2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

විරූපි මල්ටිගේ සුරූපි ආදරේ

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

මල්ටි අවුරුදු 15ක කෙල්ලෙක්. එයා ගොඩාක් ලස්සන කෙනෙක්. මල්ටි ජීවත් වුණේ ඉන්දියාවේ දිල්ලි නගරයේ. සංගීතයට ගොඩාක් කැමති හින්දා අනෙකුත් අධ්‍යාපන කටයුතු කරන ගමන් මල්ටි සංගීතය ඉගෙනගන්න සංගීත පන්තිවලටත් යනවා. ඔන්න ඔය අතරේ ඒ පළාතේ ඉන්න අවුරුදු 35ක විතර මනුස්සයෙක් මල්ටිගෙන් ආදරය පතාගෙන ඇය පස්සෙන් එනවා. මල්ටිගේ ආදරය ඉල්ලගෙන ඔහු ආව වාර ගාණ එක දෙක නෙවෙයි කියන්න බැරි තරම් වාර ගණනක්. එදත් වෙනදා වගේම මල්ටි සංගීත පන්තිය අහවර කරලා නිවසට යන්න පිටත් වුණා. මෙන්න එක පාරටම මල්ටිගේ ආදරය අයදින අර අවුරුදු 35 මනුස්සයා තව යාළුවෝ කීප දෙනෙක් එක්ක මල්ටිගේ ඉස්සරහට ආවා. එක පාරටම අතේ තිබුණු භාජනයක් අරගෙන කරකවලා මල්ටිගේ දෙසට විසි කරනවා. මල්ටිට මතක එච්චරයි.

මල්ටි වේදනාවෙන් කෑ ගැහුවා. ඒ අතරේ රෝහල්ගත කරන මල්ටිව වෛද්‍යවරු බේරගන්න උත්සාහ කළා. මල්ටිගේ ජීවිතය බේරගන්න ඒ වෛද්‍යවරුන්ට පුළුවන් වුණා. ඒත් මල්ටිගේ සුන්දර රූ සපුව වෙනුවට තිබුණේ ඇසිඩ් ප‍්‍රහාරයෙන් දැවී ගිය මුහුණත් සිරුරත් විතරයි. කාලය ගෙවුණා. මල්ටිට ජීවිතෙන් සමුගන්න හිතුණු වාර ගාණ අනන්තයි. ඒත් ඇය ජීවිතයට මුහුණ දුන්නා. කාලය ගතවෙද්දී ඇයට මාධ්‍ය ආයතනයක සේවය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ඇය හැමදෙයක්ම ලැබෙනකම් බලාගෙන ඉඳලා නෙවෙයි. ඇය ඇසිඩ් නතර කරන්න ඊට එරෙහිව උද් ඝෝෂණ කරනවා.

ඒ කතාව එහෙම තියෙද්දි ඔයාට මේ කතාවට සම්බන්ධ වෙන තවත් කෙනෙක් ගැන කියන්න ඕන. එයාගෙ නම අමෝල්. අමෝල් කියන්නේ යුධ හමුදාවේ සේවය කරලා යුද්ධයකදී ප‍්‍රහාරයන්ට ලක්වෙලා බෝම්බ කෑලී එක්ක ජීවත් වෙන කෙනෙක්. ශල්‍යකර්ම කිහිපයකින් පස්සේ එයාට යුධ හමුදා රැකියාවෙන් ඉවත් වෙලා මාධ්‍යවේදියෙක් විදිහට ආපහු අලුතෙන් ජීවිතය පටන් ගන්නවා. ඒ අතරේදී අමෝල් ඇසිඩ් ප‍්‍රහාර හින්දා ඉන්දියාවේ සිදුවෙන අකාරුණික දේ වෙනුවෙන් හඬක් නගන්න රාජ්‍ය නොවන ආයතනයක සාමාජිකයෙක් විදිහට ක‍්‍රියාකාරිකයකු විදිහටත් ක‍්‍රියා කරනවා. ඔන්න ඔය අතරේදී අමෝල්ට මල්ටිව හමුවෙනවා. දෙන්නත් එක්ක ඇසිඩ් ප‍්‍රහාරයන්ට එරෙහිව විවිධ කාර්ය කටයුතු කරමින් ඉද්දී මේ දෙන්නා අතර ආදරයක් ඇති වෙනවා. දෙන්නටම  ඕන වුණේ ආදරය කර කර ඉන්න නෙවෙයි. විවාහ වෙන්නයි. ඒත් අමෝල්ගේ නිවසෙන් ඇය විරූපී කෙනෙක් කියා අකමැති වෙනවා.

කතාවේ ඉතුරු ටික දැනගන්නනම් ඔබට 2020 ජනවාරි 10 වැනිදා තිරගත වෙන ඡාපාක් කියන හින්දී සිනමාපටය නරඹන්නම වෙනවා. ඡාපාක් හින්දී සිනමාපටය ලක්ෂ්මී අග‍්‍රාවල් සහ ආලෝක් දික්සිත් කියන දෙන්නගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේඝනා ගුල්සාර් අධ්‍යක්ෂණය කරලා තියෙන මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ සහ දීපිකා පඩුකෝන්, ගෝවින්ද් සිං සන්දු සහ මේඝනා ගුල්සර්.
අතිකා චෝහාන් සහ මේඝනා ගුල්සාර් විසින් තමයි ඡාපාක් හින්දී සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ. තිරරචනය කරලා තියෙන්නේ අතිකා චෝහාන් සහ මේඝනා ගුල්සාර් විසින්මයි. ශන්කර් - ඒශාන් - ලෝ විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන මේ සිනමාපටයේ චරිතයන්ට පණ පොවන ඔවුන් ගැන කියන්නයි දැන් මේ සූදානම.

මල්ටිගේ චරිතයට පණ පොවන්නේ ඔබ අපි ආදරය කරන හැඩකාරියක්. මෙන්න මේ සිනමාපට ගැන කිව්ව ගමන් ඇයව අපිට මතක් නොවී තියෙන්නම නැහැ.

Om Shanti Om (2007), Love Aaj Kal (2009),Cocktail (2012),Chennai Express (both 2013), Happy New Year (2014), Bajirao Mastani (2015) Padmaavat (2018),Goliyon Ki Raasleela Ram-Leela (2013) Piku (2015) XXX: Return of Xander Cage (2017)

1986 ජනවාරි 05 වැනිදා ඩෙන්මාර්කයේ කොපෙන්හේගන්වල ඉපදුණු ඇය මේ වෙද්දී ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ වන අතර ඇය ඊට කලින් ජීවත් වුණේ ඉන්දියාවේ බැන්ගලෝර්වලයි. 2005 වසරේ පටන් හින්දී සිනමාව නියෝජනය කරන ඇය නිළියක් සහ සිනමාපට නිෂ්පාදිකාවක් ද වශයෙන් වෘත්තියේ නියැලෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්ම්මාන උළෙලවලින් සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන් කරගන්න සමත් වුණු ඇය 2018 දී විවාහ වුණේ ජනප‍්‍රිය නළුවෙක් වන රන්වීර් සිං සමඟිනුයි. දැන් මේ කවුරු ගැනද කියන්නෙ කියලා ඔබ දන්නවනේ. ඔව් ඔබ හරි දීපිකා පඩුකෝන් තමයි මේ සිනමාපටයේ ඇසිඩ් ප‍්‍රහාරය එල්ල වුණු යුවතියගේ චරිතයට පණ පොවන්නේ.
දැන් ඔබට කියන්න හදන්නේ අමෝල්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතයන්ට පණ පොවා තිබෙනවා.

Kahaan Hoo Main  2004,Dharam Veer, Balika Vadhu, Baba Aiso Varr Dhoondo, Qubool Hai.,Lootera, Dil Dhadakne Do,Half Girlfriend,Death In The Gunj,web-series Mirzapur (2018) Criminal Justice (2019).
1987 අ‍ෙප්‍ර්ල් 03 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ටා ප‍්‍රාන්තයේ මුම්බායිවල ඉපදී දැනටත් එහිම ජීවත් වෙන ඔහු 2004 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් විදිහට නියෝජනය කරනවා. ඔහු නමින් වික‍්‍රාන්ත් මැසේ.
ඔය කිව්ව දෙන්නට මතරව රෝහිත් සුඛ්වානීත් මේ සිනමාපටයේ උප ප‍්‍රධාන චරිතයකට පණ පොවනවා.

ඡාපාක් කියන හින්දී සිනමාපටයේ තිබෙන මන බඳින ගීතයන් සප්ත ස්වරයෙන් ශංකර් ඒශාන් ලෝ කියන සංගීතවේදීන් තුන්දෙනා විසින් හැඩ කරලා තියෙන අතර එහි ගීය පද රචනය කර තියෙන්නේ ගුල්සාර්.

 

► Text — Chandana