2020 ජනවාරි 11 වන සෙනසුරාදා

එහෙනම් අක්කා සමාදානයේ සැතපෙන්නකෝ

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

අනුරාධපුර පැත්තේ ෂූටිං ගිය චිත්‍රපට කණ්ඩායමක හිටි ප්‍රධාන නිළියට නවාතැන් ලෑස්ති කරලා තිබුණේ ඒ පළාතේ ලොකු හෝටලේකලු.

ඒකෙ වැඩ කරන සේවකයෙක් මේ නිළියගේ ප්‍රබල රසිකයෙක්ලු. ඉතින් මේ නිළිය හෝටලේ ඉන්න හැම වෙලාවකම ගිහින් එයාගේ ඕනෑ එපාකම් හොයලා බලනවලු. නිළියටත් මේක එන්න එන්නම කරදරයක් වෙලාලු. රූට නිදාගන්න කලින් අහනවලු
අක්කේ උණු වතුර ටිකක් ඕනෙද? කිරි එකක් ඕනෙද?
අනේ මට මුකුත් ඕන නැහැ. මට දැන් ඕන නිදහසේ නිදාගන්න
හා හා එහෙනම් අක්කා සමාදානයේ සැතපෙන්නකො

බල්ලා ගිලීද?

අපි හැමෝම බල්ලන්ට කැමති වුණාට, ආදරේ වුණාට ගොඩක් අය බල්ලන්ට බයයි. උන්ව ළං කරගන්න බයයි. ඒකනේ ගේකට ඇතුළු වෙන්න කලින් සමහරැ අහන්නේ බල්ලෙක් ඉන්නවද? බල්ලා බැඳලද? &බල්ලා හපනවද? කියලා.
අපේ කලාකරුවකුගේ ගෙදරට එන හැමෝමත් ඉස්සෙල්ලම අහන්නේ ඔය වගේ ප්‍රශ්න. ඒවට උත්තර දීලම මෙයාට දැන් එපා වෙලා.

බල්ලා හපනවද කියලා කවුරුහරි මෙයාගෙන් ඇහුවම මෙයා කියන්නේ නෑ ඌ හපන්නේ නෑ.. ඌ දැන් ගිලිනවා කියලා.

දවසම ෆාමසිය ඇතුළේ

අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ළඟදි දවසක දර්ශන තලයකදී ලස්සන කතාවක් කිව්වා. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය යාළු වෙලා ඉන්නේ දොස්තර මහත්තයෙක් එක්ක. ඒකයි එයාට අර කතාව මතක් වෙලා තියෙන්නේ.
ඔන්න දවසක ලස්සන ගෑනු ළමයෙක් හිටියලු. ඒ ළමයා යාළු වෙලා ඉන්න තරුණ දොස්තර මහත්තයෙක් එක්ක. ඒත් මේ ගෑනු ළමයා වැඩිපුර කාලය ගෙවන්නේ ගෙවල් ළඟ තියෙන ෆාමසියෙලු. කෙල්ලගෙ අම්මට මේක විශාල ප්‍රහේලිකාවක්ලු.
අනේ දුවේ හැමෝම දන්නවා උඹ යාළුවෙලා ඉන්නේ දොස්තර කොල්ලත් එක්ක කියලා. ඉතින් මොකද මේ නිතර නිතර අර ෆාමසියට දුවගෙන යන්නේ? මිනිස්සුන්ගෙන් කතන්දර නාහා ඕක නවත්තපන් අම්මා කියලා.

අනේ අම්මේ අම්මට මේවා තේරෙන්නේ නැහැ. මම ෆාමසියට දුවන්නෙ ඒ අයියා එක්ක පැටලෙන්න නෙවෙයි. දොස්තර අයියා මට එවන ලව් ලෙටර්ස් මට කියවන්නම බැහැ. ඒකයි මං ඒවා ෆාමසියෙ අයියට කියලා කියවගන්නේ. එයාට විතරයි පුළුවන් දොස්තරගේ අත් අකුරු කියවන්න.

 

► Text - Mithra