මෙනාරා... අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න..?
මගේ නම මෙනාරා තිසෙන්යා වීරතුංග. මගේ අම්මගේ නම පූර්ණිමා ජීවන්ති. තාත්තා ගිහාන් ධනුෂ්ක. මට එක නංගි කෙනෙක් ඉන්නවා. ඒ තිනාරා තිසුන්දි වීරතුංග. මම ඉගෙන ගත්තෙ විදුර විද්‍යාලයේ.
මෙනාරා මුලින්ම රඟපෑවේ සරිගම චිත්‍රපටයෙ.. එතකොට මෙනාරා චූටියි. ඒ නිසා ඒ කාලය ගැන එච්චර මතකයක් නැහැනෙ.. ඒ නිසාම අපි මෙනාරාගේ අම්මාගෙන් සරිගම චිත්‍රපටය ගැන පොඩ්ඩක් අහමු..?
දුව චූටි කාලේ ඉඳන්ම රඟපාන්න හරි ආසයි. ටී.වී. එකේ යන දේවල් බලලා එයා ඒ විදිහට රඟපාන්න උත්සාහ කළා. එයා නර්තනයටත් හරි කැමතියි. පුංචි කාලේ ඉඳන්ම එයා ඒ දේවල්වලට ආස බව අපිට තේරුණා. චූටි කාලෙත් රේඩියෝ එකේ, ටී.වී. එකේ සින්දු යද්දී එයා තනියම නැටුවා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එක එක චරිත රඟපෑවා. කණ්ණාඩිය දිහා බලාගෙන හිනා වුණා. සිරි පැරකුම් චිත්‍රපටයේ පුංචි දරුවාගේ ඒ කර්ල් කොණ්ඩයයි ඒ පෙනුමයි මෙයා චූටි කාලෙ වගෙයි. ඒ නිසා මෙයාගේ තාත්තාට මෙයාව රඟපාන්න යවන්න ලොකු ආසාවක් තිබුණා.
මෙහෙම ගෙදරදී රඟපාපු මෙනාරාට කැමරාවක් ඉදිරියේ රඟපාන්න අවස්ථාව ලැබුණෙ කොහොමද..?
(ඔන්න ඒ ප්‍රශ්නෙත් අපි ඇහුවේ මෙනාරාගේ අම්මගෙන්) දවසක් පුවත්පතක දැන්වීමක් තියෙනවා දැකලා මෙන්න මේකට අපි පොඩ්ඩක් දාලා බලමු කියලා දාලා බැලුවා. එතකොට මෙනාරා 3 වසරේ ඉගෙන ගත්තෙ. ටික දවසක් ගියාට පස්සෙ අපිට පරීක්ෂණයකට එන්න කියලා දැනුම් දීමක් කරලා තිබුණා. ඒකෙන් අක්කයි නංගියි දෙන්නම තේරුණා. (ඒ වෙද්දී මෙනාරාගේ නංගිගේ වයස අවුරුදු දෙක හමාරයි) හැබැයි ෂූටින් ගිහින් දවස් දෙකක් විතර ගිහින් නංගි මට යන්න බැහැ කියලා ඇඬුවා. මෙනාරා හොඳට රඟපෑවා. සරිගම චිත්‍රපටයේ ළමයි හත් දෙනාගෙන් හයවැනියා වුණේ මෙනාරා.
මෙනාරා.. සරිගම චිත්‍රපටය කරද්දී රඟපාන්න ආස හිතුණද..?
ඔව්.. මට ගොඩක් ආසා හිතුණා. හැබැයි පළවෙනි දවසෙනම් ටිකක් බය හිතුණා. මාව ගැහෙනවා වගේ දැනුණා. ඊටපස්සෙ අපි කට්ටියම හොඳ යාළුවෝ වුණා. ඒ නිසා ඒ බය නැතිවෙලා හරිම ආසාවෙන් රඟපෑවා. පූජා ආන්ටි අපිට හරි ආදරෙයි. එයා හරියට අපේ යාළුවෙක් වගේ අපිත් එක්ක එකතු වුණා. අපිත් එක්ක සෙල්ලම් කළා. අපිට හරියට උදව් කළා. අපේ අම්මි වගේ උදව් කරන නිසා අපිට බයක් දැනුණේ නැහැ. ඒ නිසා එයා එක්ක රඟපාන්න ආස හිතුණා. අපි ෂූටින් නැති වෙලාවෙත් පූජා ඇන්ටි එක්ක සෙල්ලම් කළා.
දුව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා නේද..? (අපි මෙනාරාගෙන් අම්මගෙන් ඇහුවා)
ඔව්.. සරිගම චිත්‍රපටයෙන් පස්සෙ දුවට වෙළෙඳ දැන්වීමකටත් ආරාධනා ලැබුණා. එයා ඒකට සහභාගි වුණා. ඊටපස්සෙ ටික කාලයක් ඒවාට සම්බන්ධ වුණේ නැහැ. අපි මූලිකත්වය දුන්නෙ දුවගේ අධ්‍යාපනයටයි.
සුනාමි චිත්‍රපටයට දායක වෙන්න දුවට අවස්ථාව ලැබුණේ කොහොමද කියලා අම්මගෙන් ඇහුවොත්?
සරිගම චිත්‍රපටය නිසා දුව ගැන විස්තර සෝමෙ සර් ළඟ තිබුණා. දවසක් සෝමෙ සර් අපිට කතා කරලා, අලුත් චිත්‍රපටයකට දරුවන් තෝරාගැනීමක් කරනවා. ඒකට මෙයාවත් එක්ක එන්න කියලා කිව්වා. අපි දුවවත් එක්කගෙන ගියා. එදත් වෙළෙඳ දැන්වීම්වල හිටපු දරුවන් ඇතුළු දරුවන් සියයක් පමණ තෝරාගැනීමට ඇවිත් හිටියා. එදා හැමෝටම වැඩමුළුවක් තියලා ඒකෙන් පිරිසක් තෝරාගත්තා. ඒ අයටත් වැඩමුළු කිහිපයක් තියලා අවසන් පස්දෙනා තෝරාගත්තා. නිරංජිගේ පෙනුමට ගැලපෙන, ඒ කර්ල් කොණ්ඩය තියෙන කෙනෙක් එහෙමත් බලලා තමයි මෙනාරාව තෝරාගත්තෙ.
නිරංජි කොහොමද..?
(මෙනාරා අපි අහපු ඒ ප්‍රශ්නයට උත්තර දුන්නෙ අපූරු හිනාවකින්) හරිම ෂෝක්. අපිට හරි ආදරෙයි. අපිත් එක්ක සෙල්ලම් කළා. මම මුලින්ම රඟපෑවේ උසාවියේ කොටසෙනුයි. ඒ කොටස අපි දවස් පහක් විතර උසාවියෙදී රෑගත කිරීම් කළා. මගේ නංගිට ඉන්න කෙනත් හරිම හොඳයි. එයා දෙමළ නංගියෙක්. ඉතින් අපි එයාට සිංහල කියලා දෙනවා. එයා මට දෙමළ කියලා දෙනවා. අපි දෙන්නා සෙල්ලම් කරනවා. සමහරදාට එයාගේ නංගිත් ෂූටින් කරන තැනට එනවා. අපි හැමෝම සෙල්ලම් කරනවා. නෙරංජි අක්කා මට මගේ චරිතය කරන්න ගොඩක් උදව් කළා. ඒ වගේම හිමාලි ඇන්ටි, දර්ශන අංකල්, බිමල් අංකල් හැමෝම මට උදව් කළා.
සුනාමි චිත්‍රපටය මුලින්ම දකිද්දී මෙනාරාට මොකද හිතුණෙ..?
ගොඩක් දුක හිතුණා. ඒ වගේ චරිතයක් කරන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටු වුණා. දුක හිතෙන චරිතයක් නිසා ෆිල්ම් එක බලද්දී මටත් ඇඬුණා.
► Text - Dishani / Pic - Sumudu