කතාව ඇත්තද..?
ඔව්.. ඒක ඇත්ත. මම අවුරුදු පහළොවකට ආසන්න කාලයක් නිවේදන කටයුතුවල තමයි නිරත වුණේ. මගේ වෘත්තිය වුණේ ඒකයි. මම කලාවට ගොඩක් ආසයි. පහුගිය කාලේ අපිට යම් යම් වාරණ තිබුණා. නිවේදන කටයුතු කරද්දී රංගනයට යොමුවීම නිසා ආයතන මට්ටමෙන් යම් ගැටලු ඇතිවුණා. ඒ කාලේ මම පූර්ණකාලීනව නිවේදනය කළා. ඒ කාලෙදී රංගනයට ආරාධනා ලැබුණත් ඒවා කරන්න ලැබුණෙ නැහැ. දැන් මම නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරන නිසා දැන් ඒකෙ ගැටලුවක් නැහැ.

මේ ආරාධනාව ලැබෙන්නේ කවුරැන් හරහාද..?
ඒ ආරාධනාව ලැබෙන්නේ සනෝජා අක්කා (සනෝජා බිබිලේ) හරහායි. ඇයගේ මඟපෙන්වීම මත මට ප්‍රවීණ නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක එරංග සේනාරත්න ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. ටික දවසකට පස්සෙ ඒ ටෙලිනාට්‍යයට කලින් චිත්‍රපටයක් කරනවා. ඒකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කළා. ඒ ආදරෙයි ජානු චිත්‍රපටයටයි. ඒකට මම දායකත්වය ලබා දෙනවා. මේ දිනවල ඒ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධවෙලා කටයුතු කරගෙන යනවා. ඒකෙ මම රඟපාන චරිතයේ නමත් සුරංගි. ඒකත් මට විශේෂ වෙනවා.

ආදරෙයි ජානු චිත්‍රපටයට අමතරව සුරංගි ටෙලිනාට්‍යයකටත් සම්බන්ධවෙලා ඉන්නවා නේද..?
ඔව්.. මේ වන විට අපේ රටේ ඉන්න තවත් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන සුරංග සෙනෙවිරත්නගේ කකුළුවෝ සහ මකුළුවෝ ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒකත් මට සුවිශේෂී චරිතයක් වෙනවා. ඔහු පවත්වාගෙන යන රංගන පාසලේදී රංගනය පිළිබඳව මට හදාරන්නත් අවස්ථාව ලැබුණා. ඒකත් මට ජීවිතේ ලැබුණු අපූරු අත්දැකීමක්. මට ඕනෙ මම කරන දේ හරියට කරන්නයි. කරන දේට සාධාරණයක් කරන්නයි. ඒ නිසා මට ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන වුණා. ඒ නිසා සුරංග අයියා මට ලොකු අවස්ථාවක් ඒ හරහා ලබා දුන්නා.

රංගනයෙන් දායකවෙන චරිත දෙක එකිනෙකට වෙනස්ද..?
ඔව්.. චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ මම රඟපාන චරිත දෙක එකිනෙකට වෙනස් චරිත දෙකක්. කකුළුවෝ සහ මකුළුවෝ ටෙලිනාට්‍යයේ අපි සමාජයේ කතාබහ වන විවිධ චරිත නිරෑපණය කරනවා. ඒ නාට්‍යයේදී මට ලැබෙන්නෙත් වෙනස් ආකාරයේ චරිතයක්. ඒක මට අභියෝගයක්. ඒ වගේම ඒ චිත්‍රපටය හරි ලස්සන ආදර කතාවක්. එතනදී මට ලැබෙන්නෙ වෙනස්ම චරිතයක්. අපි චරිත දෙක ගැන පොඩි කුතුහලයක් තියමු නේද?

රංගනය කියන දේ සුරංගිට අභියෝගයක් වුණේ නැද්ද..?
ඇත්ත.. අභියෝගයක් වුණා. මම මීට පෙර රංගනය හදාරලා තිබුණේ නැහැ. මාධ්‍යකරුවෙක් වෙන්න ආස කළ නිසා නිවේදනයට තමයි මම අවධානය යොමු කළේ. නමුත් නිවේදිකාවක් වීමෙන් කැමරාව ඉදිරියේ කටයුතු කිරීම, කණ්ඩායමක් එක්ක කටයුතු කිරීමෙන් ලබපු අත්දැකීම් රංගනයට මට ලොකු පහසුවක් වුණා කියලයි මට හිතෙන්නෙ. රංගනය කියන දේ මට අලුත් වුණත් වැඩ කරද්දී ඒ දේවල් ලොකු පහසුවක් වුණා.

ඔබ කාලයක් ලංකාවේ හිටියෙ නැහැ.. එහෙම නේද..?
ඔව්.. මම පහුගිය අවුරුදු හතරක කාලයක් ලංකාවේ හිටියෙ නැහැ. මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තමයි හිටියෙ. ඒ කාලෙදීත් මම මේ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම අයින් වුණේ නැහැ. ඒ රටේ ඉඳිද්දීත් මම සංගීත ප්‍රසංග, අවුරුදු උත්සව ආදී සියලු වැඩසටහන් මෙහෙයවූවා. බොහෝ ගායක ගායිකාවන්, රංගන ශිල්පීන් ශිල්පිනියන් මට ඒ රටේදීත් මුණගැහුණා. ඒ නිසා අවුරුදු හතරක කාලයක් තුළදී මට එහෙම ලොකු පාළුවක් දැනුණෙ නැහැ. මම මගේ නිවේදන වෘත්තියෙන් සමුගත්තෙ නැහැ. ඔය කාලය ඇතුළතදී මට මගේ පුතාලා දෙන්නත් ලැබුණා. ඒ නිසා ජීවිතේට තවත් වගකීම් එකතු වුණා. ඒ නිසා අඩුම ගාණේ ඒ කාලය තුළදී ලංකාවට නිවාඩුවකටවත් එන්න අවස්ථාව ලැබුණෙ නැහැ.

පුතාලා දෙන්නා එක්ක අද ගෙවන ජීවිතේ ගැන කිව්වොත්..?
මගේ ජීවිතේ අද ඉන්නෙ මගේ දරුවෝ දෙන්නා විතරයි. මම මගේ සැමියාගෙන් නීතියෙන් වෙන්වෙලයි ඉන්නෙ. මගේ ලොකු පුතා ෂෙනාල්. පොඩි පුතා ෂෙවෝන්. ලොකු පුතා දැන් තුන වසරේ ඉගෙනුම ලබනවා. පොඩි පුතා ලබන වසරේ පාසලට ඇතුළත් වෙනවා. පුතාලා දෙන්නත් එක්ක මම ගෙවන ජීවිතේට මම හරි ආදරෙයි. ඒ ජීවිතේ හරි සුන්දරයි. මම මේ හැමදේම කරන්නෙ ඒ දෙන්නගේ අනාගතය වෙනුවෙනුයි.

නිවේදිකාවක් ලෙස මේ දකින්නෙ පුංචි කාලේ දැකපු හීනයක්ද..?
ඇත්තටම ඔව්.. මම නිවේදිකාවක් වෙන්න ආස කළා. එහෙම හීන දකිද්දී මම මේ හීනවලට කොහොමහරි යනවා කියලා හිතාගත්තා. මගේ අරමුණ කරා ඇවිල්ලා ආපස්සට හැරිලා බලද්දී මම ජීවිතේ කොයිතරම් දේවල් ලබාගෙන තියෙනවද කියලා හිතෙනවා. මට ඒ සතුට ඇත්තටම කියලා නිම කරන්න බැහැ.

ජීවිතේ අතහැරුණු, මඟහැරුණු තැන් තියෙනවා නේද..?
ඔව්.. රැකියාවෙදීනම් මට එහෙම ලොකු දෙයක් මඟහැරිලා නැහැ. මේ කාලසීමාව වෙද්දී මම මාධ්‍ය වෘත්තියේ හැම වැඩසටහනක්ම මෙහෙයවලා තියෙනවා. මේ අවුරුදු ගාණ තුළදී ගෙවීගිය මාධ්‍ය ජීවිතේ ගැන මට හරි සතුටුයි. නමුත් මගේ විවාහ ජීවිතේදී මම ගත්ත වැරදි තීරණ නිසා ජීවිතේ හරි තැන් කිහිපයක් මඟහැරුණා කියලා මට හිතෙනවා. දැන් ඒ ගැන පසුතැවිලා වැඩක් නැහැ. එහෙම නේද..?

ඔබ දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා ආරංචියි.. මේක ඇත්තද..?
මම දේශපාලනයට හරි ආසයි. දේශපාලනයට සම්බන්ධ වෙන්න ලැබුණොත් මම ඒකටත් ආසයි. මම සමාජ සේවයට ආසයි. අදටත් සමාජයේ හිතසුව පිණිස මම විවිධ කණ්ඩායම් හා එක්ව බොහෝ සමාජසේවා කටයුතු කරනවා. ජීවිතය කියන්නෙ රැකියාවවත් සල්ලිවත් නෙමේ. කාන්තාවක් විදිහට අපිට කරන්න වැඩ බොහොමයක් තියෙනවා. බලමු.. අනාගතයේදී එකත් හොඳ විදිහට වේවි.

නැවතත් සුරංගිගේ හිත යම් තැනක නතර වෙයිද..?
ඒක හරියටම කියන්න බැහැ. මිනිසුන්ට හැමදාමත් වරදින්නෙ නැහැ. මිනිසුන්ට හැමදාමත් හරියන්නෙත් නැහැ. ඒ නිසා මම ඒ දේ කාලයට බාරදීලා ඉන්නවා. අද මම මගේ දරුවෝ දෙන්නා එක්ක සතුටින් ජීවත් වෙනවා

 

► Text - Dishani  / Pic – Fb