පහුගිය නත්තල් සමයේ එක්තරා චිත්‍රපට රූපගත කිරීමක් අතර ප්‍රවීණ කලා ශිල්පිනියක් දර්ශන තලයේ සිටි හැමෝටම නිවසේ හදන ලද නත්තල් කේක් කෑල්ල බැගින් ලස්සනට ඔතලා ගෙනැත් දුන්නා.
ඕක දෙන ගමන් ඇය හැමෝටම කිව්වේ මේක ක්‍රිස්මස් කේක් හොඳේ කියලා. ඉතින් හැමෝම ඇයට තෑන්ක් යූ කියලා.
හැබැයි එතන හිටිය එක කොල්ලෙක් මේ ශිල්පිනියගෙන් ඇහුවා මොකද මේ අක්කා - ක්‍රිස්මස් කිය කිය මේක බෙදන්නෙ කියලා.
නෑ ඉතින්... නැත්තං සමහරැ හිතයි මේක වෙඩිං කේක් කියලා,ඇය ගත් කටටම කිව්වා.
ඇගේ 70 වන උපන්දිනය යෙදී තිබුණෙ ඊට කළින් සතියේ.
හැම අවස්ථාවකදීම හාස්‍ය රසය හොයන කලාකරුවො ඉන්නවනෙ. මේ අයට පුලුවන් හැම වචනයක්ම වෙනත් අර්ථයක් දෙන විදිහට පෙරලන්න.
මෙන්න මේ වගේ ශිල්පියෙකු පහුගිය දවසක ගියාලු එයාගෙ ඇස් කන්නාඩි මාරු කරගන්න. ඊට කලින් ඔහුගේ ඇස් පරීක්ෂාවට ලක්කළ සේවිකාව කිව්වලු සර්ගෙ පව එක නම් ටික වැඩි කරගන්න වෙයි කියලා.
පිස්සුද මිස්, එහෙම කරන්න එපා. අපි රැස් කරගෙන තියෙන පව හොඳටෝම ඇති. පුලුවන් නම් ටිකක් පින වැඩි කරලා දෙන්න.
අයියෝ සර් මම කිව්වෙ සර්ගෙ කණ්ණාඩියේ පව එක ගැන.
අලුත් වසරක ආරම්භයත් සමඟම අපි හැමෝම වගේ ඉන්නෙ ගොඩාක් සතුටින්.
නව වසරට සුබ පැතීම, තෑගි බෝග හුවමාරු කරගැනීම, දිනපොත්, දින දසුන් හිතවත් අයට තෑගි කිරීම මේ කාලෙ සුපුරුදු අංගයක් වෙලා තියෙනවා.
අපේ කලා ලොවේ හිතවතෙකු ඔහුගේ මිත්‍රයෙකුට කෝල් කරලා හොඳ කැලැන්ඩරයක් ඉල්ලනවා අපට ඇහුණා.
මචං මට ඕනෙ ලොකු ඉලක්කම් තියෙන කැලැන්ඩරයක්, මොකද අපේ නැන්දම්මට පොඩි අකුරැ පේනවා හොරයි. අනිත් පැත්තෙ යාලුවා එකපාරටම අහලා තියෙනවා නැන්දම්මා ඉන්නෙ ඔයාගෙ ගෙදරනෙ. ඔයාට පුලුවන්නෙ එයාට ලංකරලා දින ටික පෙන්නන්න කියලා.
යාලුවාට තරු පෙනුණලු ලොකුවට. ඒත් එක්කම මතක් කළ යුතු තවත් කාරණයක් තියෙනවා. නව වසරට එන SMS සුබපැතුම්වලට සොයා බලන්නෙ නැතුව, එසේම වේවා කියලා ප්‍රතිචාර දක්වන්න එපා.
මොකද පහුගිය අවුරුද්දෙ මටත් එවැනි ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
අලුත් අවුරුදු දවසේ මගෙ අම්මා නැතිවුණා කියලා ආපු SMS එකටත් මම ඔබටත් එසේම වේවා කියලා එවලා තිබුණා
► Text - Mithra