2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

2019 කොහොමද?

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:31 139

රටේ පාලනය වෙනස් වෙනකම් කසාදයත් කල් දැම්මා

අනූෂා දමයන්ති

2019 වසර ලබද්දී අපිට බලාපොරොත්තු බොහෝමයක් තිබුණා. නමුත් වසර මුලදී අප්‍රේල් මාසයේදීම අපි කවුරුවත්ම හිතපු නැති මොහොතක සිදුවුණු පාස්කු ප්‍රහාරය නිසා හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණා. කලා ක්ෂේත්‍රයත් ඒ විදිහම තමයි. ඒ කඩා වැටීමත් සමඟ අපේ වෘත්තීය මට්ටමේ ජීවිතයත් කඩා වැටුණා. ඒ හැමදේම අපිට ආපස්සට අරගෙන ගියා. කාලයක් යද්දී එකල පැවැති පාලන ක්‍රමය වෙනස්කොට අපිට අලුත් කෙනෙක් අවශ්‍ය බව තේරුණා. ඇත්තට කිව්වොත් මම මගේ විවාහය පවා මේ අලුත් පාලන ක්‍රමය සොයා ගැනීමේ මහන්සිය වෙනුවෙන් වෙන් කළා. 2019 වසර මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ මගේ විවාහයයි. නමුත් මේ වසර මගේ ජීවිතේ ඒ විශාල බලාපොරොත්තුව පවා මඟඇරුණා. 
අවසානයේදී රටට වටිනා මනුස්සයෙක් යටතේ මේ රට පාලනය වුණා. ඒ හැමදේම එක්ක මේ වසර අපි සියලු දේට මුහුණ දුන්නු අවුරුද්දක් විදිහට තමයි මම නම් හිතන්නේ. 2019 වසර ගෙවන්නට සිද්ධ වුණු සහ ගෙවන අවුරුද්ද හරි තීරණාත්මක වසරක් වෙනවා. 2020 අවුරුද්ද මේ රටට අලුත් බලාපොරොත්තු ගොන්නකට මුහුණ දෙන වසරක් වේයැයි මම හිතනවා.

අපූර්ව එක්ක ගෙවිච්ච සුන්දර වසරක් 

තුමිඳු දොඩම්තැන්න

2019 වසර කලණිටයි මටයි දෙන්නටම සම්මාන ලැබුණු වසරක් විදිහට මම හිතනවා. අපි දෙන්නා රඟපෑ කුඹියෝ නාට්‍ය හා සහෝදරයෝ නාට්‍ය නිසා අපේ ජීවිතවලට වෙනස් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම 2019 වසරේදී මට නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ “යූ ටර්න් ෆිල්ම් එක මේ දිනවල තිරගත වෙනවා. ඒකටත් මේ දිනවල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වැඩකටයුතු සියල්ල සිදුවෙන අතරේ කලණිගේත් මගේත් පුංචි පුතු අපූර්වගේ පළමු වසර එයා සම්පූර්ණ කළා. එයාගේ දෙවැනි අවුරුද්ද මේ ගතවෙන්නේ. ඉතින් අපූර්වත් එක්ක ගත කරන කාලය මටත් කලණිටත් හරි සුන්දර කාලයක්. 2019 වසර හරි අපූරැවට පුංචි පුතාත් එක්ක ගතවෙලා යනවා. ඇත්තටම 2019 වසර මගේත් කලණිගේත් හරි අපූරු වසරක් වුණා.

කවුරුත් නොකළ වැඩක් මම කළා

හර්ෂ උඩකන්ද

2019 වසර මට නම් සුභදායි වසරක් වුණා. මම විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකක්ම මේ වසරේදී තිරගත වුණා. මට හිතෙන විදිහට කිසිම අධ්‍යක්ෂවරයෙක් යටතේ ඒ වගේ චිත්‍රපට දෙකක් මේ වසරේදී තිරගත වුණේ නැහැ. හැබැයි මම අධ්‍යක්ෂණය කළ “ගෝරි චිත්‍රපටයත් Face To Face චිත්‍රපටයත් මේ වසරේදීම තිරගත වුණා. ඒ නිසා මේ වසර මට සුවිශේෂියි... “ගෝරි චිත්‍රපටය ඉතා සාර්ථක චිත්‍රපටයක් බවට පත්වුණා. ප්‍රේක්ෂකයෝ ඉතා හොඳින් ඒ චිත්‍රපටය වැළඳ ගත්තා. Face To Face චිත්‍රපටයත් එහෙමම තමයි. මට මගේ චිත්‍රපට ජීවිතේ ඉතා සාර්ථක වසරක් ලෙස මේ වසර හඳුන්වන්න පුළුවන්. මගේ අනිත් චිත්‍රපටවලට වෙනත් නිෂ්පාදකවරුන් තමයි සම්බන්ධ වෙලා කටයුතු කළේ. හැබැයි මම අධ්‍යක්ෂණය කළ “සේද මාවත චිත්‍රපටයේ නිෂ්පාදනය කළේත් මමමයි. ඒ චිත්‍රපටයත් නිර්මාණය කරලා අවසන් වූයේ 2019 වසරේදියි. ඉතින් මේ ගෙවන වසර එක් ජීවිතේ හොඳම වසරක් විදිහට තමයි මම හිතන්නේ. කාර්යබහුලත්වය එක්ක ගෙවන ඒ වසර හරි සුවිශේෂියි.

වටිනාම තෑග්ගක් ලැබිච්ච වසරක් 

රොෂාන් රණවන

මගෙත්... කුෂ්ලානිගේත් ජීවිතවලට අපූරු තෑග්ග ලැබුණේ මේ වසරේදීයි. ඒ අපේ පුංචි පුතා. විවාහ වෙලා වසර කිහිපයකට පස්සේ අපි දෙන්නට එකතුවුණු පුතා අපේ ජීවිත සතුටින් පිරෙව්වා. ඒ නිසා කුෂ්ලානිගේත් මගේත් කාලය දැන් වැඩිපුරම ගෙවෙන්නේ පුංචි පුතා එක්කමයි. දැන් අපි දෙන්නගේ ලෝකය පිරිලා. ඒ සතුට වචනවලට පෙරලන්න මට තේරෙන්නේ නැහැ. වසර ලබද්දී අපේ හිතට ලොකු බලාපොරොත්තුවක් එකතු වුණා. මේ මාස කිහිපය තුළදීම මායි කුෂ්ලානියි හිටියේ ඒ අලුත් බලාපොරොත්තුවක් එක්කමයි. දවසින් දවස ඒ හීනයට අපි දෙන්නා ළංවෙද්දී දැනුණු සතුට... ඉතින් මේ වසර තමයි අපි දෙන්නාගේ ජීවිතේ සම්පූර්ණ කළේ. පිය පදවිය උරුම වුණු මගේ ජීවිතේ 2019 වසර කියන්නේ වටිනාම වසරක්.

රංගන ජීවිතේ අලුත් වෙනසක් අත්වින්දා

ගයාන් ගුණවර්ධන

2019 වසර මට මගේ සංගීත ජීවිතයටත් වඩා රංගන ජීවිතේ අලුත් වෙනසක් සිදුවුණා. මම කාලයකට පස්සේ මගේ දෙවැනි ටෙලි නාට්‍ය රංගනයෙන් එකතු වුණා. ඒ තරංග දිසානායක නිෂ්පාදනය කරන රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන “හුස්මක් තරමට ටෙලි නාට්‍යයයි. ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමෙන් රංගනයෙන් මම ටිකක් කාර්යබහුල වුණා. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මම නිවේදන කටයුතුවලටත් සහභාගී වුණා. ඒ රංගන කටයුතුයි, නිවේදන කටයුතුයි එක්ක තමයි 2019 වසර මගේ කාලය වැඩිපුර ගෙවුණේ. 2019 වසර කියන්නේ මට ඉතා හොඳ සාර්ථක වසරක්...  


නිදහස් ජීවිතයක් ගෙවුවා

සුරේෂ් ගමගේ

2019 වසර මට ගොඩාක් හොඳයි.. චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා.. ඒකේ වැඩකටයුතු අවසන් කළා. ඒ “නිලූ මං ආදරෙයි සහ ඇතුවත් බෑ නැතුවත් බෑ... චිත්‍රපට දෙකයි. අලුත් ගීත දෙකක් පටිගත කළා. කීපවතාවකදීම ප්‍රසංග කිහිපයකටම විදෙස් රටවල්වලට යන්න සිද්ධ වුණා. ඒ හැමදෙයක් එක්කම 2019 වසර කාර්යබහුල වුණා. ඒ හැම ප්‍රසංගයක්ම ඉතා සාර්ථ වුණා... ඉතින් මට හිතෙන විදිහට ආත්මීය ජීවිතේ දී වුණත් මම හරිම නිදහස් ජීවිතයක් ගතකළා කියලා..

බෝම්බෙත් එක්ක කඩා වැටිච්ච ඒත් නොවැම්බරයේ පිබිදිච්ච වසරක් 

චිලී තිවංක
2019 වසර ඒ තරම්ම කලා කටයුතුවලට දායක වුණු වසරක් නොවේ. අප්‍රේල් මාසේ රට පුරා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් එක්ක කලා කටයුතු බොහෝමයක් ඇණ හිටියා. බොහෝ කලා නිර්මාණ, ප්‍රසංග පවා කල්ගියා. බොහෝ දෙනා තුළ කලකිරීමක් තමයි හිත්වල ඇති වුණේ. හිතපු නැති මොහොතක සිදුවුණු මේ කඩා වැටීමත් නිසා අපිට බොහෝ ප්‍රසංග නැති වුණා. ඔය අතරේ දේශපාලන වටපිටාවත් වෙනස් වීමත් රට තුළ ඇති වීමත් සමඟ මේ කාලය ටිකක් වෙනස් වුණා... නමුත් 2019 අවසන් මාස දෙක තුළ රට තුළ යම් පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. මිනිස්සු ආයෙත් වැඩ කරන්න, සතුටින් ජීවත් වෙන්න පටන්ගෙන තියෙනවා. ඉතින් 2020 වසර අපි හැමෝටම හොඳ වසරක් වේවි කියලා අපි බලාගෙන ඉන්නවා.

 

► Text - Dishani  /  Pic –Sumudu & Intarnet