මියුසික් ඔහුගේ ජීවිතය හා බැඳුණු ප්‍රියතම වදනකැයි සිතෙන තරම්. කිසිදා වයසට නොයන ඔහුගේ හඬ සහ රුව ඔහුට ලැබුණු ත්‍යාගයක්... මට එහෙම හිතුණේ මීට අවුරුදු ගණනකට කලින් දැක්ක ඒ කඩවසම් පෙනුමයි ඒ රුවටම ගැලපෙන හඬයි තාමත් එහෙමමයි... ඔහු ගමන් කළේ දුෂ්කර එහෙත් වෙහෙසකර එහෙත් ඒ සියල්ල සුන්දරත්වයකට පරිවර්තනය කරගත් සොඳුරු මාවත්වල... මීට වඩා යමක් මම එයාලා ගැන කියන්නෙ නෑ...
කීර්ති පැස්කුවෙල්...
ලේසි තැනකින් අපි කතාව පටන් ගන්නම්... ඒ කීර්තිගේ ජීවිතයෙන්ම...
කියලා ඉමුද එහෙනම් මේ දවස්වල ඔබේ ජීවිතය ගැන ටිකක්...?
පහුගිය දවස්වල මම ටිකක් කාර්යබහුල වුණා.. ඒ මගේ මනමාල හැන්දෑව කියන ඒකපුද්ගල ගී ප්‍රසංගය නිසා... නෙළුම් පොකුණ රඟහලේ තමයි ඒක තිබුණේ... මේ ප්‍රසංගය මම මෙච්චරකල් කරපු ප්‍රසංගවලට වඩා වෙනස් වැඩක්... ගීත 26ක් එදා ගායනා කළා... මේ ප්‍රසංගය රසිකයන් අතර සෑහෙන්න ජනප්‍රිය වුණා... ඒ නිසාම ප්‍රසංගයේ ඩීවීඩී එකක් කරන්න හිතුවා. මේ දවස්වල ඒකෙ එඩිටින් වැඩ කරගෙන යනවා. අනිත් කාරණාව තමයි මගේ ජීවිත කතාව ඇතුළත් පොතක් නිකුත් කරනවා ජනවාරි මාසේ 06 වැනිදා. පාලිත මානවංශ කියන මගේ හිතවත් මිතුරෙක් තමයි ඒ පොත ලියන්නෙ. පොත ලිවීමට අවශ්‍යවන ලිපි, තොරතුරු සහ ගීත නිර්මාණය කරමින් ඉන්නවා... මේ වැඩත් එක්ක සංගීත ප්‍රසංගවල වැඩ සහ මගේ සංගීත පාසල්වල වැඩත් සමබරව කරගෙන යනවා. ඉතින්....
ඔහු ජීවිතයම සාරංශගත කරලා එහෙම තමයි කිව්වෙ...
කීර්ති පැස්කුවෙල්ගේ කලා නිර්මාණ ගැන අපි දන්නවා... ඒවා ගැන නෙමේ... ඔබේ නොවන ඔබේ ජීවිතයට බලපෑමක් කරපු නිර්මාණයක් ගැන කතාකරමුද... මගේ වචනයෙන් කියනව නම් බොක්කට වැදුණ නිර්මාණයක්!
මගේ විනෝදාංශයට විදිහට මම ප්‍රධාන වශයෙන්ම කරන්නෙ චිත්‍රපට බලන එක... වැඩිපුරම මම බලන්න ආස රහස් පරීක්ෂක චිත්‍රපට සහ ත්‍රාසජනක චිත්‍රපට... ඇක්ෂන් චිත්‍රපටයක් බලද්දි මගේ මනසට ආස්වාදයක් සහ සන්සුන් බවක් දැනෙනවා... ඒ නිසා තමයි මම වැඩිපුර එවැනි චිත්‍රපට බලන්නෙ... ඒ හැඩයේ චිත්‍රපටයක් හම්බවුණාම මම භාෂාව ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ... ඕනෑම භාෂාවක කුතුහලය දනවන චිත්‍රපයටක් බලන්න මම ආසයි... වැඩිපුරම මම බලන්නෙ ඉංග්‍රීසි, දෙමළ, හින්දි සහ තෙලිඟු චිත්‍රපටය. මගේ ළඟ චිත්‍රපට එකතුවක් තියෙනවා... ඉඩ ලැබෙන වෙලාවට මම මගේ චිත්‍රපට කලෙක්ෂන් එකෙන් චිත්‍රපටය අරගෙන බලනවා. ඔය විදියට මම නරඹපු චිත්‍රපට අතරින් මගේ හිතට කාවැදුණු නිර්මාණ ගොන්නක් තියෙනවා.. ඒවා අතරිනුත් මම ගොඩක්ම කැමති චිත්‍රපටයක් තියෙනවා... ඒ චිත්‍රපටය භාෂා ගණනාවකින්ම නිෂ්පාදනය වුණා... සිංහල භාෂාවෙනුත් මේ චිත්‍රපටය නිර්මාණය වුණා... සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපාන්නෙ ජැක්සන් ඇන්තනි කියන දක්ෂ රංගන ශිල්පියා ධර්ම යුද්ධය නමින් තමයි මේ චිත්‍රපයට ලංකාවේ ප්‍රදර්ශනය වෙන්නෙ... මම මුලින්ම බැලුවේ 2015 අවුරුද්දෙ ඩ්‍රිෂම් නමින් ප්‍රදර්ශනය වුණු හින්දි චිත්‍රපයටය... නිෂිකන් කමත් තමයි ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ... ජීතු ජෝශප් තමයි මේ සුප්‍රකට චිත්‍රපටය තිරරචනය කරන්නෙ... අජේ දෙව්ගන් තමයි ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ. මේ නිර්මාණයේ තියෙන විශේෂත්වය තමයි හැම මොහොතෙම කුතුහලයෙන් පිරුණු දර්ශනවලින් සමන්විත වීම...
මේ චිත්‍රපටයේ අජේ දේව්ගන් රඟපාන්නෙ පුංචි කාලේ අනාථ දරුවෙක් වෙලා ඉඳලා හතරවෙනි ශ්‍රේණිය වෙනකන් විතරක් පාසල් ගිය පසු කාලයක ගෝවා නගරයේ ප්‍රසිද්ධ කේබලින් ටීවී සේවාවක් පත්වාගෙන යන තෘප්තිමත් ව්‍යාපාරිකයෙක්... මෙයාගෙ විනෝදාංශය තමයි චිත්‍රපට නරඹන එක... ඔහු ඒ චිත්‍රපටවලින් ලබාගන්නා දැනුමෙන් මිනිස්සුන්ට උදව්කරනවා... ඒක නිසා විජේව මිනිස්සු ගොඩක් දන්නවා... නන්දනී තමයි විජේගේ බිරිඳ. මේ දෙදෙනාට දුවලා දෙන්නෙක් ඉන්නවා... ලොකු දුව අංජු ඇය දොළොස්වෙනි පන්තියේ ඉගෙනුම ලබන අතර අනිත් දියණිය හයවෙනි වසර ඉගෙන ගන්නවා. විජේ ඇතුලේ පවුලේ උදවිය බොහෝ සතුටින් තමයි කාලය ගතකරන්නෙ. ඔය අතරේ විජේගේ වැඩිමල් දියණිය පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් යනවා... එතනදී මුණගැසෙන තරුණයෙක් අංජු නාන කාමරයේ ඉන්න අවස්ථාවේ නිරුවත් දර්ශනයක් වීඩියෝ ගතකර ගන්නවා... ඒ වීඩියෝ ගතකරන්නෙ සමීර්... ඔහු ගෝවා පොලිසියේ ස්ථානාධිපතිනියගේ පුතා... ඔහු අංජුට බලපෑමක් කරනවා ඔහු සමඟ ලිංගිකව හැසිරෙන ලෙස... නැත්නම් මේ වීඩියෝව අන්තර් ජාලයට මුදාහරිනවා කියලා බ්ලැක්මේල් කරනවා. මේ සිදුවීම වෙන්නෙ විජේගේ ගෙදර ගරාජයක් අසල. අංජු ඉල්ලීමක් කරනවා මේ වීඩියෝව මකන්න කියලා... මේ අවස්ථාවේ විජේගේ බිරිඳ නන්දනීත් මෙතනට එනවා... අවසානයේ ඇතිවෙන රණ්ඩුවකින් යකඩ බටයකින් සමීර්ට පහරක් වදිනවා. ඔහු එතනම මිය යනවා... පසුව මේ සිද්ධිය විජේට බිරිඳ සහ දියණිය කියනවා... එතැන සිට මේ මිනීමැරුමෙන් බේරෙන්න කරන උත්සාහය තමයි මේ චිත්‍රපයට පුරාම තියෙන්නෙ. නමුත් තමාගේ පුතා වන සමීර්ව හොයන්න ගෝවා පොලීසියේ ස්ථානාධිපතිනිය සෑහෙන උත්සාහයක් ගන්නවා. විජේගේ නිවස අසලින් සාක්ෂි ගොඩක් ලැබුණත් ඔහු චිත්‍රපට නරඹලා ගත්ත දැනුම පාවිච්චි කරලා ඒ සාක්ෂි මකන්න සූක්ෂමව උපක්‍රම ශීලිවෙනවා. මේ චිත්‍රපටයේ එකම රෑපරාමුවක්වත් අහකදාන්න බෑ... මොහොතින් මොහොත කුතුහලයෙන් පිරෙනවා.. එක මොහොතක ඉඳලා ඊළඟ මොහොත වෙනකම් ප්‍රේක්ෂකයාව බන්ධනය කර තබාගන්නවා. මට පුදුම හිතුණා මේ චිත්‍රපටයේ තිර රචනය ගැන... මම හිතන්නෙ ඒ තිර රචනයේ තිබුණු කුතුහලය නිසාම වෙන්නෙ ඇති ලෝකයේ භාෂා ගණනාවකින්ම මේ චිත්‍රපටය නිර්මාණය වෙන්න ඇත්තෙ...
ඩ්‍රීෂම් චිත්‍රපටය නරඹද්දි කීර්තිට සමීපවෙච්චම චරිතය විජේ වෙන්නෙ ඇති නේද?
ඇත්ත වශයෙන්ම ඔව්... විජේ තමයි... මේ නිර්මාණයේ කොඳුනාරටිය ඔහුයි.
කීර්ති මේ නිර්මාණය පුරා සැරිසරනකොට අතිශය සංවේදී කරපු තැන් එහෙම මුණගැහෙන්න ඇති නේද...? එකක් දෙකක් මතක් කරමුද?
ඔව් එහෙම තැන් කීපයක්ම තියෙනවා... ගොඩක් දැනුණු තැනක් තමයි මේ චිත්‍රපටය අවසානයේ කොටසේ තමයි ඒ දර්ශනය තියෙන්නෙ... අලුත් පොලීසියක් පිහිටුවන්න ඉදිකරන ගොඩනැගිල්ලක රූපරාමු ටිකක් පෙන්නවා... ඒ වෙනකොටත් සමීර්ගේ මෘත දේහය හමුවෙලා නෑ. සමීර්ගේ අම්මා පොලිසියේ උසස් නිලධාරිනියක් වුණත් විජේගේ උපක්‍රමවලට එහා ගිහින් මේ මිනීමැරුම හොයාගන්න බැරිවෙනවා. නමුත් ඇය දන්නවා විජේගේ පවුලේ අය අතින් තමයි මේ මිනීමැරැම වෙලා තියෙන්නෙ කියලා. ඒ වෙනකොටත් විජේ පවුලේ අය නඩුවෙන් නිදහස්වෙලා ඉවරයි.. අවසානයේ මේ පොලිස් නිලධාරිනිය ඉල්ලීමක් කරනවා කරුණාකර කියන්න කොහොමද මේ මිනීමරුම අත්වැරදීමකින් හරි වුණේ කියලා. නමුත් ඔහු ඒක කියන්නෙ නෑ... අවසානයේ ඉඟියකින් වගේ පෙන්නනවා අර අලුතින් හදන පොලිස් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් එක යට තමයි සමීර්ගේ මෘතදේහය තියෙන්නෙ කියන එක... පොලිසිය සෑහෙන වෙහෙසවෙලා හොයන සමීර්ගේ මෘතදේහය තියෙන්නෙ ඔවුන්ගේම ආයතනය යටම තමයි... ඒක හරි පුදුමාකාර කතා ගෙතිල්ලක්... මම ඒ තැනට ගොඩක් කැමතියි. මිනිස්සුන්ට අපරාධ කරන්න නෙමේ හොඳ දේකට මොළේ පාවිච්චි කරලා තමන්ගේ දියුණුව සලසගන්න මෙවැනි සූක්ෂම ගති මිනිස්සුට ප්‍රායෝගිව පාවිච්චි කරන්න පුළුවන්...
ඔබට මුලින්ම මේ නිර්මාණය ගැන කියන්නෙ කවුද? දැනට කී වතාවක් කියවල තියෙනවාද?
මේ නිර්මාණය බලන්න කියලා විශේෂයෙන් කවුරුත් මට කිව්වෙ නෑ... නමුත් මම වීඩීඩී ගන්න වීඩියෝ ක්ල්බ් එකේ ඉන්න අය දන්නවා මගේ කැමැත්ත මොකක්ද කියලා... මගේ කැමැත්තට හරියන චිත්‍රපටය එයාලා මට එකතු කරලා තියලා තියෙන්නෙ එහෙම මුණගැහුණු චිත්‍රපටයක් තමයි ඩ්‍රීෂම් කියන්නෙ... බැලුවට පස්සේ පුදුම විදියට මේ චිත්‍රපටයත් එකක් බැඳෙනවා... මම විතරක් නෙමේ... මගේ පවුලේ අයත් මේ චිත්‍රපටයට පුදුම විදියට කැමතියි. දැනට මම මේ චිත්‍රපටය තුන් හතර පාරක් බැලුවා...
මේ චිත්‍රපටය පළවෙනි වතාවට නරඹද්දී කීර්තිට මේ චිත්‍රපටයේ එන්ඩ් එකේදී ඇත්තටම ඇතිවෙච්ච හැගීම මොනවගේ එකක්ද?
මට දුකක් ඇති වුණා... ඒ දුක ඇතිවුණේ සමීර්ගේ අම්මා ගැන... ඇය පොලිසියේ ඉහළ නිලයක් දරන කාන්තාවක් වුණත් ඇය තමන්ගේ පුතා වෙනුවෙන් පුතාගේ මරණය වෙනුවෙන් සෑහෙන්න විඳවනවා... ඒ අම්මාගේ චරිතය තද චරිතයක් වුණත් තමාගේ පුතාගේ මරණය ඇයට දරාගන්න බැරිවෙනවා... ඇයගේ තියෙන මානුෂීය ගුණය සහ මනුස්සකම පෙන්නනවා මිනිස්සුන්ට කඳුළු එන්න... ඇගේ පුතා කරන්නෙ වැරැද්දක් තමයි. නමුත් අම්මා කෙනෙකුට පුතෙක් නැතිවෙන දුක වචනවලට පෙරලන්න අමාරුයි... චිත්‍රපටය ඇතුළෙත් සමීර් ගැන වෛරය වර්ධනය වෙන විදියට රූප පෙළගස්වන්නෙ නෑ... සම්පූර්ණ ත්‍රසය සහ කුතුහලය තමයි චිත්‍රපයට පුරා මට දැණුනෙ...
► Text - Danushka Wijesiri / Pic - Sumudu