2020 ජනවාරි 04 වන සෙනසුරාදා

කාලකන්නියා කියලා මට නොබැන්න කෙනෙක් නැති තරම්

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

මේ කතාබහේ පළමු කොටස ඉකුත් සතියේ පළවිය

- එකමුතු ව්‍යාපාර ජාලයේ අධිපති එස්. එම්. ඩී. පාලිත සපරාමාදු

ඒ මහත්තයාම මට පේන්ට් කරන්න කම්පේ‍්‍රශර් එකක් කුලියට අරගෙන දුන්නා. ඒකේ කරන්ට් ලීක් වෙලා මට කරන්ට් වැදිලා සිහිය නැතිවෙලා, ඊටපස්සේ ඒ මහත්තයා මාව ඉස්පිරිතාලේ ගෙනිහින් බෙහෙත් කරලා මට අලුත්ම කම්ප්‍රෙශර් එකකුත් අරන් දුන්නා වැඩේ කරන්න. උසස් පෙළ කරද්දී මම ගෙවල්වලට ගිහින් අයිස් පෙට්ටි පේන්ට් කළා. මම ගෙදරමයි ගරාජ් එක පටන්ගත්තේ. වැඩේ කියන්නේ ගරාජ් වැඩ කළාට සල්ලි ගන්න බැහැනේ. මට ඒක ලොකු හිසරදයක්. මම මගේ ත‍්‍රී වීල් එක පිටි පස්සේ කම්පේ‍්‍රශර් එකයි පොඩි පොඩි ආයුධයි කුලියට දෙනවා කියලා බෝර්ඩ් කෑල්ලක් එල්ලුවා. ඒ වැඩේ හොඳට නැගලා ගියා. වතුර ඉහින්න මෝටර්, බෝතල් සෙට්, වෙල්ඩින් ප්ලාන්ට් වගේ දේවල් කුලියට දෙන්න ගෙදර මඩුවක් ගහලා වැඩේ පටන්ගත්තා. කොළඹ ජීවත්වෙන මිනිස්සු ඉතාම කුඩා ඉඩකනේ ජීවත් වෙන්නේ. ඉතින් ගෙයක් පේන්ට් කරන්නේ අවුරුද්දකට දෙකකට සැරයක්නේ ඒගොල්ලන්ට ඉනිමඟවල් එහෙම ඕනවෙන්නේ. ඊටපස්සේ ඒවා තියාගන්න තැනක් නැහැනේ. මම කළ වැඩේ ඉනිමඟවල් පලංචි වගේ දේවලුත් කුලියට දෙන්න පටන් ගත්තා. ටික කාලයක් යද්දී ගෙදර ඉඩ මදි වැඩේට. මම පාර අයිනේ තැනක් කුලියට අරගෙන පොල් අතු මඩුවක් ගහලා එතන බිස්නස් එක පටන් ගත්තා. ඔහොම යද්දී සල්ලි එකතු කරලා කඩ කෑල්ලක් ගත්තා. මුලින්ම මට ලොකු වැඩක් විදිහට අවේ බේස් ලයින් පාර. මට ඒ වැඩේ ගන්න උදවු කළේ කුලතුංග කියලා ඉංජිනේරු මහත්තයෙක්. ඊටපස්සේ කොළඹ මාත‍ර හයිවේ එකටත් මම ටි‍්‍රපර් බුල්ඩෝසර් වගේ බර වාහන යන්ත‍්‍ර වගේම ඉදිකිරීම්වලට අවශ්‍ය කරන උපකරණ සහ මෙවලම් කුලියට දීලා වැඩ කරගෙන යනවා. අපේ ආයතනයේ ශාඛාවක් අනුරාධපුරයේත් තියෙනවා. ඒ වගේම මගේ සහෝදරයන්ටත් මේ ව්‍යාපාරය ගැන කියලා දීලා ඒවා පටන්අරගෙන කරගෙන යන්න උදවු කළා. ඒ විතරක් නෙවෙයි එයාලගේ දරුවන්ටත් උදවු කළා. දැනට එහෙම කඩ 18ක් 20ක් විතර තියෙනවා.

අද කාලයේ තරුණ ශ‍්‍රමය ගැන ඔබට මොනවද හිතෙන්නේ?
මේ මම කියන දේ මම විතරක් නෙවෙයි බොහෝදෙනෙක් අද කාලයේ තරැණයන්ට කරන චෝදනාවක්. හැමෝම රස්සාවක් කළත් නැතත් ලොකු ගණන්වල ජංගම දුරකථනනම් පවිච්චි කරනවා. රස්සාවක් නැතුව ඒගොල්ලෝ කොහොමද ඒවා නඩත්තු කරන්නේ? අනිත් කාරණය තමයි අද කාලේ බොහෝ තරුණයන් ඉස්කෝලේ ගමන් අවසන් කළ ගමන් මොකද කරන්නේ ගන්නවා ත‍්‍රී වීල් එකක් බහිනවා පාරට. ඊටපස්සේ මත් ද්‍රව්‍ය වගේ දේවල්වලට යොමුවෙලා නාස්ති වෙනවා. ඒකට වැඩපිළිවෙළක් විදිහට තමයි මම පී. එස් එකමුතු බර වාහන පුහුණු පාසල පටන්ගත්තේ. බර වාහනවල වැඩ කරන්න ඔපරේටර්ලා ඉන්නෙ ඉතාම සීමිත පිරිසක්. අපි ගාව ඉගෙනගන්න ළමයි විදේශ රටවල වෘත්තීය සඳහා යොමුකරලා තියෙනවා. ඒ වගේම මෙහේ තියෙන රස්සා සඳහාත් යොමු කරලා තියෙනවා. අපි පුහුණු කරන අයටයි වාහනවලටයි වැයවෙන පොඩි මුදලක් විතරයි ඒ වෙනුවෙන් අයකරන්නේ.

ඊට අමතරව මගෙ අම්මා අපිව හදන්න ගොඩක් දුක් වින්දනේ. එයාව සිහිවෙන්න අම්මා නැතිවෙලා අවුරුදු 08ක් ගියාම හොරණ ඔලබොඩු කන්ද කියන තැනින් අක්කර 10ක් මම මහත්තයෙක්ගෙන් ගත්තා. ඒ පළාතෙම ගල් කඩන හින්දා විශාල පරිසර හානියකට ලක්වෙනවා. ඒ කන්දේ තියෙන කළු ගල කඩ කඩා විනාශ කරනවා. ඒක හරිම ලස්සන පළාතක් කළුතර දිස්ත‍්‍රික්කයනේ. ඒක ලස්සන පොල්වත්තක්. දියඇල්ලකුත් තියෙන ඒ අක්කර 10 මම අරගෙන මගේ අම්මව සිහි කරන්න අම්මගේ නමින් සිසිලියානා ස්ටෝන් රිසෝර්ට් කියලා ස්විම් පූල් දෙකකුයි ඇඩ්වෙන්චර් පාර්ක් එකකුයි හදලා ලස්සන රිසෝර්ට් එකක් බවට පත් කළා.

සපරාමාදු මහත්මයා වාසනාව කියන දේ ගැන මොනවද හිතන්නේ?
මට මහා අපලයක් තියෙනවා කියලා තමයි අම්මා නිතරම කිව්වේ. මට ඒකත් දැනිලා තියෙනවා. අම්මා කඩේ ගිහින් මොනවාහරි ගේන්න කියලා සල්ලි දුන්නම කඩේ ගාවට යද්දි සල්ලිවලට මොනවා වෙලාද මොකක්ද වුණේ කියලවත් මම දන්නෙ නැහැ. මාව දකින්නවත් ඒ දවස්වල අපේ අහල පහල අය කැමති වුණේ නැහැ. මාව දැක්කම හැමෝගෙම දවස මස්තබාල්දු වෙනවලු. අපේ ගේ ගාවම ගෙදර හැරිසන් මාමා කියලා මාමා කෙනෙක් හිටියා. එයා එළියට බහින්නෙම මම ඉස්සරහට එනවද නැද්ද කියලා හොඳට වටපිට බලලා. මම දවසක් හැංගිලා ඉඳලා හැරිසන් මාමා ගෙයින් එළියට බහිද්දිම හැරිසන් මාමා ගුඩ් මෝර්නින් කියලා එයාගේ ඉස්සරහට ගියා. දැන් හැරිසන් මාමා මට බණිනවා බණිනවා ඉවරයක් නැහැ. කාලකන්නියා කියලයි මට ගොඩාක් අය කිව්වේ. එයත් එහෙම කිය කියා බනිද්දී හැරිසන් මාමගේ බිරිඳ ඕවා බොරැ මනස්ගාත. දැන් ඔයා ඕවා හිතන්නෙ නැතුව වැඩට යන්න කියලා මාමව අස්වසලා වැඩට යැව්වා. මෙන්න එදා හවස හැරිසන් මාමා ගෙදර එනවා අතකුත් කඩාගෙන බැන්ඩේජ් කරගෙන. එදානම් මට මම ගැනම ලොකු කලකිරීමක් ඇතිවුණා. හැමෝම මාව කොන් කළා. වාසනාව ගැනනම් මම දන්නෙ නැහැ. මම වාසනාව තිබුණු කෙනෙක් නෙවෙයිනේ. ඒත් මම දැඩි විශ්වාසෙන් කැපවීමෙන් වැඩ කරලා අද වෙනකොට කෝටිපතියෙක් වෙලා ඉන්නවා. මම බරවාහන පුහුණු පාසල පටන් ගත්තම මට ඉස්කෝලර්ෂිප් එකක් හම්බවුණා. මම ආචාර්ය උපාධියකුත් තියෙන කෙනෙක්.

ව්‍යාපාරවලට අමතරව ඔබ මොනවද කරන්නේ?
මම කරන සමාජ සේවා ගැන කියන්න කැමති නැහැ. දළදා මාළිගයේ පෙරහරට වැට ගහන්න පයිප්ප මම දෙන්නේ කිසිම අයකිරීමකින් තොරවයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් අනුරාධපුරේ පොත් පාර්සල් බෙදාදීමක් කරනවා. තව ගොඩාක් දේවල් කරනවා. ඒ ඔක්කොම කියන්න අවශ්‍ය නැහැනේ නේද? මට විශේෂයෙන්ම කියන්න ඕන මම සිංහල බෞද්ධ කෙනෙක්. ඒත් මට මේ තැනට එන්න කිසිම කෙනෙක් උදවු කරලා නැහැ. මම මගේ මහන්සියෙන් මෙතැනට ආවේ.
පිටරටවල්වලනම් පොඩි දෙයක් කරන අයට රජයෙන් කොච්චර උදවු කරනවද ඒ වැඩේ දියුණු කරගන්න. ඒත් අපේ රටේ එහෙම වෙනවද? ලක්ෂ 100ක් ණය දෙන්න ලක්ෂ 300ක සිකියුරිටි එකක් බැංකුවලින් ඉල්ලනවා. ව්‍යවසායකයන්ගේ අතේ තියෙන ගාණත් බැංකුවලට නැත්නම් මූල්‍ය ආයතනය ගිල ගන්නයි බලාගෙන ඉන්නේ. ඉන්ෂුවරන්ස් කම්පනි අපේ රටේ කොච්චර තියෙනවද? ඒත් ඇයි මිනිස්සු ඉන්ෂුවරන්ස් වෙන්නේ නැත්තේ? ඔය හුඟදෙනෙක් මාෆියාවක් කරන්නේ. ඉන්ෂුවරන්ස් එක දාන මනුස්සයා නැහැ ටික දවසක් යද්දී. ඊටපස්සේ සේවාදායකයට ඒවයින් ඒගොල්ලෝ කියන ප‍්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි අපේ රටේ ඔය හුඟක් ලීසින් කම්පනිකාරයන්ගෙයි ෆිනෑන්ස් කම්පැනිකාරයන්ගෙයි මාෆියාව. දැන් වාහනයකට ගෙවන්න ඕන ගාණ දන්නේ අදාළ අවුරුදු ගාණට ගෙවන්න ඕන පොලිය ඇඩ් කරලනේ. දවසක් දෙකක් පහුනු වුණ ගමන් අපි හිතමු මාස තුනක් ප‍්‍රමාදයි කියලා. එයාලා කොහොමද තව දඩ පොලියක් කියලා අය කරන්නේ. ඔන්න ඔය වගේ මාෆියාවල් තියෙනකම් මේ රටේ ව්‍යවසායකයෝ බිහි වෙන එක අඩුවෙයි. මේ රටේ බැංකු වැඩිහරියක් ණය දෙන්නේ හොර පුද්ගලයන්ටයි හොර ව්‍යාපෘතිවලටයි. ඔය ක‍්‍රමේ වෙනස් වෙන්න ඕනේ. දියුණු වෙන අලුත් මිනිස්සු ව්‍යවසායකයන් කරන්න හරි දේට ණය දෙන්න ඕන.

දැන් බලන්න අතේ සල්ලි තියෙන මිනිස්සු සල්ලි තිබිලත් වාහනයක් ගන්නේ ලීසින් දාලා නැත්නම් ෆිනෑන්ස් දාලා. ඇයි ඒ? බදු ගෙවන්න වෙයි කියලා. අන්තිමට බලද්දී අතේ සල්ලි තිබිලත් මිනිස්සු ණයකාරයොත් වෙලා පොලියකුත් කොහෙවත් තියෙන ආයතනයකට ගෙවලා. ඒකෙන් අහිමි වෙන්නේ රජයේ ආදායම්. ඒවයි වෙනස් වෙන්න ඕන.

ඔබට තවත් මොනවද මේ ආව ගමන ගැන කියන්න තියෙන්නේ? මම ඔහුගෙන් සමුගන්න බලාගෙන තවත් ප්‍රශ්නයක් ඔහුට යොමු කළා.
අර අතන මම ජිම් එකකුත් කරනවා. එන්නකෝ අපි යන ගමන් කතා කරමු. මගේ ගාව දැනට 100කට වැඩිය සේවකයෝ ඉන්නවා. මම ඒගොල්ලෝ හැමෝටම රක්ෂණයක් දාලා තියෙන්නේ කවදහරි දවසක මෙහෙන් අයින් වෙලා ගියාම ඒගොල්ලන්ට ආයෝජනයක් අවශ්‍ය වෙන හින්දා. අනිත් එක තමයි අපි ගාව වැඩ කරන සේවකයන් එක්ක මම පවුලක් විදිහට කන බොන දේවලුත් බෙදාගෙන කනවා බොනවා. මොකද මට මගේ අතීතයේ දුප්පත් කාලේ වින්ද දුක්ගැහැට තාමත් හොඳට මතකයි. ඒ වගේම උත්සාහය තියෙනවනම්, උවමනාව තියෙනවනම්, ඒ වෙනුවන් තමන්ට කැපවීම තියෙනවනම් වාසනාව කියන එක ඒ හැමදේටම පාරාජය වෙනවා. වාසනාව දිහා බලාගෙන ජීවිතේ ජයගන්න බලන් ඉන්න එපා. ඔය මම කිව්ව උත්සාහය, උවමනාව, කැපවීම තියෙනවනම් ඕනම කෙනෙක්ට ජීවිතේ ජය ගන්න පුළුවන්.

 

► Text & pic — Chandana Waravitage