මේ කියන්න හදන කතාව ආරම්භ වෙන්නේ මීට අවුරුදු ගාණකට කලින්. කොළඹට ආසන්න නගරයක් වන දෙහිවල තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. දෙහිවල පහළ වලව්වේ ඉන්න හැඩකාර කඩවසම් තරැණෙයක් කිරි මණ්ඩලේ ගණකාධිකාරිවරයෙක් විදිහටයි සේවය කරන්නේ. මේ කියන හැඩකාරයට දෙහිවලම ජීවත්වෙන දුප්පත් පවුලක හැඩකාර තරුණියක් දකින්න හම්බවෙනවා. මේ තරුණිය දැක්ක ගමන් හිත ඇදිලා යන ඔය කිව්ව තරැණ හාදයා වලව් පැලැන්තියේ තමන්ගේ සියලු ඥතීන්ගේ අකමැත්ත මත අර හැඩකාරිය සහේට ගන්නවා. ඔන්න දැන් මේ දෙන්නට දෙන්නා බොහොම ආදරයෙන් පවුල් ජීවිතේ ගතකරනවා. කවුරු නැතත් දෙන්නට දෙන්නා බොහෝම ආදරෙන් පිරිමහගෙන ජීවත්වෙනවා. ඔහොම කාලයක් ගත වෙද්දී මේ දෙන්නගේ පුංචි පවුලට එකා දෙන්නා ගාණේ පස් දෙනෙක්ම එකතු වෙනවා. එයින් එක්කෙනෙක් දියණියක්. කියන්න අමතක වුණානේ මේ කියන පියාණන් ඇදුම රෝගයෙන් පීඩා විඳිනවා. තව ටික කලක් ගතවෙද්දී ඔන්න එක දවසක් තව පුතෙක් මේ දිරියවන්ත කුල කාන්තාව මෙලොවට බිහි කරනවා. ඔහු ඉපදුණු දවසෙම කිරි මණ්ඩලේ ගණකාධිකාරිවරයෙක් විදිහට සේවය කළ ඒ දරුවන්ගේ පියාගේ රුකියාව අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි කාලයාගේ ඇවෑමෙන් ඒ පියාණන්ට ඇදුම රෝගයත් උත්සන්න වෙලා රෝහල් ගාණේ යමින් ප‍්‍රතිකාර ගන්න සිදුවෙනවා.
ඔය කතාව මට කිව්වේ දෙහිවල හීල් වීදියේ දේශය මත රනින් එකමුතු යන නාමය ලියූ කෝටිපති ව්‍යාපාරික එස්. එම්. ඩී. පාලිත සපරාමාදු. එකමුතු එන්ටර්ප‍්‍රයිසස් යන නාමයෙන් යන්ත්‍රෝපකරණ කුලියට දෙන ආයතනයක් දෙහිවල හීල් වීදියේ වගේම අනුරාධපුරයෙත් ඔහුට අයත්ව තියෙනවා. ඒ වගේම බෙල්ලන්විල පන්සල අසල බරවාහන යන්ත්‍රෝපකරණ ගැන වෘත්තීය මට්ටමේ නිපුණයෙක් වෙන්න කියා දෙන පී. එස්. එකමුතු බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු පාඨමාලා පවත්වන්නේත් ඔහුගේම ව්‍යාපාරායතනය විසිනුයි. ඊට අමතරව හෝටල් කිහිපයකත් ඔහු හිමිකරැවෙක්. ඉතින් ඔබගේ ආරම්භයේ ඉඳන් අපි කතාබහ පටන් ගනිමු නේද?
මගේ පවුලේ සහෝදරියෝ ඔක්කොම පස්දෙනයි. එක්කෙනෙක් අක්කා කෙනෙක්. මම තමයි පවුලේ බාලයා. ඔයා කතාව පටන්ගත්ත තැනින්ම මමත් පටන්ගන්නම්. ඔයා කිව්වා වගේ මම ඉපදුණාට පස්සේ මගේ තාත්තාට රස්සාව අහිමි වෙනවා. අපිව හදන්න අපේ අම්මා ගොඩාක් දුක් විඳිනවා. දෙහිවල අහල පහළ සල්ලිකාර නෝනලගෙ ගෙවල්වලට මගේ රත්තරන් අම්මා උයලා පිහලා දෙන්න යනවා. ඒ ගෙවල්වලින් හම්බවෙන ඒගොල්ලෝ කාලා ඉතුරුවෙන බත්, මාළු පිනි අරන් ඇවිල්ලා අම්මා අපිට කන්න දීලා අපිව උස්මහත් කළා. ඔයා දන්නවද මගේ රත්තරන් අම්මා දවසකට ගෙවල් 07කට 08කට විතර උයලා දෙන්න යනවා.
අපේ ගෙදර එන්න එන්නම ආර්ථික ප‍්‍රශ්න වැඩි වුණා. තාත්තා ලෙඩ ඇඳේ දුක් විඳිනවා. අම්මා ගෙවල්වල බැල මෙහෙවර කරන්න යනවා. ඒත් ඉතින් දවසට බඩ පිරෙන්න නෙවෙයි බඩට ඕනතරම්වත් කෑම බීම හම්බවෙන්නෙ නැති දවස් ඕනතරම් තිබුණා.
ඔහුගේ දෙනෙත දීප්තිමත් වුණේ දෑසට නැගුණු කඳුළු කැටිතිවලට ඒ වායු සමනය කළ කාමරේ සවිකර තිබුණු විදුලි ලාම්පු එළිය වැටීමෙනි.
ලෝකේ ඕනෑම අම්මා කෙනෙක් තමන්ගෙ ලේ කිරි කරලා තමන්ගේ දරැවන්ට පොවලා ඇතිදැඩි කරනවනේ. එක දවසක් අම්මා පළාතේ තියෙන හැම ගේකටම ගියත් වැඩක් කරන්න හම්බවෙලා තිබුණේ නැහැ. එදා අපිට කන්න දෙන්න විදිහක් අම්මට තිබුණේ නැහැ. එදා අපේ අම්මා එයාගේ ඇඟේ දුවන ලේ පයින්ට් එකක් රැපියක් 13කට විකුණලායි අපිට කන්න ගෙනල්ලා තිබුණේ. තමන්ගේ ඇඟේ දුවන ලේ විකුණලා අපිට අපේ අම්මා කන්න දීලා.
ඔබගේ පාසල් කාලය ගැනත් කියමු නේද?
මම ගියේ දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද මහා විද්‍යාලයට. මම ඒලෙවලුත් කළා. මම පහේ පන්තියේදි තමයි අම්මා මාව ආර්ථික ප‍්‍රශ්න හින්දා ගරාජ් එකක වැඩ පුරැදු වෙන්න දැම්මේ. මම උදේට ඉස්කෝලෙ යනවා. ඉස්කෝලේ ඇරිලා කෙළින්ම යන්නේ ගරාජ් එකට. මළකඩ හූරන්න තමයි ගරාජ් එකේ ලොකු බාසුන්නැහේ මට භාර දුන්නේ. 10ට 12ට තමයි ගෙදරට එන්නේ. ආපහු උදේ නැගිටිනවා ඉස්කෝලේ යනවා. එතනින් කෙළින්ම ගරාජයට. ගරාජ් එකේ මට කතා කළේ පොඩි එකා කියලා. මගෙ වයසේ අනිත් ළමයි සෙල්ලම් කරද්දි මම කළේ ගරාජ් එකේ වාහනවල මලකඩ හූරන එකයි. ටීචර්ලා ගෙදර වැඩ දෙනවා. ඒත් ඉතින් මට ඒවා කරන්න වෙලාවක් කොයින්ද? ඉස්කෝලේ දාගෙන යන්න සපත්තු නැහැ. ඇඳගෙන යන්න ඇඳුම් නැහැ. මම ගියේ මිශ‍්‍ර පාසලකට. සමහර දවසට පහසුකම් ගාස්තු ගෙව්වෙ නැහැ කියලා අව්වේ දණගහගෙන ඉඳලත් තියෙනවා. ඒත් ඉතින් මම ඕවා ගෙදර ඇවිල්ලා අම්මටවත් කියන්නෙ නැහැ. ඇයි ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලන්න බැහැනේ. අම්මා ගෙවල්වල වැඩ කරලා හම්බවෙන දෙයින් කන්න විතරයි ප‍්‍රමාණවත් වුණේ. මම ඇඳුම් අණ්ඩ දාලා ඇඳගෙන ඉස්කෝලේ ගියේ. ඒත් 08, 09, 10 පන්තිවලට එනකොට මගෙ අතේ සල්ලි ගැවසුණා. වාහන හැදුවම මහත්තුරැ සල්ලි දෙනවනේ. ඔය කාලේ වෙනකොට මම දක්ෂ බාසුන්නැහේ කෙනෙක් විදිහටයි හැමෝම දන්නේ. මට ජීවිතේ කොහොමහරි ගොඩදාගන්න ඕන කියලා ලොකු පිපාසයක් තිබුණා.
මොකක්ද අර දෙකට කැඩිච්ච ත‍්‍රී වීල් එකේ කතාව?
(ඒ ගැන ඇහුවා විතරයි සපරමාදු මහත්තයගේ මූණට හිනාවක් නැගුණා)
සමාන්‍යපෙළ විභාගය කාලේ මම එකතු කරගත්ත සල්ලිවලින් ත‍්‍රීවිල් එකක් ගත්තා.
ඒක මේ ත‍්‍රී වීල් එකක් කිව්වට දෙකඩ කැඩිච්ච මලකඩ හැලෙන කටුගෙට යවන්න හොඳ එකක්. ඒත් මම බාසුන්නැහේනේ. මම ඒක අරගෙන ගරාජ් එකේ වැඩ කරන අතරේ පේන්ට් කරලා හැඩ වැඩ දාලා ඒක ලස්සනට හැදුවා. ඒ ත‍්‍රී වීල් එක ගෙනාව දවසේ මට අද වගේ මතකයි තාත්තා හොඳටම බැන්නා. ගොනෝ දරුවෝ ඉන්න ගෑනියෙක් අරන් ඇවිල්ලා වගේනේ කියලා. ඒත් එතකොටත් තාත්තා දැනගෙන හිටියේ නැහැ මේ පුතාගේ දක්ෂතාවය. මාස හයක් යද්දී ඒ ත‍්‍රී වීල් එක ඒ පළාතෙම තියෙන ලස්සනම ත‍්‍රී විල් එක විදිහට හදලා ගෙදර මිදුලේ ගෙනල්ලා නැවැත්තුවා. ඒක දැකලා තාත්තගේ ඉහේ මලක් පිපුණා වගේ. ඇයි මමනේ පවුලේ බාලයා. ඒ වෙනකම් අපේ ගෙදර බයිසිකලයක්වත් තිබුණේ නැහැ. ඒත් මම තමයි පළවෙනියට ගෙදරට වාහනයක් ගෙනාවේ. ඔන්න එදා තාත්තාට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ඒ ත්‍රීවීල් එකෙන් එක්කගෙන ගියේ. තාත්තා මඟදී කිව්වා පුතේ එකමුතු කියලා ත‍්‍රී වීල් එකේ පිටිපස්සේ ගහන්න. ඒ නම ඔයා හැමදාම පාවිච්චි කරන්න කියලා. මට දැන් මාර ප‍්‍රශ්නේ. ඇයි එකමුතු කිව්වම ඒක ක‍්‍රීඩා සමාජයක නමක් වගේනේ. මම ඇහුවා තාත්තේ ඒ නම ක‍්‍රීඩා සමිතියක නමක් වගේනේ ඇයි ඒ නම දාන්නේ කියලා.
පුතේ මම මැරුණත් ඔයා අයියලා අක්කා එක්ක ඒ කියන්නෙ සහෝදරයන් එක්ක එකමුතුව ඉන්න ඕන. එකමුතුකම තියෙන ඕනම දේකින් ජයගන්න පුළුවන් කියලා තාත්තා මට කිව්වා. ඒ වගේම පුතේ උඹ සහෝදරයන්ට කරන උදවු ගැන කවදාවත් උඹේ නෝනට කියන්න එපා. ඒ වෙලාවේ මට තාත්තා කිව්ව දේ ගැන එච්චර තැකීමක් තිබුණේ නැහැ. එකමුතුකම නැත්නම් ලෝකේ කිසිම කෙනෙක්ට ජය ගන්න බැහැ. එකමුතු කියන එක තමයි ලෝකේ තියෙන රත්තරන්ම අකුරැ ටික.
ඒක කියලා දවස් 15යි තාත්තා ජීවතුන් අතර හිටියේ. තාත්තා ඉස්පිරිතාලෙදිම නැතිවුණා. තාත්තා දුන්න නම තිබ්බත් හරි දන්නේම නැතුව ව්‍යාපාරය උඩට ආවා බලන් ඉද්දීම.
එකමුතු කියන නමින්ද ඔබ ඔබේ ව්‍යාපාරය ආරම්භ කළේ?
නැහැ නැහැ. මම ත‍්‍රී විල් එකේ ඒ නම ගැහුවට අ.පො.ස උසස් පෙළ ඉවර කරලා මම මගේම ගරාජයක් පටන් ගත්තා. මම ටෙස්ට් රයිට් ඔටෝ මොබයිල් කියලා ඒකට නම තිබ්බේ. මිනිස්සු වාහන හදාගෙන යනවා. ඒත් සල්ලි හම්බවෙන්නේ නැහැ. ඔහොම වැඩ කරගෙන යද්දි එක එක බාසුන්නැහේලා ඇවිල්ලා ආයුධ, වැඩ කරන මෙවලම් ඉල්ලනවා. කම්ප්‍රෙශර් බෝතල් සෙට්, ග‍්‍රිල් ග‍්‍රයින්ඩර්. මම කළ වැඩේ ඕවා මුලින් මුලින් යාළුවන්ට පොඩි ගාණක් අරගෙන කුලියට දුන්නා. කුලියට දෙන වැඩේ හොඳට නැගලා ගියා. ඔය අතරෙදි මම එක එක වැඩ කොන්ත‍්‍රාත් අරගෙන කළා. ගෙවල්වලට ගිහිල්ලා ෆ‍්‍රිජ් පේන්ට් කරනවා, ෆෑන් පේන්ට් කරනවා වගේ වැඩ තමයි කළේ. ඒ අතරේ මම ත‍්‍රී වීල් එකත් දිව්වා. ඒ සිද්ධිය වුණේ 1996 වගේ මට මතක. මගේ ත‍්‍රී වීල් එකේ හයර් එකක් ගිය මහත්තයෙක්ට මම මම ගැන කිව්වා. ඒ මහත්තයා මට මීගමුවේ ලිෆ්ට් වගේකුයි ෆෑන් වගේකුයි පේන්ට් කරන්න සෙට් කරලා දුන්නා.
( කතාබහේ තව කොටසක් ලබන සතියේ....)
► Text & pic — Chandana Waravitage