2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ආසිරි වැහි වරුසාවේ නත්තල් එනවා

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:31 318

නත්තල් සැමරුම
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ

කාඩ් යැව්වේ අතේ තෑපෑලෙන්

උපේඛා නිර්මාණි

ලබන්නා වූ නත්තල සතුටින් සාමයෙන් පිරි සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මම පදිංචිවෙලා ඉන්නෙ මීගමුවේ. බොහෝ කතෝලික මිනිසුන් පිරිසක් ජීවත්වන ප්‍රදේශයක් විදිහට මීගමුව හඳුන්වන්න පුළුවන්. මම බෞද්ධ කෙනෙක් වුණත් මම ජීවත් වුණු පරිසරයත් එක්ක පුංචි කාලේ ඉඳන් මට වැඩිපුරම ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ කතෝලික යාළුවොයි. අපේ මුළු පළාතම නත්තල සමරනවා. හැම ගෙයක්ම නත්තලින් පිරී ඉතිරිලයි තියෙන්නෙ. ඉතින් මෙවරත් මීගමුවේ මගේ ආදරණීය හිතමිතුරන් එක්ක නත්තල සමරන්න මම බලාපොරොත්තු වෙනවා. මට තාම මතකයි පුංචි කාලෙදීත් නත්තල සමරන්න අපි දින ගැන ගැනයි ඉන්නෙ. ඉස්කෝලෙ නිවාඩුව ලැබුණු ගමන් අපි යාළුවෝ කට්ටිය නත්තල සමරන්න ලෑස්ති වෙනවා. නත්තල් උත්සවය තියෙන්නෙ දෙසැම්බර් 25 වුණාට ඊට දවස් ගාණකට කලින් අපි නත්තල් ගස් හදනවා. ගව ලෙන් හදනවා. පල්ලි අලුත්වැඩියා කරනවා. යාළුවන්ට නත්තල් කාඩ් ලියනවා. සමහර කාඩ් අපි අතේ තැපෑලෙන් තමයි දෙන්නෙ. ඒක හරි සුන්දර කාලයක්. අදටත් වඩා ඒ කාලෙ සමරපු නත්තල හරි අපූරුයි. බෞද්ධ ගෙවල්වල පවා නත්තලට ගව ලෙන් හදනවා. අපේ වෙසක් උත්සවයට ඒ කතෝලික මිනිස්සු වෙසක් කූඩු හදනවා. ඉතින්.. මීගමුවේ හැම ගෙයක්ම නත්තලට හරි ලස්සනට සරසනවා. ඒ නිසා නත්තල අපි හැමෝටම හරි අපූරු කාලයක්.

කොළඹ ඉද්දි මටත් නත්තල්

සූර්යා දයාරුවන්

පුංචි කාලෙදීනම් මට කතෝලික යාළුවෝ හිටියෙ හරිම අඩුවෙන්. හැබැයි නත්තලට මම හරි කැමතියි. ටික ටික ලොකු වෙද්දී ගමෙන් කොළඹට ඒමත් සමඟ කතෝලික යාළුවොත් මට එකතු වුණා. නත්තල කියන්නෙ කතෝලික මිනිසුන්ගේ හරි අපූරු උත්සවයක්. එදාට කතෝලිකයන් පල්ලි ගිහින් යාඥා කරනවා. මටත් දැන් කතෝලික යාළුවෝ ඉන්නවා. ඒ අයගේ ආරාධනාවෙන් ඒ උත්සවවලට මමත් සහභාගි වෙනවා. නත්තලට කතෝලික මිනිස්සු නත්තල් ගස් හදනවා. ගව ලෙන් හදනවා. ජේසු බිළිඳුන් වෙනුවෙන් ඔවුන් මේ උත්සවය සමරනවා.
ඉතින්.. මේ ලබන්නා වූ නත්තල ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන්ට පමණක් නෙමේ ශ්‍රී ලාංකික හැමෝටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.


ලස්සන ගවුම් රෙදි අරන් ගෙවල්වලට ගියා

අයෝමි පෙරේරා

ලබන්නා වූ නත්තල සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලස්සන සුන්දර සාමකාමී නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
මම ඉගෙන ගත්තෙ පානදුර ශාන්ත අන්තෝනි සහ ශාන්ත මෙතෝදිස්ත බාලිකා පාසල්වලින්. ඒවා කතෝලික ආගමට නැඹුරු වුණු පාසල්. මට කතෝලික යාළුවෝ ගොඩක් හිටියා. ඒ අයගේ උත්සවවලට මම සහභාගි වෙනවා. මට තාම මතකයි ඉස්සර නත්තල් උත්සවයට අපිට එක දවසකට ආරාධනා කිහිපයක්ම ලැබෙනවා. ඉතින් පුංචි පුංචි තෑගි අරගෙන අපි ඒ හැම උත්සවයකටම පුළුවන් විදිහට සහභාගි වෙනවා. අපි නත්තලට ලේන්සු පෙට්ටි තෑගි කළා. කතාන්දර පොත් තෑගි කළා. එහෙමත් නැතිනම් ලස්සන ගවුම් රෙදි අරගෙන නත්තලට යාළුවන්ගේ ගෙවල්වල ගියා. ඒ බොහෝ දවස්වලට අර ලස්සන නත්තල් ගහ ළඟට වෙලා ඒවායේ හැඩවැඩ බලපු හැටි මට තාම මතකයි. අද වන විට මම බෞද්ධ ගීතවලට වඩා කතෝලික ගීත ගායනා කරලා තියෙනවා. පල්ලිවල වැඩසටහන්වලට සහභාගිවෙලා තියෙනවා. ඒ නිසා අපේ බුදුදහම වගේම ඒ ආගමත් අපිට දැනෙනවා. ජේසුගේ ආදරය, ආශිර්වාදය අපි හැමෝටම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා.

අදටත් නත්තල් ගහ සරසනවා

නුවන් ගුණවර්ධන

මම පුංචි කාලේ නත්තල සමරපු විදිහටම දැනටත් අපේ ගෙදර නත්තල සමරනවා. මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් සමාජීය විප්ලව, විෂමතාවයන් කෙසේ සිදු වුණත් නත්තල වෙනුවෙන් එදා ඉඳන් සුබ පතපු විදිහටම සියලු ලෝකවාසී ජනතාවට අදටත් මම සුබ පතනවා. සැමට සතුට සාමය පිරි සෞභාග්‍යමත් නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

ඒ කාලේ වගේම අදටත් නත්තල් ගහනම් අපේ ගෙදර අනිවාර්යයි. නත්තලට මම අනිවාර් යෙන්ම නත්තල් ගහ සහ ගව ලෙන හදනවා. විවාහ වුණාට පස්සෙ හැමදාම මම මගේ දරුවන් දෙන්නට නත්තල් සීයාගෙන් තෑගි ගෙනත් නත්තල් දාට හංගලා තියනවා. කාලයක් වනතුරැම ඒ තෑගි ගෙනත් හොරෙන් තියලා තියෙන්නෙ නත්තල් සීයා කියලයි ඒ දෙන්නා හිතාගෙන හිටියේ. පසුකාලීනව ඒ නත්තල් සීයා කියන්නේ එයාලගේම තාත්තා කියලා දැනගත්තත් නත්තල් සීයා වගේ තෑගි දෙන එක මම කවදාවත් නතර කළේ නැහැ. නත්තල් දවසෙ උදේට මම ඒ දෙන්නට ඒ තෑගි දෙනවා. ලෝකේ මොන විදිහේ වෙනස් වුණත්, නව තාක්ෂණය ආවත්, විද්‍යාත්මක දියුණුව ඇතිවුණත් මම පැරණි තාලෙටම නත්තල් ගහ සරසනවා. නත්තල් දා දැනෙන සතුට වෙනස්ම සතුටක්. ඒකට සොබාදහමත් එකතුවෙලා නත්තල තවත් සීතල කරලා දෙනවා.

නත්තල් කේක් හොරෙන් කෑවා

අනුරාධා එදිරිසිංහ

මම පුංචි කාලේ ඉගෙනගත්තෙ රෝමානු කතෝලික විද්‍යාලයකයි. අපේ ඉස්කෝලෙ එහා පැත්තෙ තිබුණෙ පල්ලියක්. මගේ එක වසරේ ඉඳලා අදටත් හොඳම යාළුවා වෙන ශක්ති කතෝලික යාළුවෙක්. ඉතින් මට තාම මතකයි ඉස්සර අපි එයාලගේ ගෙදර ගිහින් නත්තල් ගහ සැරසුවා. ගව ලෙන හැදුවා. ඒක හරි සුන්දර කාලයක්. නත්තල් කේක් හදද්දී අපි දෙන්නා හොරෙනුත් කේක් කාලා තියෙනවා. මගේ අම්මගේ ගම හලාවත. ඒකත් කතෝලික මිනිසුන් වැඩිපුර ජීවත් වන පළාතක්. ඒ නිසා අපි නත්තලට හලාවත ගියාමත් ඒකත් වෙනස්ම අත්දැකීමක්.

මට තාම මතකයි මම නත්තලට පල්ලි පවා යනවා. පුංචි කාලේ ඉඳන් ඉගෙනගත්ත ඉස්කෝලෙත් එක්ක නත්තල මට හරි සමීපයි. සමහර කතෝලික යාළුවන්ගේ ගෙවල්වලට ගියාම ඒ යාළුවන් එක්ක එකතුවෙලා අපි කෑම පිඟන් පවා ගෙවල්වලට ගිහින් දීලා තියෙනවා.
නත්තල කියන්නෙ හරිම සුවි‍ශේෂී උත්සවයක්. ගොඩක් නත්තල් උත්සවවලට මම සහභාගිවෙලා තියෙනවා. ඉතින්.. මේ ලබන්නා වූ නත්තල හැමෝටම සෞභාග්‍යමත් සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

නත්තල් සීයාගේ තෑගි ගන්න ආසයි

නිරංජනී ශම්මුග

අපේ රටේ හැම ජාතියකම මිනිස්සු ජීවත් වෙනවනෙ. නමුත් ජාතීන් වශයෙන් කොච්චර විවිධ මිනිසුන් ජීවත් වුණත් අපේ රට හැම උත්සවයක්ම සමරන රටක් විදිහටයි මම දකින්නෙ. අලුත් අවුරුද්දත් සිංහල දමිළ හැමෝම එකටම සමරනවා වගේ නත්තලත් අපි හැමෝම එකට සමරනවා. මගේ ගෙදර වෙසක් දවසට මම වෙසක් කූඩු එල්ලනවා. ඒ වගේ ලස්සන රටක් ඇතුළේ මේ අවුරුද්දෙත් නත්තල අපි හැමෝම එකතුවෙලා සමරමු.
මට දමිළ යාළුවෝ, බෞද්ධ යාළුවෝ වගේම කතෝලික යාළුවොත් ගොඩක් ඉන්නවා. ඒ අය එක්ක මම පල්ලියට යනවා. ගව ලෙනක් හදන්න, නත්තල් ගහක් හදන්න, නත්තල් සීයාගෙන් තෑගි ගන්න අපි හරි ආසයි. මට තාම මතකයි ඉස්සර නත්තල් සීයා අපිටත් තෑගි ගෙනත් දෙනකම් අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ ලබන්නා වූ නත්තලේ හැමෝටම හිතේ සතුටින් ජීවත්වෙන්න පුළුවන් සුන්දර කාලයක් උදාවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

 

► Text -Dishani  /  Pic –Sumudu & Intarnet