මැණික් ව්‍යාපාරයට කොහොමද යොමු වුණේ.. කවද්ද යොමු වුණේ කියලා මතකයිද?
මම ඩුබායි ගිහින් ආවට පස්සේ ආපහු හොටෙල්වල ජොබ් කරන්න පටන් ගත්තා. ඔයා දන්නවද මල්ලි අපිට වැඩ පටන්ගන්න තියෙන්නෙ උදේ 06ට. අනිත් අය 6ට වැඩට එද්දී මම වැඩ පටන් ගන්නවා උදේ 4ට. මට එතකොට ඕටී පැය දෙකක් හම්බවෙනවා. පැයකට රුපියල් 12 ගාණේ පැය දෙකට මට රුපියල් 24ක් හම්බවෙනවා. අනිත් අය එද්දී මම ඔක්කොම වැඩ කරලා ඉවරයි. එයාලත් හිනාවීගෙන එන්නේ. ඇයි ඇවිල්ලා එයාලට කරන්න වැඩක් මම ඉතුරු කරන්නෙ නැහැනේ. මම ඒ හොටෙල් එකෙන් 3ට ඕෆ්වෙලා අල්ලපු හොටෙල් එකට ගිහින් 3 ඉඳන් 5 වෙනකම් ටොයිලට් හෝදනවා. ඒකෙන් මට පැයකට රුපියල් 30ක් හම්බවෙනවා. ඒ වැඩේ ඉවර කරලා බොස්ගේ කාර් එක එහෙමත් හෝදනවා. මට තව රුපියල් 15ක් 20ක් එතකොට හම්බවෙනවා. මම දවස් 5ම එකදිගට නින්දක් නැතුව වැඩ කරලා තියෙනවා. එහෙම වැඩ කරන්නත් හේතුවක් තියෙනවා.
මේ ලිපිය කියවන අයත් නොඉවසිල්ලෙන් ඇත්තේ මොකක්ද හේතුව කියලා දැනගන්න. ඒ හින්දා අපි ඒ හේතුවත් කියමු නේද?
හොටෙල් එකේ වැඩ කළාම දවසේ පඩිය රුපියල් 230 යි. මම සතියට දවස් දෙකක් මුලින් වැඩ නොකර හිටියා. ඒ දවස් දෙකට වැඩ කරන දවසට වැඩිය වියදම් වුණා. හිතන්නකො 230 දෙකක්.. 460ක් පාඩුයි මට නිකම් හිටියම. මම කළේ එක දිගටම දවස් 100ක් වැඩ කළා නිවාඩු ගන්නෙ නැතුව මහන්සි නොබලා. හොටෙල් එකේ ඕටී මට විතරක් කරන්න බැහැනේ. ඒක හරි නැහැනේ. අනිත් මිනිස්සුත් හම්බ කර ගන්න ඕනනේ. මම මොකද කරන්නෙ.. හොටෙල්වල වැඩ නැතිවුණාම ගෙවල් හදන මේෂන් වැඩපොළවල්වලට ගිහින් අත්උදව් දෙනවා. හැබැයි ඒවායෙ වැඩ කරලා එද්දීනම් අත පය පණ නැහැ. මම එදත් කවුරුවත් කපාගෙන ගියේ නැහැ. අදත් නැහැ. අන්න ඒ හින්දා මම අද කිසිදේක අඩුපාඩුවක් නැතුව සැපට ජීවත් වෙනවා.
මැණික් ව්‍යාපාරෙට යොමු වුණේ කොහොමද කියලා කිව්වේ නැහැනේ?
ඔන්න දවසක් හොටෙල් එකේ වැඩ කරද්දී එදා වැඩට හිටිය වේටර්ලා තුන් දෙනෙක් ආවේ නැහැ මැනේජර් එක්ක තිබුණු තරහක් හින්දා. එදා මම තනියම ගෙස්ට්ලා 120කට සර්විස් එක දුන්නා. වැඩේ ඉවර වෙද්දී එක සර්වියට් එකක් බිම නැහැ. එක ටූත් පික් එකක් බිම නැහැ. එදා මගේ පිටට තට්ටුවක් දාලා එක මහත්මයෙක් ඔයා හරියන්නේ අපේ ෆීල්ඩ් එකට කියලා කිව්වා. මම ඇහුවා මොකක්ද ෆීල්ඩ් එක කියලා. එයා කිව්වා මැණික් බිස්නස් කියලා. ඒ කෙනා කවුද කියලා මම අදටත් දන්නේ නැහැ. ඒත් එයා කියලා ගිය දේ මගේ ඔළුවේ වැඩ කළා. ඒ 2010, 2011 අවුරුද්ද. රුපියල් 900යි මගේ අතේ තිබුණේ. මම ඒකත් අරගෙන රත්නපුරේ ගියා මැණික් බිස්නස් කරන්න. යන්න එන්න තැනක් නැති හින්දා මම බස් හෝල්ට්වල නිදාගත්තා. ලොකු මැණික් මුදලාලිලා මට මූ... (ගුත්තිලගේ සහායකගෙ නම) කියලා මාව එලෙව්වා. මම මැණික් බිස්නස් ඉගෙන ගන්න ගියේ. මාව අඳුරන්නේ නැති හින්දා මාව එලෙව්වා. මට එක දලන් කෑල්ලක් (රුපියල් 50ට 60ට වගේ මිල කරන ගණන් අඩුම මැණික් වර්ගයක්) දුන්නේ නැහැ. ඒත් එදා රැපියල් 50ක් 60ක් වටින දලන් කෑල්ලක් දුන්නේ නැති මැණික් මුදලාලිලා අද මට ගලක් එවන්න කිව්වොත් සේප්පුවේ තියෙන කෝටි 2000, 3000 ගල් වුණත් එවනවා.
ඔන්න දවසක් මම නිවිතිගල බස් හෝල්ට් එකේ ඉන්නකොට කට්ටියක් හෙට හවස අපිත් එක්ක පතල් කපන්න යන්න එන්න කියලා ගියා. මම ඉතින් බස් හෝල්ට් එකේ නිදියගෙන පහුවෙනිදා එනකම් බලාගෙන හිටියා. ඒ කට්ටිය එදා හවස තුනට විතර ආවා. ඒ කට්ටිය මාව එක්කන් ගිහින් මගෙන් හතර පස් දෙනෙක්ගේ වැඩ ගත්තා. මම තට්ටු 50, 60 පහළට බැස්සා. පතල කඩන් වැටුණනම් අද ඔයා එක්ක කතා කරන්න මම මෙතන නැහැ. මම ඒගොල්ලෝ එක්ක පතල් කපන ගමන් මැණික් ගල් හඳුනා ගත්තා. මම පතල් කපන ගමන් හැරනියාවල පොළට ගියා ගල් වර්ග හඳුනාගන්න. පතලේ වැඩ කරනවට මට රුපියල් 800ක් 900ක් වගේ තමයි ගෙව්වේ. මම ඒ අතරේ කූඩෙකුයි ගල් ඉන්නකුයි අරන් අඩි 10x10 පතලක් අනවසර ඉඩමක හෑරැවා. දවස් 9ක් එක දිගට පතලට බැස්සා. මම උදේම ගිහින් කඩෙන් කෑම එකක් අරන් එනවා. එතකොට බත් එකක් රුපියල් 60 යි. පරිප්පුයි පොල් සම්බෝලයි තියෙන්නේ. මම කරන වැඩේ පරිප්පුයි සම්බෝලයි ගෑවිලා තියෙන බත් ටික කාලා ඉතුරු ටික හවසට කන්න තියාගන්නවා. ඒක හවස කාලා එළිවෙකම් පතල කපනවා කරුවලේම. නිකම් හිටියොතින් වතුර පිරෙනවනේ. එහෙම වුණොත් උදේට වැඩ කරන්න බැහැ. මට වතුර හිස් කරන්න වතුර මැෂින් තිබුණෙ නැහැනේ. ආ තව දෙයක්.. මම ටෝච් එකකට බැටරි කෑලි දෙකක් දාගන්නවා. වළට බහිනවා ටෝච් එළියෙන්. ඊටපස්සේ ඒක ඕෆ් කරලා පතල කපනවා. බැටරි බැස්සට පස්සේ බැටරි කෑලිවල පල්ල තලලා අන්තිම වෙනකම් පාවිච්චි කරනවා. නාම්බුවක්වත් (මැණික් ගරන්න ගන්නා තුන් හුලස් ආකාරයේ කූඩය) මට තිබුණේ නැහැ. කුරුවිට ඉඳන් හැරිනියාවලට කිලෝමීටර් 60ක් විතර තියෙනවා. මම ගල් බලන්න හැරිනියාවල පොළට එනවා. ගල් ගන්න සල්ලි නැහැනේ. ආපහු ගරන්න කුරුවිට යනවා. ඔහොම මාස දෙක තුනක් ගියා. ඔන්න දවසක් මම හැරනියාවල පොළට එද්දී මාමා කෙනෙක් ෂොපින් කවරෙක ගල් වගයක් දාගෙන ඉන්නවා දැක්කා. මම ගිහින් ඒ ගල් ටික බලලා ගාණ ඇහුවම රුපියල් 10,000 ක් දෙන්න කිව්වා.
ඒත් එතකොට මගේ අතේ තිබුණේ රැපියල් 220 ක් විතරයි. මම මගේ අතේ තියෙන ගාණ කිව්වම ඒ මාමා රුපියල් 220 අරගෙන මට ගල් ටික දුන්නා පුතේ වෙන අයනම් කියන්නේ පස්සේ සල්ලි දෙන්නම්. ගල් ටික දෙන්න කියලයි. ඒත් ඔයා මට ඇත්තම කිව්වනේ. කියලා කිව්වා. මම ඒ ගල් ටික අරගෙන බේරුවල ආවා. සිංහල මනුස්සයෙක්ට මම ඒ ගල් ටික රුපියල් 90,000ට විකිණුවා. ඒ ගල් ටික එක් ලක්ෂ විසිදාහකට දෙන්න තිබුණා. ඒත් ඉල්ලුව ගාණට දීලා මම ආපහු හැරනියාවල ගියා. මම දවස් හතරක් ඒ මාමා එනකම් බස් හෝල්ට් එකේ නිදියගෙන බලන් හිටියා. ඒ මාමා දවස් හතරකට පස්සේ ආවා. මම මාමා ආව ගමන් කන්න ගන්න සල්ලි ටික හැර ඉතුරු සල්ලි ටික මාමාගේ ඉස්සරහින් තියලා මාමේ මම ගල් ටික අනූ දාහකට විකුණුවා කියලා කිව්වා. සල්ලි ටික ගන්න කිව්වම ඔය සල්ලි පුතාගේ. මට එපා කිව්වත් මම මාමාට පනස් දාහක් ගණන් කරලා දුන්නා. ඒ මාමාගේ නම ප්‍රේමරත්න. මම මාමා මැරෙනකම් බලාකියා ගත්තා. අදටත් හැම අවුරුද්දකම මාර්තු 25 ඒ මාමා වෙනුවෙන් ලොකු දානයක් දීලා පින් දෙනවා. අපි කෘතගුණ සලකන්න ඕන. මම අදත් ඒ බස් හෝල්ට් එක ගාවින් යද්දී වාහනෙන් බැහැලා දණ ගහලා වැඳලා යන්නේ. පහුගිය දවසකත් මම එතනින් යනකොට වඳිද්දී මිනිස්සු බලාගෙන හිනාවෙනවත් මම දැක්කා.
මම එදා ඉඳන් පොඩි පොඩි ගල් 1000ට ගන්නවා 2000ට විකුණවා වගේ බිස්නස් එක කරගෙන ගියා. ඒත් මම පතල් කපන එකනම් නතර කළේ නැහැ. ඒ අතරේම කටුබැද්ද විශ්වවිද්‍යාලයෙන් මැණික් හා ස්වර්ණාභරණ උපාධිය කළා. ඒකට මට උදව් කළේ ආර්.ජී. කරැණාතිලක සර්. ලංකාවේ මැණික් පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක් මම.
එකපාරටම ඔබ කොහොමද කෝටිපතියෙක් වුණේ කියලා ඇහුවොතින්?
මම ඒ කතාවත් කියන්න කලින් කියන්න ඕන දෙයක් තියෙනවා. මම ජෙම් බිස්නස් කරද්දී කාර් එකක් තියෙන්න ඕනනේ. අනිත් එක කැම්පස් එන්නත් බැහැනේ බස් එකේ. මම එතකොට 2009 ලියාපදිංචි ප‍්‍රියස් කාර් එකක් ගත්තා. වාරිකේ එතකොට 17500ක් මතක විදියට. කාරෙක ගත්තට මට පෙට‍්‍රල් ගහන්න වැඩිය වියදම් කරන්න බැහැනේ. මම කන්දක් නැඟලා පල්ලම යන්නේ නිව්ටල් කරලා. මම දන්නවනෙ මගේ අතේ තියෙන ගාණ. මම ටාර්ගට් එකට වැඩ කළේ. මම හැමදාම නොකඩවා බත් පැකට් එකක් කාටහරි කන්න දුන්නා. ඒකෙන් මම ලොකු සතුටක් ලැබුවා. මම කලින් කැපුව පතල වහලා දාලා ඒක තිබුණු තැන ඉඳන් මීටර් 800ක් විතර ඈතින් අඩි හතරයි හතරයි පතලක් කැපුවා. අඩියයි අගල් 18 ක් කපද්දී මට නීලමක් හම්බවුණා. ගාණ ඕන නැහැනේ නේද? ඒකෙන් තමයි මම ගොඩ ගියේ.
(ලෝකයේ ඇති මැණික් ගල් වර්ග සහ දියමන්ති ගැන වටිනාකම් අනුපිළිවෙලින් නම් සහිතව කියන්න පටන් ගත්තා.)
නිල් ගල් තමයි ලස්සනම මැණික් ගල් වර්ගය. මම බිස්නස් කරන්නෙ නිල් ගල්. ඉතින් දිගටම පතලෙන් ගල් මතු වුණා.
මම ඇළහැර, බකමූණ, දෙනියාය, තිස්සමහාරාමය, මොණරාගල, ඔක්කම්පිටිය මැණික් ගල් බිස්නස්වලට යනවා. ඒ යන ගමන් මම හොටෙල්වල නිදාගන්නෙ නැහැ. මගේ වාහනේමයි මම නිදාගන්නේ. සබන් කෑල්ල, ටූත් බ‍්‍රෂ් හැමදේම කාර් එකේ දාගෙන ගියේ. කාර් එකේම නිදියනවා. පල්ලමක් යද්දී නිව්ටල් ගහගෙන යනවා. සකසුරැවම උපරිමෙන්ම මම තියාගත්තා.
අපිට අපේ ආත්මය හැමදෙයක්ම කියනවා. මැණික් ව්‍යාපාරයේ මගේ දියුණුව තියෙනවා කියලා මට මගේ ආත්මය කිව්වා.
මට වැඩිපුර තණ්හාවක් නැහැ. හිතන්නකො මම කලින් හමුවුණු 220 ගල 90000කට දුන්නා. මම හිතන්නේ මම ඒක 230ට දුන්නත් කමක් නැහැනේ. මට රුපියල් 10ක් ලාභයිනේ නේද? වැඩි තණ්හාවට ගියොත් ඉවරයි. මම සාධාරණව මගේ ගාවට එන මිනිස්සුත් සතුටුවෙන විදියට බිස්නස් කරන්නේ. මගේ ගාවට එන කිසි කෙනෙක්ව මම හිස් අතින් හරවලා යවන්නේ නැහැ. මැණික් ගලක් අරන් එන්නේ කවුද? ඒ ගල මම ගන්නෙ නැතිනම් මම එයාලට අතරමඟදී තේ එක බොන්න, තෙල් ටිකක් ගහගන්න අඩුම රුපියල් දහදාහක්වත් දීලා හිත් සතුටු කරලා යවන්නේ.
වාසනාව කියන දේ ගැන ඔබ මොනවද හිතන්නේ?
මම වාසනාව කියන දේ ගොඩක් විශ්වාස කරන කෙනෙක්. මම මේ දවස්වල සමහර දේවල් ගැන හොයමින් ඉන්නේ. ධන රේඛාව තිබුණත් සමහර අය, මගේ යාළුවෝ පවා ඉන්නවා ධනය නැහැ. මම මේ වෙද්දී ලක්ෂයක් විතර අත් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඇඟ පුරා ධන රේඛාව තිබුණත් වැඩක් නැහැ කළමනාකාරීත්වයක් නැත්නම්.
මම විශ්වාස කරන විදියට කෙනෙක්ට පළවෙනියටම තියෙන්න ඕන වාසනාව. දෙවැනියට උත්සාහය. ඒ කියන්නේ කට්ට කන්න ඕන, කැපකිරීම් කරන්න ඕන. තුන්වැනියට හරි දැක්ම. ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන්. රැකියාවක් වෙන්න පුළුවන්.
ඔන්න ඔය කිව්ව තුනම කෙනෙක්ට තියෙනවානම් ලොකු කම්පනි එකක හිමිකාරයෙක්, එහෙමත් නැත්නම් තමන්ගේ රුකියාවෙන් ඉහළටම යන්න පුළුවන්. අපේ රටේ පළවෙනියට ධනවත්ම පුද්ගලයට කම්පනි 200ක විතර හිමිකරුවෙක්. එතුමාගේ ආදායම කෝටි 7000යි කියලා කියන්නේ. මම දන්න මැණික් ව්‍යාපාරිකයෝ ඉන්නවා එයාලා ගාව තියෙන එක මැණික් ගලක වටිනාකම කෝටි දහදාහක් පහළොස් දාහක් වෙනවා. ඒගොල්ලන්ට තියෙන්නේ බී.ආර්. එකක් (ව්‍යාපාර ලියාපදිංචියක්) විතරයි. වාසනාව තියේනම් එකම දේකින් වුණත් ඉහළට යන්න පුළුවන්. ඒත් වාසනාව අඩු වුණත් දක්ෂතාව කැපවීමෙන් වැඩ ගොඩක් කරලා තමන්ගේ අරමුණට යන්න පුළුවන්. වාසනාව ගොඩක් තිබුණනම් කම්පනි 200කින් ලෝකෙම හොලවන්න පුළුවන් කියලයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ.
මිනිස්සුන්ට නිකම් දෙන එක ගැන මොකද හිතන්නේ? නිකම් දුන්නම මිනිස්සු කම්මැලි වෙනවා නේද?
මම කර්මය ගොඩක් විශ්වාස කරන කෙනෙක්. අපේ හැමදෙයක්ම තීරණය වෙන්නේ පින පව මතයි. කුසල අකුසලයන් මතයි. පින් අඩු කෙනෙක්ට ආහාර මල්ලක් දුන්නට කමක් නැහැ. අපි ඒගොල්ලන්ට දෙන්න ඕන. අපිත් ඒ අයට මොකුත්ම නොදුන්නොතින් ඒ මිනිස්සු බඩගින්නේ අසනීපවෙලා මැරිලා යාවි. ආහාර මල්ලක් දීමෙන් මිනිස්සු කම්මැලි වෙන්න පුළුවන්. ඒත් ආධ්‍යාත්මිකත්වයට දහමට ඉඩ දුන්නම අපි එයාට භෞතිකව උදව් කරන්න ඕන නේද?
ඔයා දන්නවද මම අමෙරිකාවට ගිය වෙලාවේ මේ ඇස් දෙකින් දැක්ක දෙයක් ඔයාට කියන්නම්. අපේ රටට වඩා දුප්පත් අය අමෙරිකාවේ ජීවත් වෙනවා. සුපිරි රටක ඉපදෙන්න ඒ මිනිස්සුන්ට වාසනාව තිබුණට පින නැහැ සැප විඳින්න. කර්මය නේද?
ප‍්‍රියාන් මේ වෙද්දී මොනවද දීලා තියෙන්නේ කියලා මම ඇහුවොත් කොයි වගේ උත්තරයක්ද මට ලැබෙන්නේ ?
මම මේ වෙද්දී මුදලින් ලක්ෂ 63,000 ක් විතර දීලා තියෙනවා. ඔය මම කිව්වේ වටිනාකම ගණනය කරලා තියෙන ගාණ. ඊට අමතරව මම බයිපාස්වලට කැන්සර්වලට අත පය නැති කට්ටියට අත පය ගන්න වගේ දේවල් වගේම ලෙඩරෝගවලට බෙහෙත් හේත් ගන්න වගේම රෝදපුටු එහෙමත් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ වගේම මම ගෙවලුත් හදලා දීලා තියෙනවා. මම පන්සල්වල චෛත්‍ය විතරක් 101 ක් හදා දීලා තියෙනවා. එක චෛත්‍යයකට ලක්ෂ 150 – 175 විතර වැය කරන්න වෙනවා. ඒ වගේම මම සංඝාවාසත් හදා දීලා තියෙනවා. පන්සල්වල කඨින පූජා කරලා තියෙනවා. ඒවායේ විස්තරනම් මට මතකත් නැහැ. තව මම දවස ගාණේ වියළි ආහාර මළු 15,000 ක් විතර බෙදා දෙනවා. රෝදපුටු 18,000 ක් මේ වෙද්දී පරිත්‍යාග කරලා තියෙනවා. මම මගේ ඇඟෙන් දුන්නු ලේ කොච්චරක්ද කියලා කියන්න මට මතක නැහැ. දෙන හැමදේම මම ගණනය කර කර දෙන්නේ නැහැ.
► Text & pic — Chandana Waravitage