2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

අනුන්ගේ ගීත ගයලා ඒ රටේ ගායකයෝ වෙන්න බැහැ

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

විදෙස් ගතව කාලයක් හිටපු චුල්ල ලංකාවට පැමිණ කරපු සංගීත කටයුත්ත ගැන මුලින්ම කතා කළොත්...?
මම ඉන්නේ ස්විඩනයේ... අමෙරිකාවේ ඉන්න සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙලා පසුගියදා මොරගොල්ලේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා. ඒ ප්‍රසංගයට මටත් එකතු වෙන්න කියලා ඔවුන් ආරාධනා කළා. ඒනිසා මම ඒ වෙනුවෙන්ම ස්විඩනයේ ඉඳන් ලංකාවට ආවා. එම ප්‍රසංගය අවසානයේදී බොහෝ දෙනකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ රටේ ඉපදුණු මට මේ රටේදීම විදෙස් සංගීත කණ්ඩායමක් එක්ක ගීත ගායනා කරන්නට හැකිවීම සම්බන්ධව ඒ අය ගොඩාක් සතුටු වුණා. ප්‍රසංගය බලන්න ආපු බොහෝදෙනා මම ළඟට ඇවිත් මාත් එක්ක ෆොටෝ අරගෙන මට ආශිර්වාද කළා.

චුල්ල වැඩිපුරම ගායනා කරන්න කැමති ගීත මොනවාද?
මේ වනවිට මම මගේම ගීත ඇල්බම් තුනක් කරලා තියෙනවා. ඒ ගීතවලින් වැඩිපුරම කියවෙන්නේ අපේ දහම, අපේ පරිසරයට වෙන හානිය, මිනිසුන් මේ රටට කරන හානිය, පරිසරයේ සුන්දරත්වය, අපේ බුදුපියාණන්ගේ ගුණ ආදිය ගැනයි. ඒ තේමාවන් මුල්කරගෙන මම ගීත ගායනා කරපු නිසාම ඒක ඒ අයට බොහෝ තදින්ම දැනුණා. මම වගේ ගමේ ඉපදුණු කොල්ලෙක් මේ වගේ ගීත ගැයීම ගැන ඒ අය ගොඩාක් අගේ කළා. 

චුල්ලගේ සංගීත ජීවිතය ඇරඹුණේ කොතනින්ද..?
මම 2005 දී තමයි ස්විඩනයට ගියේ. ලංකාවේදී මම ගමේ සංගීත කණ්ඩායමක් එක්ක ටික කාලයක් හිටියා. ඒ බෑන්ඩ් එකේ අපි වැඩිපුරම ගායනා කළේ ඉංග්‍රීසි ගීතයි. මම හැදුණේ වැඩුණේ මුහුදට කිට්ටුව නිසාම අපිට මුහුද, වෙරළ හරි සමීපයි. නිතරම අපි දැක්කේ විදේශීය සංචාරකයින්. ඒ නිසාම ඔවුන්ට ගැලපෙන විදිහට අපි අපේ සංගීත කණ්ඩායමේ වැඩිපුරම ගායනා කළේ ඉංග්‍රීසි ගීතයි. එතැන තමයි මගේ සංගීත දිවිය ආරම්භය වුණේ.

චුල්ලට ස්විඩනයට යන්න මඟ පෑදුණෙත් මොවුන්ගේ ඇසුර නිසාමද?
ඔව්... ඔය කාලයේදී මට ස්විඩන් ජාතික කාන්තාවක් මුණගැහුණා. ඇයයි මමයි බොහෝ හිතවත් වුණා. ඇය මගේ සංගීතයට බොහෝ ඇලුම් කළා. ඇත්තටම මුලදී මට මුණගැහුණේ මගේ බිරිඳගේ යාළුවෙක්. අපි කරපු ප්‍රසංගයක් බලන්න ඒ යාළුවා ඇවිත් තිබුණා. ප්‍රසංගය අවසානයේදී ඒ යාළුවා මගේ ෆොටෝ එකක් ගත්තා. ඒ මාර්ගයෙන් තමයි මට මගේ බිරිඳව මුණගැහුණේ. ඊට ටික කාලයකට පස්සේ මටත් ස්විඩනයට යන්න අවස්ථාව ලැබුණා.

ඒ රටට ගිහින් චුල්ල මුලින්ම කළ රුකියාව මොකක්ද?
මම මුලින්ම ස්විඩනයට ගිහින් වසර තුනහමාරක්  ඒ භාෂාව හොඳින් ඉගෙනගත්තා. ඊට කාලයකට පස්සේ ස්වීඩනයේ තිබුණු “Auris නම් සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයේ සේවයට බැඳුණා. ඒ රටේදී ගායකයෙක් විදිහට හඳුන්වන්න නම් අපිට අපේම කියලා ගීත එළිදක්වන්නට ඕනේ. ඒ රටේදී අනුන්ගේ ගීත ගායනා කළාට කවමදාකවත් ගායකයෙක් කරන්නේ නැහැ. ඒ නිසාම මමත් ඒ රටේ ඉඳිද්දී මගේම ගීත කිහිපයක් නිර්මාණය කළා. මම පද රචනය කරලා... මමම ඒ ගීත සංගීතවත් කළා. ඒක මුලදී ලොකු අභියෝගයක් වුණා. විශේෂයෙන් ඒ රටේදී මම දන්න කියන කෙනෙක් ළඟ නැතිකොට එවැනි කටයුත්තක් කරන්න ටිකක් අමාරුයි.

නමුත් මගේ හිතට ශක්තියක් වගේම ලොකු ඕනෑකමක් තිබුණා... ඒ නිසාම ඒ රටේදී මම ගීත කිහිපයක් නිර්මාණය කළා. මම මුලින්ම ලිව්වේ “ජීවිතේ මේ සුන්දරයි කියන ගීතයයි. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තවත් ගීත එකොළහක් එකතුකරලා මම ගීත ඇල්බමයක් නිර්මාණය කළා. ඒ ගීත ඇල්බමය මම නම් කළේ “සිංහයෝ අපි කියලයි. ඒ ගීත ඇල්බමයේ සිංහල ගීත වගේම ඉංග්‍රීසි ගීත කිහිපයක් ද අඩංගු වෙනවා. බුදුපියාණන්ගේ ගුණ, සමන් දෙවිදුන්ගෙන් මට ලැබුණු පිහිට, රාවණා රජතුමා ගැන, පරිසරයට කරන හානිය පිළිබඳව ආදිය බොහෝ තේමාවන් යටතේ ඒ ඇල්බමය නිර්මාණය වුණා.

අද වනවිට චුල්ල වැඩිපුරම පරිසරයට ඇලුම් කරන කෙනෙක් බවට පත්වෙලා?
ඔව්... ලංකාවේ ඉඳිද්දී මම හරියට පරිසරයට ඇලුම් කළා. මේ පරිසරය කොයිතරම් නම් ලස්සනද කියලා එදාට වඩා තදින්ම අපිට දැනෙන්නේ වෙනත් රටකට ගියාට පස්සෙයි. ඒත්... මිනිස්සු ඒ පරිසරය විනාශ කරනවා. මට ඕන වුණේ හැමවෙලේම මේ පරිසරය විඳින්නයි. ඒ වෙනුවෙන් මම ගීත පවා නිර්මාණය කළා. ස්විඩනයේ ජීවත් වුණත් අදටත් මම මගේ රටට හරි ආදරෙයි. 29 වැනිදා මගේ තවත් ප්‍රසංගයක් පවත්වන්නට මේ දවස්වල අපි සූදානම් වෙනවා. ලංකාව කියන්නේ ලස්සන රටක්.. මම අදටත් භාවනා කරනවා. ඒ තුළින් හිතට දැනෙන සැනසීම අසීමිතයි. 

 

► Text - Dishani  / Pic – Fb