2020 ජනවාරි 04 වන සෙනසුරාදා

මකුළුදැලෙන් වාසනාවන්!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

නත්තල අවසන් වුණත් නත්තල් අසිරිය තවමත් අවසන් වෙලා නැහැ. නත්තල් සාද, කැරොල් ගී සංදර්ශන වගේ නත්තල හා බැඳුණු ගොඩක් ක්‍රියාකාරකම් තවමත් සිද්ධ වෙනවා. ඉතින් මේ අතරේ ලෝකේ සමහර රටවල මිනිස්සු නත්තල සමරපු අමුතු විධි ගැන ටිකක් විපරම් කරලා බලන්න අපි කල්පනා කළා. හැමෝම නත්තල සමරන විදිහට වඩා වෙනස් විදිහට නත්තල ගත කරන්න එයාලා තෝරාගෙන තිබුණේ හරිම අමුතු දේවල්. 

ලෝකෙ හැම තැනකදීම නත්තල එක්ක නත්තල් සීයා ගැන කතාබහ කෙරෙනවා. උතුරැ ධ්‍රැවයේ ඉඳන් පිනි මුවෝ බැඳපු කරත්තෙක නැඟලා එනaනත්තල් සීයා පොඩි දරුවන්ට තෑගි දෙනවා කියලා තමයි ප්‍රසිද්ධවෙලා තියෙන්නෙ. හැබැයි ඔස්ට්‍රියාවේ දරුවන්ට මේ තෑගි බෙදන හොඳ නත්තල් සීයා වෙනුවට යකෙක් වගේ ඇඳගත්තු නරක නත්තල් සීයා කෙනෙක්ටත් මුහුණු දෙන්න සිද්ධ වෙනවා. මේ නත්තල් සීයාගෙ රාජකාරිය වෙන්නෙ නරක වැඩ කරන පොඩ්ඩන්ට දඬුවම් කරන එකයි. ඉතින් නත්තල් කාලෙට යක්කුන්ගේ වෙස්මුහුණු පැළඳගත්තු මිනිස්සු පාරවල් පුරා ඇවිදිමින් පොඩ්ඩන්ව බය කරන එක ඔස්ට්‍රියාවේ සුලබ දර්ශනයක්. 

සාමාන්‍යයෙන් නත්තල් ගහක අපි එල්ලන්නේ විවිධ විසිතුරු බෝල, තාරකා සහ තෑගි වගේ දේවල්. හැබැයි යුක්රේනෙ මිනිස්සු තමන්ගේ ගෙදර නත්තල් ගහේ මකුළු දැල් එල්ලන්න පුරුදුවෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලා එහෙම එල්ලන්නෙ ඇත්ත මකුළු දැල් නෙමෙයි. කඩෙන් ගත්තු විසිතුරු මකුළු දැලක්. මේකට හේතුව තමයි යුක්රේන ජනතාවට අනුව එක්තරා දිළිඳු පවුලකට තමන්ගේ නත්තල් ගහේ එල්ලන්න දෙයක් නැතිකොට ඒ ගෙදර වාසය කරපු මකුළුවා මේක දැකලා නත්තල් ගහ වටේටම විසිතුරැ රටාවලට මකුළු දැල් වියලා නත්තල් ගහ ලස්සන කරලා. ඒ වගේම යුක්රේනයේ මිනිස්සු විශ්වාස කරන විදිහට මකුළු දැල් කියන්නේ මිනිස්සුන්ට වාසනාව ගෙන දෙන දෙයක්. 

දකුණු අප්‍රිකාව කියන්නෙත් නත්තලට අමුතු වැඩ කරන රටක්. එයාලාගේ අමුතු චාරිත්‍රයක් තමා දළඹුවන්ව බැදලා ආහාරයට ගැනීම. වෙන රටවල කළුකුම් මස් වගේ දේවල්වලට නත්තල් මේසෙ ප්‍රධාන තැනක් ලැබුණට දකුණු අප්‍රිකාවේ මිනිස්සුන්ගේ නත්තල් කෑම මේසෙ වරදින්නෙම නැති කෑම වර්ගය දළඹුවෝ කියලයි දැනගන්න ලැබෙන්නෙ. බැදපු දළඹුවන් ආහාරයට ගැනීමෙන් අලුත් අවුරුද්ද වාසනාවන්ත වෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. 

නෝර්වේ මිනිස්සුන්ගේ ජනකතාවලට අනුව නත්තල් දා හැන්දෑවට තමයි මායාකාරියන් ඇතුළු නපුරු ආත්ම අහසට නැගිලා සැරිසරන්නේ. මායාකාරියන්ගේ වාහනය තමයි කොස්ස. කොස්සෙ නැඟලා එහෙ මෙහෙ යන බටකොළ ආච්චිව මතක ඇතිනෙ. ඉතින් නෝර්වීජියානුවෝ නත්තල් දා හැන්දෑවට කලින් ගෙදර තියෙන කොසු ඉදල් සේරම හංගනවා, නපුරු ආත්මවලට අහසට නගින්න බැරිවෙන්න. 

holidayextras.co.uk ඇසුරෙනි

► Text - Suranga   /   Pic -  Internet