හංගේරියාවේ බුඩාපේස්ට් නුවර තියෙන නිව් යොර්ක් කැෆේ කියන අවන්හල ගැනයි අද කතාබහ. ලස්සන කියන දේ සාපේක්ෂ දෙයක්. කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් බුඩාපේස්ට්වල තියෙන නිව් යොර්ක් කැෆේ එක තමා ලෝකෙ තියෙන ලස්සනම අවන්හල විදිහට හැඳින්වෙන්නෙ.
මේක ඇතුළට පිවිසෙන කෙනෙක්ට නම් මෙතැන අවන්හලක් විදිහට පේන්නෙ නැහැ. උස්වූ සිවිලිමෙන් එල්ලන දිලිසෙන විදුලි පහන්, අලංකාර කැටයම් චිත්‍රවලින් සුන්දර කෙරුණු බිත්ති සහිත මේ අවන්හලට තියෙන්නේ හරියට දේවස්ථානයක පෙනුමක්. මේක ඉදිකරලා තියෙන්නෙ ඉතාලියානු පුනරුද ගෘහනිර්මාණ ශිල්පය අනුවයි. මෙතැන තවත් විශේෂත්වයක් වෙන්නේ මේ අවන්හල අවුරැදු 125ක් පරණ ගොඩනැගිල්ලක් වීමයි.
1894 අවුරුද්දෙදී මේ අවන්හල මුලින්ම ආරම්භ කරන්නේ හංගේරියාවේ රක්ෂණ ව්‍යාපාර පටන්ගත්ත නිව් යොර්ක් ඉන්ෂුවරන්ස් කියන සමාගමයි. එයාලට වුවමනා වුණේ ලෝකයේ තියෙන ලස්සනම කෝපි අවන්හල හදන්නයි. ඒ අනුව ඉස්තරම්ම අමුද්‍රව්‍ය යොදාගෙන අලංකාර කැටයම් සහිතව මේ අවන්හල විවෘත කරලා තියෙන්නෙ 1894 වසරේදීයි.
කෝපි අවන්හලක් විදිහට පටන්ගත්තු මේ අවන්හලේ දැනට හංගේරියාවටම ආවේණික ආහාරපාන පිළිගැන්වෙනවා. ඒ අතරින් කේක් විශේෂයි. හංගේරියානු කේක් විශේෂ 16ක් විතර මෙතැනදී රසවිඳින්න පුළුවන්.
ඒ කොයිහැටි වෙතත් වාර්තා වෙන විදිහට මෙතැනට සෙනඟ ඇදෙන්නේ කෑමබීම රසවිඳිනවට වඩා අවන්හලේ තියෙන සුන්දරත්වය විඳගන්නයි. අවන්හලේ විවිධ සුන්දර ස්ථානවල පින්තූර ගන්න එකත් ඊට අයත්. කාර්යබහුල දවස්වල දවසකට 2000ක් විතර මේ අවන්හලට එන බව දැනගන්න ලැබෙනවා. ඒ වගේ වෙලාවට අවන්හලෙන් පිටත වීථිය දිගේත් ජනතාව පෝලිම් ගැසී අවන්හලේ මේසයක් ලබාගන්න තමන්ගේ වාරය එනතුරැ බලා සිටින අවස්ථාත් තිබෙනවාලු.
කාලයක් මේ අවන්හලේ උඩ මාලයේ හංගේරියාවේ තිබුණු විකල්ප පුවත්පත් කිහිපයක් මුද්‍රණය වෙලත් තිබුණා. ඒ වගේම තව කාලයක් ක්‍රීඩා මධ්‍යස්ථානයක් විදිහටත් අවන්හලේ කොටසක් වෙන්වෙලා තිබුණා. ඒ කොහොම වුණත් මේ වෙද්දී අවන්හලට අමතරව සුපිරි හෝටලයකුත් පිහිටුවලා තියෙනවා. හංගේරියාවට එන සංචාරකයෝත් වැඩි දෙනෙක් මෙතැනට එන්නේ පෞරාණිකත්වය වගේම සුන්දරත්වයත් හිතේ හැටියට විඳින්නයි.
අවුරුදු 125ක් තිස්සේ කෝඑක දිගට මේ අවන්හල පවත්වාගෙන ගියාට කොමියුනිස්ට් යුගයේදී මේ අවන්හල වහලා දාන්න පාලකයෝ කටයුතු කරලා තිබ්බා. අවන්හල් කියන්නේ ධනේෂ්වර ක්‍රමයේ සංකේත විදිහට දැකීම ඊට හේතුව වෙලා තිබුණා.
CNN ඇසුරෙනි
► Text - Suranga / Pic - Internet